අදට ගැළපෙන බෞද්ධ ආර්ථික දර්ශනය

බුදු දහම උගන්වන්නේ ආශාවන් අඩු කරන්නේ කෙසේද කියාය. මිරිඟුවක් පසුපස වතුර ඉල්ලා දිවයන හාවන් මෙන් මිනිසා යතාර්ථය පසෙකලා ආශාවන් පසු පස ලුහු බඳී. අවසානයේ මිනිසාට ඉතිරිවන්නේ වෙහෙසකර බවත්, මහා කලකිරීමකුත් පමණි. එම නිසා බුදු දහමට අනුව ආශාවන් අවම කර ගැනීම ලෝක ආර්ථික න්‍යායටත් අඩු සපම්ත් කාර්්‍යක්‍ෂමව භාවිතයටත් රුකුලක් වනු ඇත.

කොවිඩ් වසංගතය මුළු මහත් සමාජ ක්‍රමයට කියාදෙන පාඩම් බොහෝය. “සියලු සංස්කාරයන් නැසෙන සුලුය“ තමන්ට නොදන්නා ලෙස තම ශරීරයට ඇතුළු වන මාරක වයිරසයෙන් ජීවිතය නැති කිරීමට ගත වන්නේ ඉතා සුළු කාලයකි. අනෙක් අතට ජීවිතය ඉල්ලා කෑගසමින් හුස්ම අයදිමින් දුක පිළිබඳ සංකල්පය මිනිසාට කියාදෙන්නේ හොඳ පාඩමකි. බුදුන්වහන්සේ ජීවත්වූ ධර්මය ලොවට කියා දුන් විශාලා මහනුවර අද ඉන්දියාව තුළදී දැවෙමින් පවතී. රතන සූත්‍රය මගින් එදා විසාලා මහනුවර ඇති වූ තුන්බිය එනම්, රෝග බිය, මරණ බිය, අමනුෂ්‍ය බිය දුරු කිරීමට දේශනා කිරීමටවත් අවස්ථාවක් නොවන පරිදි විශාල මිනිස් ජීවිත විනාශ වෙමින් පවතින්නේ සියලු සංස්කාරයන් නැසෙන සුලුය යන බුදුන්ගේ ධර්මය පසක් කරමිනි. ඒ අනුව බුදුන්ගේ දර්ශනය ලෝකයාට ප්‍රත්‍යක්ෂ වන්නා සේම එදා, අද සහ හෙටට ගැළපෙන ප්‍රායෝගික දර්ශනයකි. ඒ මඟින් මිනිසාගේ උපතේ සිට මරණය දක්වාම ජීවිතාවබෝධය කියා දෙන පාඩම් බොහෝය. ඉපදීම, මරණය පමණක් නොව සමාජයේ සියලු ක්‍රියාකාරකම් පිළිබඳ බුදුන්වහන්සේ තම දර්ශනය ඇසුරෙන් ප්‍රායෝගික පාඩම් කියා දී තිබේ. බුදුන්වහන්සේ තමන්ගේ ආධ්‍යාත්මික දර්ශනයට අමතරව කුටුම්භවල යහපත් දිවිපැවැත්ම රාජ්‍ය පාලනය, සහජීවනය හා පරිත්‍යාග යන සංකල්පයන් එකට එකතු කරමින් බෞද්ධ ආර්ථික චින්තනය මඟින් පෙන්වා දෙයි. බෞද්ධ දර්ශනයේ ඇති ඉතා වැදගත් සුවිශේෂ ලක්ෂණය වන්නේ එහි පවතින ආධ්‍යාත්මික ප්‍රවේශයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය, චතුරාර්ය සත්‍යය, හේතුඵල වාදය බුදුදහමේ හරය ලෙස සලකනු ලබයි. හේතුඵල වාදය නමින් දුක, දුකට හේතුව, දුක නැති කිරීමේ මාර්ගය අද සමාජයට ප්‍රායෝගික සංකල්පයකි.

බටහිර ආර්ථික විද්‍යාඥයෙකු වූ ෂූමාකර් (1967) විවිධ දෘෂ්ටි කෝණයන්වලින් බෞද්ධ දර්ශනය හැඩගැස්වීම සදහා විග්‍රහ කර තිබේ. ඔහු එහිදී වඩාත් පැහැදිලි කර දෙන්නේ පුද්ගලයාගේ ජීවන රටාව හැඩ ගැන්වීම සඳහා මධ්‍යම ප්‍රතිපදාවට මග පෙන්වන බවයි. මෙයින් ඔහු පෙන්වා දෙන්නේ විනාශකාරී වූ පාරභෞතික චින්තනය හා සාම්ප්‍රදායික ආධ්‍යාත්මික ක්‍රමවේදය දෙකම පාලනය වූ මැදුම් පිළිවෙත කරා ගමන් කළ යුතු බවයි.

මෙහිදී ප්‍රධාන වශයෙන් බෞද්ධ ආර්ථක දර්ශනය තුළ පෙන්වා දෙන ලද ධනය ඉපයීම, ධනය පරිහරණය, ධනය ඉතිරි කිරීම තුලින් ලබන සැපය හා පුද්ගලයා විසින් ඉපයු ධනය විනාශ වන ආකාරයයි. බුදුන්වහන්සේ මෙම සිද්ධියත් තම සූත්‍ර දේශනා ආශ්‍රයෙන් ලෝකයාට සරළ උදාහරණ සහිතව පෙන්වා දී තිබේ.

ව්‍යග්ගපජ්ජ සූත්‍රය

බෞද්ධ ආර්ථීක දර්ශනය තුළ පුද්ගලයා ධනය රැස්කර ගත යුතු මාර්ගයන් පිළිබඳ දක්වා තිබේ. ඒ අනුව, බුදුන් වහන්සේ “ව්‍යග්ග පජ්ජ” සූත්‍රය තුළින් පෙන්වා දෙන්නේ ධනය ඉපයිය යුතු රැකියා, මාර්ගයන් පිළිබඳවයි. ඒ අනුව, කෘෂිකර්මය, වෙළෙඳාම, පාංශුපාලනය, ධනු ශිල්පය, රාජ්‍ය සේවය, ශිල්ප කලා යනාදී වශයෙන් පෙන්වා දෙයි. එසේම බුදුන් වහන්සේ නොකළයුතු වෙළෙඳාම් 5 ක් පිළිබඳ හුවා දක්වා තිබේ.

1. විෂ වර්ග වෙ‍ෙළඳාම

2. අවි ආයුධ වෙළෙඳාම

3. මස් වෙ‍ෙළඳාම

4 මත්ද්‍රව්‍ය වෙළෙඳාම

5. වහල් වෙ‍ෙළඳාම වශයෙන් වෙළඳාම් ක්‍රම පෙන්වා දී තිබේ.

මේ අනුව ගමන් කරමින් මිනිසාට නොකළ යුතු වෙළෙඳාමෙන්, ඈත්ව, ධාර්මික වෘත්තියක නියැලී ධාර්මිකව ධනය රැස්කර ගත යුතු බව උන් වහන්සේ පෙන්වා දී තිබේ.

එමෙන්ම, ධනය යනු මිනිසාගේ උපායමාර්ගයකි. මිනිසා එහි ස්වාමීත්වය දරයි. ධනයට ගැතිව ධනයට ආශා ඇතිව සමාජයට අනාර්ථකාරීව ජීවත්වීම බුදු දහම අනුමත නොකරයි. නූතන ආර්ථික විද්‍යාවේ මූලික හරය වන්නේ ලෝකයේ පවතින සීමිත සම්පත් උපරිම අයුරින්, ප්‍රශස්තව උපයෝජනය කල යුතු බවයි. ලෝකයේ සම්පත් සීමිත වුවද අද මිනිසාගේ ආශාවන් අසීමිත වේ. කිසිවිටෙකත් මිනිසාගේ ආශාවන් සීමිත වන්නේ නැත. බුදු දහම උගන්වන්නේ ආශාවන් අඩු කරන්නේ කෙසේද කියාය. මිරිඟුවක් පසුපස වතුර ඉල්ලා දිවයන හාවන් මෙන් මිනිසා යතාර්ථය පසෙකලා ආශාවන් පසු පස ලුහු බඳී. අවසානයේ මිනිසාට ඉතිරිවන්නේ වෙහෙසකර බවත්, මහා කලකිරීමකුත් පමණි. එම නිසා බුදු දහමට අනුව ආශාවන් අවම කර ගැනීම ලෝක ආර්ථික න්‍යායටත් අඩු සපම්ත් කාර්්‍යක්‍ෂමව භාවිතයටත් රුකුලක් වනු ඇත.

සිඟාලෝවාද සූත්‍රය

සිඟාලෝවාද සූත්‍රය මගින් පෙන්වා දෙන බෞද්ධ ආර්ථික න්‍යායේ මූලික ඉගැන්වීම් අනුව පරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම් යන මූලික සංකල්පයන් පෙන්වා දෙයි. ඒ අනුව

‘‘ඒකේන භෝගෙ භුඤේජෙය්‍ය – ද්විහි කම්මං පයෝජයේ

චතුත්ථංච නිධාපෙය්‍ය – ආපදාසු භවිස්‌ස’’

දුක් මහන්සියෙන් උපයාගත් ධනයෙන් කොටසක් එදිනෙදා ප්‍රයෝජනය සඳහාත්, (පරිභෝජනය) කොටස් දෙකක් තමන් කරනු ලබන වෙ‍ෙළඳාම ආදී කර්මාන්ත හෝ ව්‍යාපාර දියුණුව පිණිසත් (ආයෝජන) ඉතිරි කොටස කරදරයක් විපතක් සිදුවුවහොත් ප්‍රයෝජයනට ගැනීම සඳහාත්, (ඉතිරි කිරීම) යෙදවිය යුතුය යන්නයි. මෙම ගාථා ධර්මය ඇසුරෙන් දේශනා කරන ලද යථාර්තය පුද්ගලයාගේ එදිනෙදා ජීවිතය සාර්ථක කර ගැනීම සඳහාත්, ව්‍යාපාර ආයතන දියුණුව සඳහාත්, රාජ්‍ය පාලනය සඳහාත් ඉතා වැදගත් වටිනා ඉගැන්වීමක් ලෙස දැකිය හැකිවේ. මෙහිදී අප ප්‍රථමයෙන් පුද්ගල ජීවිතය පිළිබඳ අවබෝධ කරගත යුතුය. එහිදී පුද්ගලයන් උපයන ආදායමෙන් යම් කොටසක් පරිභෝජනයට ගත් විට කොටස් දෙකක් ආයෝජනය කල යුතු බවය. ආර්ථික විද්‍යාත්මකව සලකා බැලීමේදී වර්තමාන පරිභෝජනය අනාගතය වෙනුවෙනුත් කැප කල යුතු බවයි. අපට එදිනෙදා ජීවිතයේ හමු වන සාර්ථක ව්‍යාපාරිකයන්ගෙන් බොහොමයක් අතීතයේ පාරිභෝජනය කැපකර අනාගතය සඳහා ආයෝජනය කිරීමෙන් සාර්ථක ව්‍යාපාරිකයන් වූ අයයි. එසේම පුද්ගලයාගේ අධික වියදම වර්තමානය මෙන්ම අනාගතයට සැමවිටම කඩා වැටීමට හේතුවන ප්‍රධාන සාධකයකි.

අණන සුඛය

බුද්ධ ධර්මයෙහි ජීවිතයේ පුද්ගලයින් විඳින සුඛ පිළිබඳ දක්වමින් අ්ත්ථි සුඛ, භෝග සුඛ, අණන සුඛ හා අනවඡ්ඡ සුඛ වශයෙන් පුද්ගල සැප සමග බැඳුණු කුලුණු 4 ක් පෙන්වා දී තිබේ. මෙම කුළුනු 4 ගිහි සැප වශයෙන් හැදින්විය හැකිය. මිනිසෙකු ගෘහ ජීවිතයේ දී ලබන්නා වූ සැපය, සුවය ගිහි සැප වශයෙන් ද හඳුන්වා දිය හැකිය. පුද්ගලයන්ගේ එදිනෙදා ජීවන රටාව සමබර නොවුනහොත් වන්නේ සමාජයට ණය වීමකි. පුද්ගලයා ණයෙන් නිදහස්වීම ණය නැති සුඛය “අණන සුඛය” යනුවෙන් ද හැඳින්වේ. ණය කරුවෙකු නොවීම මඟින් පුළුල් මානසික සුවයක් ලැබේ. වර්තමාන සමාජයේ මිනිසුන් බොහෝමයක් ණය බරින් මිරිකී සිටී. පුද්ගලයා ණය වීමට ප්‍රධාන හේතුව අධික වියදමයි. තමන්ට ලැබෙන වැටුපෙන් සමබර ජීවිතයක් ගෙන යෑමට නොහැකිවීමයි.මෙයට පෙර සඳහන් කල පරිදි පුද්ගලයාගේ පාරිභෝජනයේ වැරැද්දයි.මිනිසා ජීවිතයේ නිසි කළමනාකාරීත්වයක් නොවුණහොත් සිදුවන ප්රති විපාකය ණය වීමයි.එම නිසා බුදුන් වහන්සේ උපයන ධනයෙන් ණය නොවී ජීවත් වීම මානසික මෙන් ම කායික සැපයට බව පෙන්වා දෙයි.මෙහි දී අවසානයේ සාකච්ඡා කෙරෙන්නේ බුදු දහමෙන් ඉගැන්වෙන මිනිසාගේ අශාවන් නැති කිරීමයිග

‘අත්ති සුඛය’ යනුවෙන් පෙන්වා දෙන්නේ උපේක්‍ෂාදී සිත් ඇතිව අනිත්‍ය, දුක්ඛ අනාත්ම මෙනෙහි කර ගැනීමට පුද්ගයෙකුට හැකිවීමයි. අනෙක් අතට කායික වාචික හා මානසික වශයෙන් නිවැරදි චර්යයා හේතුවෙන් ලබන සැපත, සතුට වේ. තමන් උත්සාහයෙන්, දැනුමින් උපයා ගන්නා වස්තුව තමන් අනුභව කිරිමෙන් පසු අනෙකා කෙරෙහි දැහැමි සිතින් පිනට දහමට ලබා දෙන්නේනම් ඔහුට ඉන් ලැබෙන සැනසීම, සැපය ‘භෝග සුඛය’ නම් වේ. මේ දිනවල මෙම ව්‍යසන තත්ත්වයන් හේතුවෙන් එදානෙදා ජීවිකාව ගෙවන බොහෝ පිරිස් ජීවිතය ගැටගසා ගැනීමේ අවදානමට උරදී තිබේ. නමුත් දැහැමින් සෙමෙන් උපයා ගන්නා ධනය මේ දිනවල ඔවුන් සඳහා යම් කොටසක් ලබා දීමට හැකිනම් ලැබෙන සැපය, සැනසුම වචනයෙන් නිර්වචනය කළ නොහැකි මානසික සුවයක් බවට පත් වනු ඇත. ‘අනවජ්ජ සුඛය’ යනුවෙන් බුදු දහම පෙන්වා දෙන්නේ නිවැරදි කාය ධර්මයන්ගෙන් යුතු වීම, නිවැරදි වාග් ධර්මයෙන් යුතුවීම, නිවැරදි මනෝ කර්මයෙන් යුතුවීමයි. එබදු තැනැත්තන් කයින්, වචනයෙන්, සිතින් නිවැරදි වීමෙන් සැනසීමක් ලබයි. පුද්ගලයෙකුට ධනය තිබූ පමණින් ගිහි සැප ලැබිය නොහැකි බව පෙන්වා දෙයි. තමා රැස්කරගන්නා වූ ධනය තමාට සතුටු විය හැකි ආකාරයෙන් මහන්සියෙන්, උට්ඨාන වීර්්‍යයෙන්, ආදර්ශමත් ලෙස උපයා ගත යුතු බව අවධාරණය කරයි.

ධනය විනාශ වීම

ධනය කෙසේ ඉපයිය යුතුද? පාරිභෝජනය කළ යුතු ද? යන්න පෙන්වා දෙන අතර ම ධනය නිසායාකාරව පරිභෝජනය නොකළහොත් ධනය විනාශ වන ක්‍රමයන් ද පෙන්වා දී තිබේ. භෝග අපාය මුඛ වශයෙන් හැඳින්වෙන්නේ මෙම විනාශ මුඛ ක්‍රමයන් ය.මෙහි දී ප්‍රධාන වශයෙන් පෙන්වො දෙන්නේ සුරාව, සූදුව, දුරාචාරය, පාපමිත්‍ සේවනය, නොකල් හි වීදි සංචාරය යන පුද්ගල දුර්වලතාවයන් ය. පුද්ගලයා උපයන ධනය සුරාව සඳහා වැය කිරීමෙන් මූල්‍යමය අලාභයක් වනනවා සේ ම තමාගේ සෞඛ්‍ය දුර්වල වීම තුළ පාඩුවක් සිදු වේ.පුද්ගලයාගේ සෞඛ්‍යමය කඩා වැටීම ක්‍රමයෙන් අලසකම ඇතිවීමට බලපානු ලබයි.රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරන පුද්ගලයන් ද සුරාවට ඇබ්බැහි වීම තුළින් ඔවුන්ට රැකියාව කිරීමට අලස බව ඇති කරයි. අලසකම එදිනෙදා ජීවිකාව ගෙවන්නෙකු නම් ඇති වන්නේ ආර්ථිකමය පාඩුවකි. සූදුව තවත් ආර්ථිකමය අගතිය ළඟා කරන දුරාචාරයකි. සූදුව තුළින් මුදල් උපයන්නේ නැත. සූදුවෙන් පුද්ගලයාගේ මුදල් සූරාකෑම තුළින් ආර්ථික කඩාවැටීම ට හේතු වෙයි. පාපමිත්‍ර සේවනය අනෙක් දුර්වලතාවයයි. තමන්ට පාපමිත්‍රයන් හඳුනා ගත හැක්කේ සැපතේ දී පමණි. සැපතේ දී ඔවුන් ලේ උරාබොන කූඩැල්ලන් සේ එල්ලී අඳුරට ම යොමු කරයි. නමුත් තමන්ගේ දුකේ දී සිටින මිත්‍රයන් සැබෑ මිත්‍රයන් ලෙස හඳුනාගත හැකි ය. අයාලේ වීදි සංචාරය යන රෝගය බොහෝ විට මිල මුදල් යහමින් ලැබෙන විට, බලය ලැබෙන විට පුද්ගලයන්ට පොදුවේ හැදෙන රෝගයකි මේ තුළින් සිදුවව්නේ තමන්ගේ පවුල් ජීවිතය විනාශ වීමයි.එමනිසා බුදුන් වහන්සේ සඳහන් කරන්නේ මේ තුළින් පුද්ගලයාගේ ධනය විනාශවන්නා සේ ම තම පවුල් ජීවිතය ද විනාශ වන බවයි. 

අද මේ ගෙවී යන්නේ 21 වන සියවසයි. ලෝකය තුල සිදු වන මේසා විපරිතයන් දෙස බැලීමේදී පෙනෙන්නට තිබෙන්නේ මිනිසා අනාගතය කරා යන ගමන් මගයි. ලෝකය කෙතරම් විද්‍යාවෙන් තාක්ෂණයෙන් දියුණු වුද ඇතිවී ඇතත් මෙම වසංගතය පැතිරී දැනට වසර 1 1/2 පමණ ගතවී ඇතත්, ලෝකයේ මිනිසුන් රෝගයට ගොදුරු වූ ප්‍රමාණයේ අඩුවක් නැත. මැරෙන ප්‍රමාණයේද අඩුවක් නොමැත. මෙම රෝගය වළක්වා මර්දනයට නිසියාකාරව ඖෂධයක් සොයාගෙන නැත. බුදුන්ගේ දර්ශනය තුළින් කියාදෙන්නේ ලෝකය අනිත්‍ය වූ මේ ධර්මතාවයයි. එම නිසා උන්වහන්සේ දේශනා කරන ලද ධර්මයෙහි අගය අඩු වීමක් නැත. ඒ අනුව බලන කළ බදුන් වහන්සේගේ ධර්මය සදාකාලික වන්නේ එම නිසා ය.

(Courtesy of dinamina.lk)

Leave a reply: