අපි දැන් බිලියනයකට එහා ගිය ශුද්ධ ලාභයක් උපයන සමාගමක්

ලංකා සීනි සමාගමේ සභාපති ජනක නිමලචන්ද්‍ර ලංකා සීනි සමාගම වසර ගණනාවක් පුරා පාඩු ලැබූ ආයතනයක්. එලෙස පාඩු ලැබීමට බලපෑ හේතු මෙන්ම වර්තමානයේ එහි තත්ත්වයත් උක් ගොවියන් මුහුණ දෙන ගැටලුවලට සපයා දුන් සහන සහ නව කාබනික වගා සංග්‍රාමයට ගන්නා පිළියම් සම්බන්ධවත් එහි සභාපති ජනක නිමලචන්ද්‍ර මහතා ‘දිනමිණ’ සමඟ කළ සාකච්ඡාවකි මේ.

– 2019දී මිලියන 1300ක පමණ පාඩුවක් තිබුණා
– අප සේවකයන් 2000කට ස්ථිර පත්වීම් දුන්නා
– ගොවි ණය මිලියන 486ක් කපා හැරියා
– ප්‍රමිතියෙන් වැඩි ජෛව පොහොර නිෂ්පාදනය ඇරඹුවා

ලංකා සීනි සමාගම කියන්නේ පසුගිය කාලය පුරාම ලාභ ලබපු ආයතනයක් නොවෙයි. දැන් තත්ත්වය කොහොම ද?

ලංකා සීනි සමාගම යටතේ පැල්වත්ත සහ සෙවණගල කියලා ඒකක දෙකක් තිබෙනවා. 2011 වසරේදී මෙ දෙකම රජයට පවරා ගත්තා. මේ වසර 10ටම මේ ආයතනය ලාබ ලබලා තිබුණේ වරක් හෝ දෙවරක් පමණයි. ඒකත් සුළු ලාභයක්. වසර ගණනාවක්ම දිගටම පාඩු ලබලා 2019දි මිලියන 1300ක පමණ පාඩුවක් ලබා තිබුණා. අලුත් රජය පත් වී 2019-2020දි අලුත් පරිපාලනය සමඟ මම සභාපති වුණා. අලුත් සැලසුම් කිහිපයක් සකස් කරලා 2020 ඉවර වන විට මිලියන 1100ක ශුද්ධ ලාබයක් ලබන්න අපට පුළුවන් වුණා මේ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වුණේ අතිගරු ජනාධිපතිතුමාගේ එතනෝල් නැවැත්වීමේ ප්‍රතිපත්තිමය තීරණය. මේ මිලියන 1100 ලාබය ලබන විට අපි පරිපාලනය පැත්තෙන් ලොකු වෙනස්කම් කිහිපයක් කළා. වසර 30කට අධික කාලයක් අනියම් හා කොන්ත්‍රාත් පදනම යටතේ සිටි සේවකයන් 2000කට ස්ථිර පත්වීම් දුන්නා. ගොවීන්ට ප්‍රතිලාභ රැසක් දුන්නා. ඒ එක්කම ආයතනයටත් ආයෝජන ලබා දුන්නා. මේ වසරේ (2021) දී අපි බිලියනකයට එහා ගිය ශුද්ධ ලාභයක් උපයන සමාගමක්.

ඒ වගේම කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමා ඇතුළු පිරිසගෙනුත් අපට මේ කටයුතු කර ගැනීමට විශාල සහයෝගයක් ලැබෙනවා. පසුගිය කොරෝනා සමයේත් වර්තමාන කොරෝනා තත්ත්වය යටතේදීත් අපේ ආයතනය නවත්වන්නේ නැතිව නිෂ්පාදන කටයුතු දිගටම කර ගෙන යෑමට අපේ සේවකයන්, ගොවියන් සහ සියලු වෘත්තීය සමිති සේවකයනුත් එකට එක්ව එකාවන්ව වැඩ කළා.

ශ්‍රී ලංකාවේ සිනි පරිභෝජනයෙන් කොපමණ ප්‍රතිශතයක් ලංකා සීනි සමාගමෙන් නිෂ්පාදනය කරන ද?

ආසියාවේ පමණක් නොවේ ලෝකෙන්ම වැඩිපුර සීනි පරිභෝජනය කරන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව. ඒක ඇත්තටම අවාසනාවන්ත තත්ත්වයක්. ඒක පුද්ගල සීනි පරිභෝජනය වසරකට කිලෝ 30කට වැඩියි. මෙය මාසෙකට සාමාන්‍යය ගත් විට කිලෝ දෙකහමාරක්. 1965 පළමු සීනි කර්මාන්ත ශාලාව විවෘත වෙන තෙක් ශ්‍රී ලංකාවේ සීනි කියලා දෙයක් තිබුණේ නෑ. 1978දී සීනි සුළු ප්‍රමාණයක් ආනයනය කළා. ඉන් පසු වසරෙන් වසරට සීනි ගෙන්වන ප්‍රමාණය වැඩි වුණා. වසරකට සීනි මෙට්‍රික් ටොන් 5-6ක් අතර ගෙන්වනවා. ශ්‍රි ලංකාවේ හැදෙන්නේ මෙයින් සියයට 10යි. මේ සියයට 10න් සියයට 8ක් පමණ ලංකා සීනි සමාගම මඟින් නිපදවනවා.

පසුගිය වසර ගණනාවකදීම ලංකා සීනි සමාගම පාඩු ලැබීමට බලපෑ හේතු සාධක මොනවා ද?

හේතු ගණනාවක්ම තිබුණා. සෑම රාජ්‍ය ආයතනයකම තිබෙන නාස්තිය, දූෂණය, අනවශ්‍ය වියදම් වැනි දේ මෙයට බලපෑවා. ඒ වගේම දිගු කාලීන සැලසුමකට අනුව වැඩ කරලා තිබුණේ නැහැ. එවකට පැවති රජයන්වල ප්‍රතිපත්තිමය තීරණත් මෙම පාඩු ලැබීමට හේතුවක්. පසුගිය රජය පත් වී සීනි කිලෝ එකක් රුපියල් 60-65ට විකුණන්න තීරණය කළා. ඒ ක්‍රියාපටිපාටිය තුළින් දරන්න බැරි ලොකු කඩා වැටීමක් වගේම පියවන්න බැරි ලොකු පිරිවැයක් ගොඩනැඟුණා. කිහිපදෙනකුගේ පෞද්ගලික අවශ්‍යතා මත කැමැති මිලකට එතනෝල් ගැනීමේ වරප්‍රසාදය දී තිබුණා. එහි අවාසනාවන්ත පැත්තක් ලෙස සිනිවලට සහ එතනෝල්වලට හොඳ මිලක් ලබා නොදෙන අතරේ සේවකයන්ටවත් ගොවීන්ටවත් ප්‍රතිලාභ කිසිවක් දී තිබුණේ නැහැ. ගොවීන්ට අවශ්‍ය පොහොර ටික අවුරුදු දෙකක් දීලා නැහැ. වසර 35ටම කර තිබුණේ එක වාරි ව්‍යාපෘතියක් පමණයි.

ඒ වගේම පැල්වත්ත ඒකකයේ උක් දඬු ඇඹරුම් ධාරිතාව වර්ෂයකට මෙට්‍රික් ටොන් ලක්ෂ 6ක්. එහෙත් 2020 නව පාලනාධිකාරිය එන විට මෙහි සැපයුම තිබුණේ ලක්ෂ 3යි. මෙයින් පෙනී යන්නේ අපේ ඵලදායීතාව සියයට 50ක්ම වැටිලා කියන එක. යන්ත්‍ර වැඩ කළාට අවශ්‍ය තරම් උක් ගස් නැහැ. උක්වලට මිලක් තිබුණෙ නැති නිසා ගොවීන් වගාවට ගෙන්වා ගන්න බැරි තත්ත්වයත් තිබුණේ. අපි ඇවිත් වෙනස් කළේ මේ තත්ත්වයයි. අපි උක් මෙට්‍රික් ටොන් එකකට ගෙවන ගණන 10%කින් වැඩි කළා. මේ වසරේ දෙවැනි වතාවටත් එය 5%කින් වැඩි කළා. ගොවීන්ගේ ණය කපා හැරියා. පොහොර දුන්නා. පසුගිය වසරේ අක්කර 10,000ක් අලුතින් උක් වගා කළා. ඇඹරුම් ප්‍රමාණය බැලුවාම ලක්ෂ 5ක්. ඒ කියන්නේ උක් වගාව ලක්ෂ 2කින් වැඩි කර තිබෙනවා. උක් ගස් හැදෙන්නත් අවුරුද්දක් පමණ ගත වෙනවා.

සෞභාග්‍යයේ දැක්ම යටතේ දේශීය නිෂ්පාදනවලට මූලික තැනක් හිමි වෙනවා. මෙහිදී සීනිවලට හිමි වන්නේ කිනම් ස්ථානයක් ද?

කාරණා දෙකක් තිබෙනවා. සීනි රාජ්‍ය අමාත්‍යංශය යටතට පත් කරලා එහි නම පටන් ගන්නෙත් උක්, බඩ ඉරිඟු නමින්. මෙහි ප්‍රවර්ධනය සඳහා රජය මේ වර්ෂය සඳහා මිලියන 600-650ක මුදලක් දී තිබෙනවා. සෙවණගල නිෂ්පාදනාගාරයේ ඇඹරුම් ධාරිතාව වැඩි කරන්න මිලියන 475කුත්, පැල්වත්තේ වාරි ව්‍යාපෘති සඳහා මිලියන 100ක් සහ සෙවණගල වාරි ව්‍යාපෘති සහ ජල සැපයුම් සඳහා තවත් මිලියන 50කුත් වශයෙන් තමයි මේ මුදල් ලබා දුන්නේ. මේ රජය බලයට පැමිණි දවසේ සිටම පසුගිය වර්ෂය පුරාම පොහොර ටික අවශ්‍ය අන්දමින් සපයා දෙන්න ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍ය තුමාගේ මැදිහත්වීම මත කටයුතු කළා. මෙහි පිබිදීම ආවේ ඉන්පසුවයි. ඒ වගේම ගොවීන්ට දුන් සහනාධාර යටතට ණය පොලීය 10% සිට 8% තෙක් අඩු කළා. ගොවි ණය මිලියන 486ක් කපා හැරියා. උක් සැපයුම්කරුවන්ගේ ප්‍රවාහන ගාස්තු 10% කින් වැඩි කළා. මෙවැනි ලෙකු වැඩ කෙටසක් අපි කළා. එතනෝල්වලට රුපියල් 500ක පාලන මිලක් දැම්මෙත් සීනි කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහායි.

මේ කර්තව්‍යයන් නිසා පාඩු ලැබූ ආයතන ලාබ ලබන තත්ත්වයට ගේන්න හැකියාව ලැබුණා. මෙහි සම්පූර්ණ ගෞරවය රජයට හිමි විය යුතුයි.

සීනි අපනයනය කිරීමේ හැකියාවක් අපේ රටට නැද්ද?

නැහැ. සීනි ස්වයංපෝෂිත තත්ත්වයට එන්නටවත් අපට හැකියාවක් නැහැ. හේතුව මේ සඳහා විශාල භූමි භාගයක් අවශ්‍යයි. පැල්වත්ත සහ සෙවණගල ගත් විට අක්කර 35,000ක වගාවක් තිබෙනවා. තවත් ආයතනයක් තව අක්කර 20,000ක් පමණ වවා තිබෙනවා. මෙම අක්කර 55,000න්ම අපට පුළුවන් වී තිබෙන්නේ සීනි 10%ක් පමණ නිෂ්පාදනය කරන්න. සීනිවලින් ස්වයංපෝෂිත රටවල් ලෝකයේම තිබෙන්නේ කිහිපයක් පමණයි. 40%ක මට්ටම දක්වා නිෂ්පාදන ධාරිතාව ගෙන ඒමට අපට හැකියාව ලැබෙයි. මේ තුළින් විදේශ විනිමය එළියට ගලා යෑම බොහෝ දුරට අඩු කරන්න අපට හැකි වේවි. මේ සමඟම අපේ රටේ සීනි පර්භෝජනය අඩු කරන්න ඕනෑ. සෑම පුද්ගලයකුම 40%කින් වත් සීනි පරිභෝජනය අඩු කළ යුතුයි.

සීනි ආනයනය කිරීම සඳහා රජයට විශාල මුදලක් වැය වෙනවා. දේශීය සීනි නිෂ්පාදනය වැඩි දියුණු කළ හොත් විදේශයන්ට ඇදී යන එම මුදල ඉතිරි කර ගත හැකියි. ඒ සඳහා ඔබගේ යෝජනා මොනවා ද?

මම කලින් කිව්වා වගේ සීනි පරිභෝජනය අඩු කරන්න ඕනෑ. දියවැඩියාව අතින් ශ්‍රී ලංකාව ලෝකෙන්ම ඉදිරියෙන් සිටිනවා. ඒ වගේම අපි දැන් මේ කරගෙන යන වැඩපිළිවෙළ සීනි නිෂ්පාදනය වැඩි කිරීමට ඉවහල් වී තිබෙනවා. මේ වසරේ තවත් අක්කර 3500ක් වගා කරන්න සැලසුම් කර තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ තව සීනි කම්හල් 2ක් හෝ තුනක් ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම අප මීට වඩා කාර්යක්ෂම වෙන්න ඕනෑ. වැඩිපුර අස්වැන්න ලැබෙන උක් භෝග හඳුන්වා දෙන්නත් අප බලාපොරොත්තු වෙනවා. භූමිය වැඩි කරන්න අවශ්‍ය නැහැ. දැනටමත් උක් පර්යේෂණ ආයතනය සමඟ සම්බන්ධ වී පිටරටවලින් ගෙනාපු දෙමුහුම් අලුත් උක් ප්‍රභේද හඳුන්වා දී තිබෙනවා. මේ හරහා තවදුරටත් නිෂ්පාදනය වැඩි කරන්න අපට පුළුවන් වේවි. ඉතිහාසයේ අඹරපු වැඩිම උක් ප්‍රමාණය අපි සෙවණගලදි මේ වසරේ අඹරනවා. එය මෙට්‍රික් ටොන් ලක්ෂ 3 සීමාවට ගෙනියන්නයි අපේ බලාපොරොතුව. අවුරුදු 35කට පසුව දැන් සති දෙකකට කලින් අපි සෙවණගල උස් බිම්වලට මිලියන 630ක් වියදම් කරලා ජල ව්‍යාපෘතියක් ආරම්භ කළා. මේකෙන් අක්කර 2500කට පමණ, ගොවීන් 1000කට පමණ ජලය සපයා දෙනවා. මේ සියල්ල කරන්නේ ආයතන තුළින් උපයා ගත් ආයෝජනවලින්. ඒ වගේම ප්‍රාග්ධන වියදම් ගත් විට මේ වසරේ මිලියන 3000-4000ක පමණ ප්‍රාග්ධන වියදම් කර තිබෙනවා. නවීන යන්ත්‍ර සූත්‍ර ගැනීම, කර්මාන්ත ශාලා අලුත්වැඩියා කිරීම, නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම, ඵලදායිතාව වැඩි කිරීම මේ ප්‍රාග්ධන වියදම් යටතට ගැනෙනවා. 

ලංකා සීනි සමාගම ශ්‍රී ලංකාවේ රැකියා උත්පාදනයට දායක වී තිබෙන්නේ කොහොම ද?

මේ මොහොතේ අප කර ගෙන යන වැඩපිළිවෙළ මඟින් පසුගිය වසරේ උක් ගොවිතැනේ නොසිටි 1000ක් පමණ ජනතාව උක් ගොවිතැන සමඟ සම්බන්ධ වුණා. ඒ වගේම ධාරිතාව වැඩි කිරීම තුළින් තවත් රැකියා 500ක් පමණ ආයතනය තුළ ලබා දෙන්න අපට හැකියාව ලැබුණා. අවශ්‍යතාව මත පදනම් වුණු ඒ කියන්නේ අක්කර 10,000 වගා කරන්න, අලි වැටවල් නඩත්තු කරන්න, ජල ව්‍යාපෘති සහ කොම්පෝස්ට් පොහොර සෑදීම වගේ වැඩවලට සේවකයන් 500කට පමණ නව රැකියා දෙන්නත් අපට හැකි වුණා. මේ සමඟම ගොවි පවුල් 1000ක් පමණත් අලුතින් ගෙන්වා ගත්තා.

සීනි මිල වැඩි වීම පිළිබඳ ඔබගේ අදහස කුමක් ද?

සීනි මිල වැඩි වීම සිදු වන්නේ ඩොලරය සමඟ. අපි 90%ක්ම සීනි ආනයනය කරන විට අපට යන්න වෙන්නේ ඩොලරය සමඟ. ඒ නිසා තමයි රජය සීනි කිලෝ එකකට යන රුපියල් 50 බද්ද අයින් කරලා ඒ ප්‍රතිලාභය ජනතාවට ලබා දෙන්නේ. එම බදු මුදලත් සමඟ තිබුණා නම් මේ වෙන කොට සීනි කිලෝ එකක් රුපියල් 200ක් පමණ වෙනවා. එහෙත් දැනටත් සතොස සහ සමුකාරත් සුදු සීනි රුපියල් 100කටත්, රුපියල් 115කට රතු සීනිත් දෙන්න පියවර ගෙන තිබෙනවා.. මේ මොහොත වන විටත් ලංකා සීනි සමාගමෙන් සතොස සහ සමුපකාරවලට රතු සීනි 110කට වගේ මිලකට දෙන්නේ රටේ ජනතාවට සහනයක් දෙන්නයි. මේ ආකාරයෙන් අපි සෘජුවම මැදිහත් වෙන්නේ මිල ඉහළ නොදමා පවත්වා ගැනීමට.

කාබනික වගා සංග්‍රාමය යටතේ උක් වගාව සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවා ද?

ජනාධිපතිතුමාගේ එම කාබනික පොහොර ප්‍රතිපත්තිය මත පිහිටලා අප වැඩ කරනවා. මොනරාගල දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන් බහුතරයක් ඉන්නවා. අපේ ගොවීන් 10,000 පමණ සිටිනවා. මේ අයගෙන් අවුරුදු 20-30ක් උක් වගාවේ නියැළුණු සියලු ගොවීන් වකුගඩු රෝගීන් එහෙම නැත්නම් හෘදය රෝගීන්. රසායනික පොහොර නැවැත්වීමේ තීරණය බැනුම් අහන තීරණයක් වුණත් මිනිස්සු කොපමණ රජයට බැන්නත් කාලයක් ගියාම මිනිස්සු පින් දෙයි. හේතුව මේ තීරණය ගත යුතුමයි. ජනාධිපතිතුමා මේ තීරණය දෙන්නත් කලින් අපි ගිය අවුරුද්දේ කාබනික පොහොර නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. අප බලාපොරොත්තු වුණේ ප්‍රමිතියෙන් ඉහළ කොම්පෝස්ට් හදන්න. පසුව ජනාධිපතිතුමාගේ තීරණයත් සමඟ අපි පැල්වත්තේ සහ සෙවණගල යන දෙකේම ශ්‍රී ලංකාවේ විශාලතම පොහොර කර්මාන්ත ශාලා දෙක හදනවා. ඒ සඳහා දැනටමත් සියලු කටයුතු යොදා ගෙන අවසන්. සීනි නිෂ්පාදනය කරන විට තමයි ගුණයෙන් වැඩි අපද්‍රව්‍ය (මඩ වගේ ද්‍රව්‍යයක්) පිට වන්නේ. මිලියන 250-300 පමණ වියදමක් දරලා මේ ආයතන දෙකෙන් පිටවන අපද්‍රව්‍ය එකතු කරලා ප්‍රමිතියෙන් ඉතා ඉහළ ඒ කියන්නේ නයිට්‍රජන් ප්‍රතිශතය වැඩි කැට සහිත ජෛව පොහොරක් නිෂ්පාදනය කරන්න අපි සියලු දේ සකස් කර තිබෙන්නේ. මේ සඳහා දැනටමත් ටෙක්සාස්වල සහ චීනයේ මහාචාර්යවරු දෙදෙනෙක් සම්බන්ධ වී සිටිනවා. මේ මඟින් අප බලාපොරොත්තු වෙනවා අක්කර 35,000ක් පමණ විහිදිලා තිබෙන උක් වගාව සඳහා සම්පූර්ණ පොහොර ආයතනය තුළින්ම සපයා දෙන්න. ඒවා ගොවීන්ට සහනදායී මිලකට දෙනවා. ඒ වගේම අප බලාපොරොත්තු වෙනවා පොහොර අතිරික්තයක් නිෂ්පාදනය කරලා එය රටේ අවශ්‍යතාවට සපයා දෙන්න. හේතුව වෙනදාට යූරියා කිලෝ එකක් දැමූ තැනක කොම්පෝස්ට් දමන විට කිලෝ 5ක් පමණ වැඩිපුර දාන්න ඕනෑ. ඒත් අප හදන ප්‍රමිතියෙන් උසස් පොහොර එහි අනෙක් පැත්ත. යූරියා කිලෝ එකක් අවශ්‍ය තැනට මේ පොහොර ග්රෑම් 500ක් පමණ ප්‍රමාණවත්. මේ පොහොර ව්‍යාපෘතිය මේ වසරේදීම අවසන් කරන්න දැනටමත් වැඩකටයුතු සූදානම්.

(Courtesy of dinamina.lk)

Leave a reply: