ආණ්ඩුවට තුනෙන් දෙක නොලැබුණොත් ව්‍යවස්ථා වෙනසට ජනමත විමසුමක්

මහ මැතිවරණයේ ප්‍රතිඵලය අනුව ආණ්ඩුවට 2/3 ක බහුතර පාර්ලිමේන්තු බලයක් නොලැබුණොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය හැකි බව ට නීති විශාරදයන් රජයට උපදෙස් දී ඇත .වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවත්නා විධි විධාන අනුව ජනමත විමසුමකින් අනුමැතිය ලබා ව්‍යවස්ථාව වෙනස් කළ හැකිය.

රජය ප්‍රතිපත්තියක් වශයෙන් මේ වන විට තීන්දු කර ඇත්තේ පවත්නා ජේ.ආර් ජයවර්ධනගේ ව්‍යවස්ථාව රටට නොගැලපෙන බවයි.19 වැනි සංශෝධනය වහා අහෝසි කර පැරැණි රාජ්‍ය සේවා ක්‍රමය රටට හඳුන්වා දීමට නියමිතය .සියලු කොමිෂන් සභා අහෝසි කෙරේ .එහෙත් ඉන්දියාව සමඟ ගිවිසුම් ගතව තිබෙන 13 වැනි සංශෝධනය නොවෙනස්ව පවත්වා ගෙන යනු ඇත .

නව ව්‍යවස්ථාව සම්පාදනයට පාර්ලිමේන්තුව මගින් ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් පත් කෙරේ .ඒ සඳහා ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් හත් දෙනෙකු තෝරා පත් කෙරෙති.ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා හා ජනාධිපති නීතිඥ මනෝහාරද සිල්වා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් මේ සඳහා තෝරා ගෙන ඇතැයි සඳහන්ය .මෙහි ප්‍රධාන උපදේශකවරුන් ලෙස හිටපු අගවිනිසුරුවරුන් වන සරත් සිල්වා සහ අශෝක ද සිල්වා යන මහත්වරුන් පත් කිරීමට යෝජිතව ඇතැයි වාර්තා වෙයි .රජය පත්වී වසරක් තුළ නව ව්‍යවස්ථාවක් සම්පාදනය ආණ්ඩුවේ සැලසුමයි.

Leave a reply: