ආහාර කොමසාරිස් බහිරවයා…!

රට තුළ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව නමින් ආයතනයක් ඇතැයි කියනු ලැබේ. ඒ තුළ ලක්ෂ ගණන් පඩි ලබන කොමසාරිස්වරයකු ඇතුළු කාර්ය මණ්ඩලයක්ද වෙතියි වාර්තා වන අතර, මේ මගින් වර්තමානයේ කෙරෙන්නේ කුමක්දැයි යන්න ජනතාව ලෙස අපට විශාල ප‍්‍රශ්නයක් තිබේ. අප එසේ කියන්නේ මෙම රාජ්‍ය ආයතනයේ පරමාර්ථ සහ ඊට ඇති දේපළ, වත්කම්, වගකීම් දෙස විමර්ශනාත්මකව බැලීමේදීය.

කෙටියෙන්ම කියන්නේ නම්, රට තුළ ඇතිව තිබෙන සහල් අර්බුදයට, නොහොත් සහල් මාෆියාවට හේතුව ඔය කියන ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව තම සියලූ වගකීම් පැහැර හැරීමය. අප එසේ පවසන්නේ දැඩි වගකීමකින් යුතුව වන අතර, මේ පිළිබඳව යම් පැහැදිලි කිරීමක් එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා ඇතුළු පාලනාධිකාරියෙන් හෝ අදාළ අමාත්‍යවරයාගෙන් අප ඉතා ඉක්මණින් බලාපොරොත්තු වන්නෙමු.

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව පිහිටුවන්නේ 1942 වර්ෂයේදී වන අතර, 1987 වසරේ ආහාර මුද්දර ක‍්‍රමය ආරම්භ කරනතුරු ජනතාවට අදාළ සහනාධාර සහ සලාක බෙදාහරිනු ලබන්නේ ඉහත දෙපාර්තමේන්තුව මගිනි. රටට ප‍්‍රමාණවත් තරම් සහල් සහ අනෙකුත් අතවශ්‍ය ආහාර රට තුළ නිෂ්පාදනය නොවන එකල ආහාර ආනයනය, ගබඩා කිරීම හා මිල පාලනය මෙන්ම බෙදාහැරීම යන කටයුතු සිදුකරනු ලබන්නේ මේ කියන ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව මගිනි. රට තුළ එතරම් විශාල මෙහෙයුම් කටයුත්තක් සිදුකරන ලද ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව අද බෝඞ් ලෑල්ලකට සීමා කරමින් හා එහි පාලකයින්ට ලක්ෂ ගණන් පිං පඩි ගෙවමින් පවත්වාගෙන යනු ලබන අතර, ඊට ඇති වගකීම් කිසිවක් ඉටුකරනු නොලබන බව කියන්නේ අප නොව රජයේම විගණකාධිපතිවරයා විසිනි.

ආරක්ෂිතව, අඛණ්ඩව පෝෂ්‍යදායී ධාන්‍යමය ආහාර සෑම නිවසකටම යන අරමුණ යටතේ ක‍්‍රියාත්මක වන මෙම දෙපාර්තමේන්තුව සතුව සෑම වසරකම සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂය (100,000*ක සංචිතයක් දෙපාර්තමේන්තුව සතු ගබඩාවල පවත්වාගෙන යායුතු අතර, අද මෙන් සහල් මාෆියාවක් ඇති වී වෙළෙඳපළේ සහල් මිල ඉහළ යන අවස්ථාවලදී මිල සමනය කිරීමට මෙන්ම, හදිසි ආපදාවකදී ප‍්‍රයෝජනයට ගැනීමට පරිභෝජනයට සුදුසු ගුණාත්මක තත්ත්වයේ සහල් තොගයක් මෙසේ ගබඩා කිරීම ඊට පැවරී ඇති අනිවාර්ය කටයුත්තකි.

එහෙත්, අපට අසන්නට ඇත්තේ එවන් වගකීමක් ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් සිදුකර තිබේද යන්නය හෝ සිදුකරමින් පවතීද යන්නය. සත්‍යය නම්, 2012 වසරේ පටන් 2019 දෙසැම්බර් 31 වැනිදා (විගණකාධිපති වාර්තාව සඳහා තෝරාගත් කාලය* දක්වා එකම සහල් ඇටයක්වත් ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතුව ඔවුන්ගේ ගබඩාවල නොතිබීමය.

මේ බව වෙළෙඳ ඇමැතිවරයා, කෘෂිකර්ම ඇමැතිවරයා හෝ අගමැති, ජනාධිපතිවරු නොදන්නේ ඇයි දැයි අපට තේරෙන්නේ නැත. ඔය කියන කාලේ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතුව එකම සහල් ඇටයක්වත් නැති වුණාට, ඔවුන් සතුව සහල් මෙටි‍්‍රක් ටොන් 286,946 ක් ගබඩා කළ හැකි ගබඩා 120 ක් රට පුරා ඇත. මින් 46 ක් රජයේ හා පුද්ගලික අංශයේ භාවිතය සඳහා කුලියට ලබා දී ඇතත්, 2019.12.31 දක්වා ඒ සඳහා ලැබිය යුතු රුපියල් 111,161,637 ක මුදලවත් අයකර ගැනීමට පාලන අධිකාරිය කටයුතු කර නැති බව රජයේ විගණන වාර්තාව කියයි. එසේම, තවත් ගබඩා 28 ක් රාජ්‍ය අංශය වෙත කුලී නැතිවම ලබාදී ඇත. දිස්ත‍්‍රික් ලේකම්වරුන් සඳහා ගබඩා 20 ක් ලබා දී ඇති අතර, දෙපාර්තමේන්තුව සතුව ඍජුවම පවතින්නේ ගබඩා 24 ක් පමණි.

එසේම, 2019 වනවිට රුපියල් 292,311,945 ක් වැයකර ධාරිතාව මෙටි‍්‍රක් ටොන් 34,300 ක් සඳහා ගබඩා 6 ක් විද්‍යාත්මක ගබඩා ලෙස නවීකරණය කර ඇත. මේ සියලූ විද්‍යාත්මක ගබඩා සමුපකාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට, ලංකා සතොසට හා සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවට පවරා ඇඟ බේරාගෙන ඇති ආහාර කොමසාරිස් ජනරාල්වරයා, නිකං ඉඳගෙන රජයේ මුදල් ගිලින බහිරවයෙක් බවට පත්වී සිටීම පිළිබඳව රජයේ බලධාරීන් සොයා නොබලන්නේ ඇයි…? මේ පිළිබඳව විගණකාධිපතිවරයා ඉතා හොඳින් තම වාර්තාවෙන් තොරතුරු අනාවරණය කර ඇත. විස පොල්තෙල් පිළිබඳව ප‍්‍රමිති කාර්යාංශයේ ප‍්‍රධානීන් කටයුතු කරන ආකාරයටම සහල් අර්බුදයේදී ආහාර කොමසාරිස්වරයාද කටයුතු කරන්නේදැයි අපට දැන් සාධාරණ සැකයක් ඇත. ජනාධිපතිතුමනි, මේ සඳහා වහාම අදාළ පියවර ගන්න. රටට අතිරික්ත සහල් සංචිතයක් වහාම අවශ්‍යව ඇත.

(Courtesy of Divaina.com)

Leave a reply: