ආහාර සුරක්ෂිතාව උදෙසා ගත යුතු නව පිළියම්

විසි එක්වැනි සියවසේ ලෝකයට බලපෑ අති බිහිසුණුම ප්‍රහාරය කොවිඩ් 19 වසංගතයයි. එය මුළු මහත් මානව සංහතියටම සෞඛ්‍යමය වශයෙන් පමණක් නොව ආර්ථික, දේශපාලන හා සමාජයීය ලෙස ද එල්ල කර ඇති බලපෑම අදටත් එසේම ක්‍රියාත්මක වෙමින් පවතී. මෙහිලා කොරෝනා ව්‍යසනය මිනිසාට ජීවිත තර්ජනයක් නිර්මාණය කර තිබීම පමණක් නොව එය මිනිසා කුසගින්න නිවා ගැනීමට දරන ජීවන සටනට ද සෘජුව සහ දැඩිව බලපෑමක් එල්ල කර ඇත. ඒ අභියෝග සියල්ල ජය ගනු වස් රටේ ආහාර සුරක්ෂිතාව උදෙසා ගත යුතු නව පිළියම් සම්බන්ධයෙන් විමසා බැලීම කාලීන අවශ්‍යතාවකි.

මිනිසා සිය දෛනික ජීවිතයේ සියල්ල සිදු කරන්නේ ආහාර සහ පෝෂණ අවශ්‍යතාව නමැති කාරණය මුදුන් පමුණුවා ගැනීමටය. මෙහිදි ආර්ථික වශයෙන් ඇති නැති පරතරය කොවිඩ් හමුවේ අවලංගු නියතියක් බවට පත්ව ඇත. එහෙත් ධනවත් සහ විශේෂයෙන් මධ්‍යම පාන්තික ජනතාව කොවිඩ් සහ ආර්ථිකය යන කාරණා දෙක යම් තරමකට සමතුලිත කර ගැනීමට සමත් වී ඇති මුත් අපේ රට වැනි අඩු ආදායම්ලාභි පවුල් වැඩි ප්‍රමාණයක් දිවි ගෙවන රටවලට මෙය මරු පහරක් බවට පත්ව ඇත. මේ නිසාම ආහාර සුරක්ෂිතතාව කෙරෙහි සෑම රටක්ම වැඩි අවධානයක් යොමු කර තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් ඇතැම් විට මුළු රටම එසේත් නැත්නම් ප්‍රදේශ වශයෙන් වුව හුදෙකලා කිරීම නිසා ආහාර සුරක්ෂිතතාවේ මූලික පදනම වන ආහාර නිෂ්පාදනය සහ ආහාර බෙදාහැරීමේ යාන්ත්‍රණය අකර්මණ්‍ය වී ඇත. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන උපදෙස්වලට යටත්වීම අන් සියල්ලටම වඩා ප්‍රමුඛත්වය දිය යුතු කාරණයකි. එය එසේ මුත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින්ම ආහාර නිපදවීම සහ බෙදාහැරීමේ දාමය ද පණ ගැන්වීම තුළින් රටක ආර්ථිකයට කෙටි සහ දිගු කාලනීව එල්ල විය හැකි ගැටලු අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඒ සඳහා ආහාර නිෂ්පාදනය සහ බෙදා හැරිම උපායශීලීව මෙහෙය විය හැකි යාන්ත්‍රණයක් අප විසින් සකසා ගත යුතුව ඇත.

අභියෝග රැසක්

මේ මොහොතේ අප හමුවේ අභියෝග රැසක් පවතී. කොවිඩ් තුන්වැනි රැල්ලෙන් රටට සිදු වී ඇති සෞඛ්‍යමය තර්ජනය පෙර පරිදි නොව වඩාත් බරපතළය. ඒ ආකාරයෙන්ම රටේ ආහාර නිෂ්පාදනය ද සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇත. බෙදාහැරීම ද අඩාළ වී ඇත. එමෙන්ම රටේ ජනතාවගේ ආදායම් තත්ත්වය ද පහළ වැටී ඇත. මේ ගැටලු සියල්ල රටේ පුරවැසියන්ගේ පෝෂණ අවශ්‍යතාව බිඳ වැටීමට බලපානු ඇත. එමෙන්ම අපේ රටේ ආහාර නිෂ්පාදන දාමය තුළ පවතින සුවිශේෂත්වය අපි හඳුනාගත යුතුය. මෙහි පාර්ශ්වකරුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් සහ බෙදාහරින්නන්ය. මේ ක්‍රියාවලියට දායකත්වය සපයා දී ඇත්තේ මහා පරිමාණ ව්‍යපාරිකයන් අතළොස්සකි. මේ නිසා ආහාර නිෂ්පාදනය සහ බෙදා හැරීමට වැඩි දායකත්වයක් සපයන පිරිස් දැඩි ආර්ථික අර්බුදයකට මේ මොහොතේ මුහුණ පා සිටිති. ඔවුන්ට ප්‍රාථමික නිෂ්පාදනයට අවශ්‍ය අමුදුව්‍ය හිඟය සහ මූල්‍යමය දුෂ්කරතාව දැඩිව පැන නැඟී ඇත. එමෙන්ම නිෂ්පාදනවලට පවතින ඉල්ලුම ද අඩු වීම මේ මොහොතේ විශේෂ ලක්ෂණයකි. ඊට හේතුව රටේ ජනතාව නිවෙස්වලට කොටු වී සිටීම නිසා ඔවුන්ගේ අවශ්‍යතා සීමා සහිත වී තිබීමය.

ආහාර නිෂ්පාදන යාන්ත්‍රණයේ වැඩි පිරිසක් සිටින්නේ මෙරට ගොවි ප්‍රජාවය. එමෙන්ම බෙදා හැරීමේ කාර්යය කරන ප්‍රවාහනකරුවෝ, සිල්ලර වෙළෙන්දෝ, සැකසුම්කරුවෝ යන සියලු පාර්ශ්ව මේ ගැටලුවට මැදිව සිටිති. බෙදාහරින්නන් මුහුණ දී තිබෙන ගැටලුව ප්‍රවාහන දුෂ්කරතා, කොවිඩ්වලට නිරාවරණය වීමේ අවදානම සහ නිෂ්පාදන මිල දී ගැනීමට මුදල් නොමැතිකමය. එමෙන්ම සැකසුම්කරුවන් ගත් විට භාණ්ඩවලට පවතින ඉල්ලුම අඩු වීම ඔවුන් මුහුණ පා තිබෙන බරපතළ ගැටලුව වේ. යම් හෙයකින් ආහාර නිෂ්පාදනවල මිල අඩු කළ හොත් එහිදී එම ආහාරවල ගුණාත්මය සහ ආරක්ෂිත බව හීන වීම නොවැළැක්විය හැකි කාරණයකි. මේ ආකාරයෙන් එකිනෙකට බද්ධ වී ඇති ජාලය තුළ පැන නැඟී ඇති අවුල රට තුළ ආහාර සුලබ වීම නමැති සාධකයට සැලකිය යුතු බලපෑමක් එල්ල කර ඇත.

කොවිඩ් තුන්වැනි රැල්ල මතුවීමට පෙර උත්සව සමයේ රට තුළ යහපත් ආර්ථික වටපිටාවක් සැකසෙමින් පැවතිණි. ආහාර සුලබ වීම මෙන්ම වෙනත් අවශ්‍යතා ද සපුරා ගැනීමට භාණ්ඩ හිඟය නමැති බාධාව ඉස්මතුව නොතිබිණි. එහෙත් සංචරණ සීමා පැනවීමත් සමඟ අපි ඉහතින් සඳහන් කළ ජාලයේ ක්‍රියාකාරිත්වය මන්දගාමී වීම හෝ අඩපණවීම හෝ ඇතැම් අංශවලින් මුළුමනින්ම නතර වී ඇති තත්ත්වයක් උදා වී ඇත. මේ නිසා ඇතැම් ආහාර නිෂ්පාදනවල පාරිභෝගිකයාට දැරිය නොහැකි තරමට මිල ඉහළ ගොස් ඇත. මේ තත්ත්වය වැඩි සහ ඝෘජු බලපෑමක් එල්ල කරන්නේ අඩු ආදායම්ලාභි පවුල්වල පෝෂණ අවශ්‍යතාව සපුරා ගැනීමේ කාරණයටය.

තිරසර විසැඳුමක්

රජය මේ මොහොතේ අඩු ආදායම්ලාභි පවුල්වල පෝෂණ අවශ්‍යතා සමනය කර ගැනීමට සහන රැසක් ක්‍රියාත්මක කර ඇති අතර, එය අප විසින් පැසසිය යුතුය. එහෙත් කොවිඩ් වසංගතය කවදා කිනම් මොහොතකදී මුළුමනින්ම පරාජය කළ හැකි දැයි යන ප්‍රශ්නයට තවම පිළිතුරක් නොමැති හෙයින් ආහාර සුරක්ෂිතතාව යන කාරණයට රටක් වශයෙන් අප තිරසර විසැඳුමක් සෙවිය යුතු අතර, එය ක්‍රියාවට නැංවීම ද කළ යුතුව ඇත.

ආහාර සුරක්ෂිතාව යනු කුමක් ද යන ප්‍රශ්නයට අදාළ පිළිතුර තුළ අන්තර්ගතය කාරණා කිහිපයකින් සමන්විතය. පළමුව රට තුළ ආහාර සුලබ විය යුතුය. දෙවනුව ආහාර පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව පැවතිය යුතුය. තුන්වෙනුව ආහාර නිෂ්පාදනය සහ බෙදා හැරීමේ ස්ථායිතාව පැවතිය යුතුය. සිවුවෙනුව ආහාරවල ගුණාත්මය සහ ආරක්ෂාව තහවුරු විය යුතුය. මෙම කාරණා හතර ගැටලුවක් ඇති නොකරන තාක් ආහාර අර්බුදයක් පැන නොනඟින අතර, එසේ නොවුණ හොත් කොවිඩ් වසංගතයේ අතුරු ඵලයක් ලෙස දිගුකාලීනව ජනතාවගේ පෝෂණ ඌනතා ආශ්‍රිත සෞඛ්‍ය ප්‍රශ්න පැන නඟිනු ඇත. මෙහිලා වැඩි වශයෙන් තර්ජනයක් එල්ල කරන්නේ අඩු ආදයම්ලාභි පවුල්වලටය.

කෙසේ වෙතත් රටක් වශයෙන් අපි උත්සුක විය යුත්තේ කොවිඩ් සමඟ ඉදිරියට යමින් රටේ ආර්ථික අර්බුදයක් මතුවීම වළක්වාලමින් ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීමටය. අපේ ආහාර සංචිතය ශක්තිමත් කිරීමටය. මෙය සාමූහික කාර්යයකි. එය තනිව රජයට කළ හැක්කක් නොවේ.

වැඩපිළිවෙළ

විවිධ මතිමතාන්තර අප තුළ පැවතිය හැකි මුත් රාජ්‍ය යාන්ත්‍රණයත් පෞද්ගලික අංශය සහ විශේෂයෙන් මෙරටේ බුද්ධිමතුන්, කෘෂිකාර්මික සහ ආර්ථික ක්ෂේත්‍රයේ විශේෂඥයින් මෙම ක්‍රියාවලියට ඒකාබද්ධ විය යුතුය. මෙහිදි ප්‍රායෝගික වැඩපිළිවෙළක් ආරම්භ විය යුත්තේ ආහාර සුරක්ෂිතතා ජාලයේ විවිධ පාර්ශ්වකරුවන් දැනට මුහුණ දී තිබෙන ගැටලු නිවැරැදිව හඳුනා ගැනීමටය. එය උපකල්පනවලින් හෝ අනුමානවලින් තොරව බිම් මට්ටමටම ගොස් හඳුනාගත යුතුව ඇත. අනතුරුව ඔවුන් මුහුණ පා ඇති ගැටලුවලට දිය හැකි ආසන්නතම සහ මේ මොහොතේ පහසුවෙන් ළඟා විය හැකි විසැඳුම් යෝජනාවලට ඔවුන් බද්ධ කර ගැනීම කළ යුතු වේ.

මේ වන විට වැඩියෙන් කතාබහට ලක්ව ඇත්තේ ආර්ථික මධ්‍යස්ථානවල දෛනික කටයුතු අඩාළ වීමය. ආහාර නිෂ්පාදන බෙදා හැරීමේ මර්මස්ථාන වැසී යෑමෙන් ආහාර නිෂ්පාදන කල් තබා ගැනීමට නොහැකිවීමත් සමඟ ආහාර නිෂ්පාදන විනාශ වීම සහ නාස්තිය සිදු වේ. කෙටි ආයු කාලයක් ඇති ආහාර නිෂ්පාදන මේ ගැටලුවට ඝෘජුව නිරාවරණය වී ඇති අතර, ඒ සඳහා අපට ළඟා විය හැකි පහසුම විසඳුම වනුයේ වැඩි ආයු කාලයක් ඇති ආහාර එනම් එළවළු පලතුරු ආදිය නිෂ්පාදනයට මාරු වීමය. එය සැකසුම්කරණයට ද අදාළය. මෙය නිෂ්පාදන සහ සැකසුම්කරණයේ විවිධාංගීකරණය නමින් හැඳින්වේ. මීළඟට ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට බාධාවක්ව ඇති අමුද්‍රව්‍ය හිඟයට කාලීන විසඳුම ලෙස හැකි තරම් ආදේශන අමුද්‍රව්‍ය භාවිත කළ හැකිය. මෙහිදී ආදේශන අමුද්‍රව්‍ය හඳුනා ගැනීමට ඒ සඳහා වූ පර්යේෂණාත්මක පැති විවර කළ යුතු වේ. ඇතැම් විට නව අත්හදා බැලීම් මෙන්ම ජනප්‍රිය නොවූ විකල්ප විසඳුම් අප අතරම පැවතිය හැකිය. මේවා විසඳුම් ලෙස කරළියට පැමිණිය යුතුය. මේ මොහොතේ අමුද්‍රව්‍ය ආනයනයට බාධා ඇතිව තිබීමත් රට තුළ අමුද්‍රව්‍ය හිඟයක් පැවතීමටත් එකම පිළියම ආදේශන අමුද්‍රව්‍යවලට යොමු වීමය.

අවදානමට මුහුණ දීමේ හැකියාව

එමෙන්ම ආහාර සුරක්ෂිතතා ක්‍රියාවලිය වඩාත් ශක්තිමත් කිරීමට නම් ප්‍රාථමික නිෂ්පාදන කරන ගොවියාගේ සිට සියලු පාර්ශ්ව ව්‍යවසායකයින් ලෙස ඉදිරියට ආ යුතුය. ව්‍යවසායකත්වය යනු අවදානමට මුහුණ දීමේ හැකියාවය. කොරෝනා වසංගතයත් සමඟ පැන නැඟී ඇති ප්‍රායෝගික බාධාවන්ට මුහුණදීමට ඇති බිය නිසා ඇතැමුන් තම දෛනික වෘත්තින්වලින් ඉවත්ව ඇති බවක් ද දක්නට තිබේ. එය රටේ ඉදිරි ගමන ආපස්සට හැරවීමට හේතුවක් වනු ඇත. මේ නිසා කොවිඩ් සමඟ ඉදිරියට යමින් රටේ ආහාර සුරක්ෂිතාව තහවුරු කිරීමට ධනාත්මක ආකල්පමය වෙනස්කම් ද සහිතව පෙළ ගැසීම කාලීන අවශ්‍යතාවකි.

රටක ආහාර අර්බුදයක් පැන නැඟීමට බලපානුයේ ආහාර සුරක්ෂිතතා ජාලය බිඳ වැටීමට ලක්වීම බව ඉහතින් සඳහන් කළ අතර, එසේ නම් ආහාර අර්බුදයක් පැන නොනැඟීමට නම් නිෂ්පාදකයා, බෙදාහරින්නා, සැකසුම්කරුවා ආදි සියලු පාර්ශ්ව සහයෝගිතාවයෙන් මෙම ක්‍රියාවලිය ඉදිරියට ඇදගෙන යා යුතුය. එහිදී මෙම යාන්ත්‍රණයට අතරමැදියන්ගේ බලපෑම හැකි තරම් අවම කර ගැනීම අත්‍යවශ්‍ය වේ. අතරමැදියන්ගේ සුරාකෑම තුළින් කොවිඩ් සමඟ නැඟී සිටීමට දරන උත්සාහය සහ ඉන් අත්කරදෙන ආර්ථික ලාභය වෙනත් පිරිසක් අතට පත්වනු ඇත. එය පරාජය කිරීමට අවශ්‍ය වන්නේ මුදල් සහ ශ්‍රමය මුදා හරින පිරිස අතර ගොඩනැඟෙන සහයෝගිතාවයය.

කොවිඩ් වසංගතයත් සමඟ සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදිමින් ආහාර සුරක්ෂිතතා දාමය ද නොනැවතී ඉදිරියට රැගෙන යෑම අප හමුවේ පවතින අභියෝගය වේ. එය ජයගැනීමට හැකි සෑම ධනාත්මක සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි විසඳුම් අප කඩිනමින් හඳුනාගත යුතුය. මේ වන විට ආර්ථික වශයෙන් බිඳ වැටී සිටින අයට නැඟී සිටීමට ඇති බරපතළ බාධාවක්ව ඇත්තේ බැංකු ගනුදෙනු ආදිය ඇනහිටීමෙන් රට තුළ මුදල් සංසරණය හෙවත් හුවමාරු ක්‍රම ඇනහිටීමය. ඒ සඳහා රජය වඩාත් සුදුසු විධික්‍රමයකට අවතීර්ණ විය යුතු බව අපි යෝජනා කරමු. ඒ සඳහා වඩාත් සාරගර්භ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණ විද්වතුන්ගේ අදහස් හා යෝජනා රජයට විශාල ශක්තියක් සහ පන්නරයක් වනු ඇත.

ප්‍රාථමික නිෂ්පාදනය සහ සැකසුම්කරණය හරහා එන ආහාර නිෂ්පාදන කඩිනමින් රට තුළ බෙදා හැරීමට ක්ෂණික සේවාවක් ලෙස දුම්රිය ආදිය යොදා ගැනීමට හැකි නම් එය වඩාත් යෝග්‍යයය. මක් නිසාද ආහාර නිෂ්පාදන විනාශ වීමට ඇති සෑම අවස්ථාවකටම අප විසින් වහා වැට බැඳිය යුතු බැවිනි. එමෙන්ම විධිමත් සෞඛාරක්ෂිත ක්‍රම තහවුරු කරමින් පාරිභෝගිකයාට ආහාර මිල දී ගැනිීමට ඇති අවස්ථා සුලබ කරනු වස් ජංගම වෙළෙඳාම ආදිය ශක්තිමත් කළ හැකිය. එනයින් ප්‍රාථමික නිෂ්පාදන සිදු කරන ගොවියාට ව්‍යවසායකයෙක් දක්වා ඉදිරියට ඒමට ද අවස්ථාවක් නිර්මාණය වනු ඇත. රජය මේ වන විටත් එවැනි විසඳුම්වලට අවතීර්ණ වී ඇති අතර, එය තවදුරටත් ශක්තිමත් කළ හැකිය. එමෙන්ම ණය සහ රක්ෂණ ආවරණ ලබා දීමේ දී ආහාර සුරක්ෂිතතා ජාලය බද්ධ පිරිස් සඳහා ප්‍රමුඛත්වය දීම වඩාත් සුදුසුය. ඊට රාජ්‍ය අංශයේ පමණක් නොව පෞද්ගලික අංශයේ ද දායකත්වය ද රටේ අභිවෘද්ධිය ද පිටිවහලක් වනු ඇත.

සකුන්තලා ජයසිංහ

(Courtesy of dinamina.lk)

Leave a reply: