ඇමතිකම් නොලැබුන අය විස්සේ පිහිට පතයි.

වත්මන් රජයේ අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී තනතුරු නොලැබුණු ඇතැම් මන්ත්‍රීන් විසිවෙනි සංශෝධනයට මුවා වී තනතුරු ලබා ගැනීමේ උත්සාහයක් දියත් කර ඇතැයි අප වෙත වාර්තා වෙයි.

ඔවුන් මේ දිනවල කරන්නේ විසිවෙනි සංශෝධනයට අදාළව විවිධ පදනම් විරහිත ප්‍රචාර ගෙන යමින් ඒ සම්බන්ධව ගෝනි බිල්ලෙක් මවා පෑමයි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් ඉතා පැහැදිලිව දහනම වන සංශෝධනය අහෝසි කර දමන බවට රටටත් ජනතාවටත් ප්‍රතිඥාවක් ලබා දුනි. එම ප්‍රතිඥාව ඉටු කිරීම සඳහා දහනමවැනි සංශෝධනය ඉවත් කිරීම රජයේ ප්‍රථම කාර්යභාරය වී තිබේ. ඒ අනුව ඊට අදාළ දළ කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොටඇත.

ඒ සම්බන්ධව ජනාධිපතිවරයා අගමැතිවරයා සහ කැබිනට්ටුවේ ජේෂ්ඨ අමාත්‍යවරුන් සියලුම හවුල්කාර පක්ෂ වලටත් මැති ඇමතිවරුන්ටත් කරුණු පැහැදිලි කර ඇත. එසේ තිබියදීත් තනතුරු නොලද ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තනතුරු ලබා ගැනීමේ අභිලාෂයෙන් එම යෝජනාවට එරෙහිව කරුණු දක්වන්නට පටන් ගෙන ඇතැයි ජනාධිපතිවරයාට විශේෂ වාර්තාවක් ලැබී තිබේ.එසේ වුව ද මෙලෙස තනතුරු ලබා ගැනීමේ පටු අරමුණින් ව්‍යවස්ථා සංශෝධනය විවේචනය කරන කිසිවෙකුට තනතුරු ලබාදීමට රජය අපේක්ෂා නොකරන බව ඉහළ පෙළේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a reply: