ඇමැතිවරයෙක් හා මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වීමේ සූදානමක.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී කණ්ඩායමේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු හා මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වීම සඳහා සැරසෙන බව කොළඹ දේශපාලන ක්ශේත්‍රයේ තිරය පිටුපස ආරංචි පැතිර යමින් තිබේ .

මේ දෙදෙනාම මුස්ලිම් ජාතිකයන් වන අතර ඔවුන් ඉල්ලා අස්වීමට යන්නේ මුස්ලිම්වරුන් ගේ මෘත දේහ භූමදානය නොකර ආදාහනය කිරීමට තීන්දු කළ බව පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යවරිය පාර්ලිමේන්තුවට නිල වශයෙන් දැන්වීමත් සමඟ ය.මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධානීන් අදාළ අමාත්‍යවරයා සමඟ වාර ගණනාවක් සාකච්ඡා කර ඇත .

එහෙත් ඔහුට සිය ආගමික නායකයන්ගෙන් මෙන්ම පවුලේ අයගෙන් එල්ල වන දැඩි බලපෑම් නිසා මෙම තීන්දුව ගන්නට සැරසෙන බව දැනගන්නට ඇත .මෙයින් එක් දේශපාලනඥයකු ගේ පවුලේ අය ඔහු සමඟ නෑදෑ සබඳතා පැවැත්වීම පවා සීමා කර ඇතැයි දැනගන්නට තිබේ .

මේ දෙදෙනා රජයේ ජාතික ලැයිස්තුව ට එක්වූයේ රජයේ ඉහළම නායකයන් ගේ ඉල්ලීම නිසාය .ඔවුන් දෙදෙනාම බහුතර සිංහල සමාජය සමඟ ඉතාම සුහදව මධ්‍යස්ථව කටයුතු කළ නායකයන් ලෙස පිළිගැනීමක් තිබුණි .පසුගිය මැතිවරණවලදී මේ දෙදෙනාම රජයේ ජයග්‍රහණය සඳහා විශාල වැඩ කොටසක් කළේය .

අප වෙත ලැබෙන ආරංචි මාර්ග අනුව මෙලෙස ඉල්ලා අස්වෙන බවට ආරංචි පැතිර යන්නේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා සහ බේරුවල ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු මෙන්ම දේශපාලනඥයෙකු වන ජාතික ලැයිස්තු මන්ත්‍රී පලීල් මර්ජාන් මහතා ය.

Leave a reply: