ඉඩි අමීන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වූ ජෝන් කොතලාවල

(ජෝන් කොතලාවල මහතාගේ ජන්ම දින සැමරුම අප්‍රේල් 04 වැනිදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.)

ශ්‍රී ලංකාවේ තෙවැනි අගමැතිවරයා වූ ජෝන් ලයනල් කොතලාවල මහතා ප්‍රසිද්ධියට පත්වූයේ ශ්‍රීමත් ජෝන් කොතලාවල නමිනි. ඔහු උපත ලද්දේ මීට වසර 124 කට පෙර එනම් 1897 අප්‍රේල් 04 වැනිදා මොහුට වසර දහය සපිරෙන විට සිය පියා මිය යන්නේ ඔවුන්ගේ පවුලට දුක, ශෝකය, දරිද්‍රතාව ඉතිරි කරමිනි.

විටෙක ‘මිහිර’ පුවත්පතට තම කුඩා කාලය පිළිබඳව කරුණු පවසන ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා තමා පාසල් ගියේ පා ගමනින් බවත්, මෙසේ පාසල් යනවිට වෙනත් දරුවන් බක්කි කරත්තවල නැගී පාසල් යෑම සිරිත කරගෙන තිබුණු බවත් කියයි. එසේ පාසල් යනවිට තමා ළමයින් නංවාගෙන යන බක්කි කරත්තයක පිටුපස පා පුවරුවේ නැඟ යන්නට පුරුදු වුණ නිසා බොහෝවිට කරත්තකරුවාගේ කෝටු පහර වැදී පා පුවරුවෙන් බිමට බැස වේදනාවෙන් පාසල් ගිය අයුරු සිහිපත් කරයි. මෙසේ ශෝචනීය ලෙස කල් ගෙවන මෙම පවුලේ පිහිටට පැමිණියේ ඩී.එස්. සේනානායක මහතාගේ වැඩිමහල් සොහොයුරු දේශබන්ධු ඇන්.ආර්. සේනානායක මහතාය. ඔහු කොතලාවල මහතාගේ මවගේ නැගණියගේ ස්වාමි පුරුෂයා විය. ඇෆ්.ආර්. සේනානායක මහතා ජෝන් කොතලාවල කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කර අධ්‍යාපනය ලබා දෙන්නට විය.  එකල රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සර්. ජෝන්ගේ එම පාසලේ සමකාලීන මිතුරන් වූයේ කීර්තිමත් වෛද්‍යවරයකු වූ ශ්‍රීමත් නිකලස් ආටිගල, සෙනෙට් සභාවේ හිටපු සභාපති ශ්‍රීමත් සිරිල් ද සොයිසා යන අයයි.

රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය නිමවා එංගලන්තයට ගොස් ක්‍රේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ඇතුළත් වන සර්.  ජෝන් කොතලාවල මහතා එහි අධ්‍යාපනය ලබා දෙවනුව එකතු වන්නේ ලංකාවේ යුද හමුදාවේ දෙවෙනි පාබල සේනාංකයේ දෙවන ලු‍තිනන් වරයෙකු වශයෙනි. ක්‍රීඩා අංශයෙන්ද දස්කම් දැක්වූ කොතලාවල මහතා ක්‍රිකට් සහ පෝලෝ ක්‍රීඩාවන් පිළිබඳවද ශූරයෙකු විය.

ජෝන් කොතලාවල මහතා දේශපාලනයට යොමු වන්නටත් පෙර සමාජ සේවයට යොමුවූයේ ඇෆ්.ආර්. සේනානායක මහතාගේ ආභාෂයෙනි.  ඔහු යුරෝපියකු ලෙස පෙනි සිටියත්, උපතින් ලද සිංහලකම හා බෞද්ධකම අත්නොහැර රැකගත්තේ සිය එඩිතර බව ප්‍රදර්ශනය කරමිනි. වරක් රත්මලාන ප්‍රදේශයේ පැවති ඉඩම් වෙන්දේසියක් නැරඹීමට ඔහු ගියේ යොවුන් තරුණයකු ලෙසිනි. මෙම ඉඩම් වෙන්දේසියේ දී  අසිංහල ව්‍යාපාරිකයන් සුළු ගණන්වලට විශාල ඉඩම් ප්‍රමාණයක් තමන් සතුකර ගන්නා අයුරු දුටු කොතලාවල තරුණයාට ඇතිවූයේ මහත් සංවේගයකි. සිංහල මිනිසුන්ට හැකිවූයේ  වෙන්දේසිය දෙස බලා සිටීම පමණි. බිම් අඟලක්වත් ගැනීමට මුදල් ඔවුන් සතු නොවීය. කොතලාවල තරුණයා අත ද මුදල් නොමැත.

අසිංහල ව්‍යාපාරිකයන්ට හොඳ පාඩමක් උගැන්විය යුතු යැයි සිතූ කොතලාවල ඊළඟට වෙන්දේසියට ඉදිරිපත් කළ අක්කර ගණනාවක ඉඩමට ඔහු ලන්සුවක් තැබුවේය. ඊට වඩා වැඩි ගණනක් වෙනත් ජාතිකයකුගේ ලන්සුවක් විය. එවිට කොතලාවල මහතා ඊට වඩා වැඩි ගණනකට ඉඩමේ මිල ඉහළ නැංවීය. මෙම දෙදෙනා අතර තිබුණ වෙන්දේසිය අවසන් වූයේ කොතලාවල තරුණයාට වෙන්දේසියෙන් ඉඩම හිමිවීමෙනි. ඔහුට ඉඩමක් ගැනීමට සතයක්වත් තිබුණේ නැත. ඔහුට වෙන්දේසියේ ඉඩම තීන්දු වීමත් සමඟ අවට සිටි අයත් පෙරළාගෙන ඔහු දුවන්නට වූයේය. වෙන්දේසිකරුවෝ ඔහු පසුපස  එලවාගෙන අවුත් අල්ලා ගත.  ඔහුට හිමිවූ ඉඩම මුදල් ගෙවා ලබා ගන්නා ලෙස තරවටු කළහ. නමුත් අතේ සතයක් නොමැති ඔහුට මේසා විශාල මුදලක් සිහිනයක්ම පමණි.

සිදුවූ පුවත ඇෆ්.ආර්. සේනානායක මහතාට ආරංචි විය. ඔහු පැමිණ නියමිත වෙන්දේසි මුදල ගෙවා එම ඉඩම කොතලාවල මහතාට රැගෙන දුන්නේය. එදා අසිංහල ව්‍යාපාරිකයකු සමඟ ජාති වාත්සල්‍යය  නිසා  තරඟ වැදී ලබාගත් ඉඩම අද හිමි අප රටේ සමස්ත ජාතියටමය. එය කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය පිහිටි රත්මලානේ, කඳවල වලව්වයි.

1931 දී පැවති රාජ්‍ය මන්ත්‍රණ සභා ඡන්දයට කොතලාවල මහතා ඉදිරිපත් වූයේ ඩී.එස්. සේනානායක මහතාගේ ඉල්ලීමටය. ඔහු කුරුණෑගල ඡන්ද කොට්ඨාසයට ඉදිරිපත් විය. නාම යෝජනා භාර ගන්නා දිනයේ සුදු දිසාපතිවරයා සියලු‍ ඡන්ද අපේක්ෂකයන්ගෙන් තම තමන් ඡන්දය ඉල්ලන හේතු විමසීය. සියල්ලෝම කීවේ ඉංග්‍රීසි ආණ්ඩුවට උදව් වීමටත්, ඔවුන්ට සේවය කිරීමටත් ඡන්දය ඉල්ලන බවය. කොතලාවල මහතාගෙන් ද කරුණු විමසීය.

ඔහු පැවසුවේ “උඹලා සිංහලු‍න් ද, ඉංග්‍රීසි  ආණ්ඩුවට උදව් වෙන්න ඡන්දයක් ඉල්ලන්න ඕන ද?, සුද්දන්ට ඒක කරගෙන යන්න පුළුවන්.  මම ඡන්දය ඉල්ලන්නේ සුද්දෝ මේ රටේ තියාගන්න නෙවෙයි.  ලංකාවේ ඉන්න අන්තිම සුද්දත් එළවන්න. “ යැයි  කොතලාවල මහතා පැවසුවෙන් කෝප වූ සුද්දා ‘‘කට වහගනිං’’ කියා හඬ තැලු‍වේ හී පාරවල් වැනි කොතලාවල මහතාගේ වචන වලින් බේරීමටය.

1931 වසරේ ජුනි 13 වැනිදා දින පැවති රාජ්‍ය මන්ත්‍රණ සභා ඡන්දයෙන් කුරුණෑගල අසුන ජයගත් කොතලාවල මැති සබයට පැමිණියේය. ඔහු කුරුණෑගල ප්‍රදේශයේ දියුණුව ආරම්භ කළේ සැබෑ මානව හිතවාදියකු ලෙසය. 1936 වසරේ පැවති රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදීද කුරුණෑගලට තරග කළ කොතලාවල මහතා එම ඡන්දයෙන් ද පහසු ජයක් ලැබුවේය. ඒ අනුව එම පාලන යුගයේදී මං මාවත් හා කර්මාන්ත ඇමති ධූරයට පත්වූ කොතලාවල මහතා ඩී.එස්. සේනානායක මහතාගේ ගොවි ජනපද ව්‍යාපාරයට සිය සවිය ලබා දුන්නේ ගොවි ජනපදවලට නව මං මාවත් නිර්මාණය කර දීමෙනි. මින්නේරිය ගොවි ජනපදය ගොඩනගන්නට මූලික සවිය, දිරිය ලබා දෙමින්  එහි ආරම්භය සනිටුහන් කළේ ජෝන් කොතලාවල මහතාය.

1946 දී එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමේ දී කොතලාවල මහතාද?, බණ්ඩාරනායක මහතාද එහි උප සභාපතිවරු වූහ.  1947 දී පිහිට වූ එක්සත් ජාතික පක්ෂ රජයේ ප්‍රවාහන සහ රජයේ වැඩ ඇමතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොඩම්ගස්ලන්ද මන්ත්‍රීවරයා වශයෙන් පත්වීමෙනි. ඩී.එස්. සේනානායක රජයේ ද කොතලාවල හා බණ්ඩාරනායක යන ඇමතිවරුන් අතර තරඟයක් වූයේ පක්ෂයේ දෙවැන්නා වීමටය. ඔවුන්ගේ සීතල අරගලය උණුසුම් වීමත් සමඟම බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂ රජයෙන් ඉවත් වී ගියේය. ඒ සමඟම පාර්ලිමේන්තුවේ බණ්ඩාරනායක මහතා දැරූ  සභානායක පදවිය හිමිවූයේ කොතලාවල මහතාටය.

1952 දී සිදුවූ ඩී.එස්. සේනානායක මහතාගේ හදිසි අභාවයත් සමඟම කොතලාවල මහතා අගමැති පදවිය අපේක්ෂා කළත්, අගමැති පදවිය හිමිවූයේ ඩඞ්ලි සේනානායක මහතාටය. එවකට අගමැති ධූරයට එක්සත් ජාතික පක්ෂයේ සුදුස්සා කොතලාවල මහතා වුවත් මියගිය අගමැති සේනානායක මහතා සොල්බරි සාමිවරයාට පවසා තිබුණේ තමා හදිස්සියේ මියගිය හොත් අගමැති පදවිය තම පුත් ඩඩ්ලි සේනානායක මහතාට පවරන ලෙසය. එය එසේම විය. මෙයින් කොතලාවල මහතා වේදනාවටත්,  කනස්සල්ලටත් පත්වුවත් පක්ෂය අතහැර ගියේ නැත. පක්ෂය විනාශ කිරීමට සැලසුම් කළේ ද නැත.

1952 වසරේ පැවති මහ මැතිවරණයට ද එක්සත් ජාතික පක්ෂයෙන් දොඩම්ගස්ලන්ද අසුනට තරග කළ කොතලාවල මහතා එම මැතිවරණයෙන්ද ජය ලබා මැති සබයට පිවිස ඩඩ්ලි සේනානායක මහතාගේ  රජයේ පෙර දැරූ ඇමති පදවියට ලැබ කටයුතු කළේ ඩඩ්ලිගේ නායකත්වය පිළිගනිමිනි.

1953 වසරේ ඇතිවූ සහල් අර්බුදයත් සමඟ ඇතිවූ හර්තාලය නිසා ඩඩ්ලි සේනානායක මහතා අගමැති පදවියෙන් ඉල්ලා අස්වූ හෙයින් නව අගමැතිවරයා වූයේ සර්. ජෝන් කොතලාවල මහතාය. ඔහු 1953 ඔක්තෝම්බර් මස 13 වැනිදා දින ලංකාවේ නව අගමැතිවරයා වශයෙන් දිවුරුම් දී වැඩ භාර ගත්තේය. ඒ අනුව ලංකාවේ තෙවැනි වරට පත්වූ අගමැති වරයා වූයේ සර්. ජෝන් කොතලාවල මහතාය.

ලංකාව නොබැඳි ජාතීන්ගේ සංගමයට මුල් බීජය වැටුණු කොළඹ බලවතුන්ගේ සංගමය පැවැත්වූයේ ඔහුගේ කැපවීමෙනි. නොබැඳි සමුළුවේ බැංඩු සම්මේලනයේදී ඔහුගේ ක්‍රියා කලාපය නිසා ඔහු “බැංඩු වීරයා” ලෙසද  හැදින්වීමට ලක්විය. කොළඹ නව කැලණි පාලම ඔහුගේ මෙහෙවරක ප්‍රතිඵලයකි. ඔහු හමුදාවේ සිටි සමයේ ලංකාවට පැමිණි විදේශීය හමුදා ඛණ්ඩයක  සේවය කළ හිතුවක්කාර නිලධාරියකු වූ පසුව උගන්ඩාවේ ජනාධිපති වූ “ඉඩී අමීන්ට” අමතක නොවන පාඩමක් ඉගැන්වීමට කොතලාවල මහතාට හැකිවිය. ලංකාවේ සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වූ සෝල්බරි සාමි ලංකාවෙන් ඉවත්කර ඒ වෙනුවට සිංහල ආණ්ඩුකාරවරයකු පත්කර ගැනීමට කටයුතු කළේ කොතලාවල මහතා විසිනි. ලංකාවේ නිදහස් සමරුවේදී අප රටේ ජාතික කොඩියට සමගාමීව ඉංග්‍රීසි කතිර කොඩිය එසවීමද සිදුවිය.

කොතලාවල මහතා අගමැති වූ පසු ඒ පිළිවෙත ඉවත් කළේ තමාගේම තීරණයක් අනුවය.
කොතලාවල යනු වංචා, දූෂණ නොමැති කාටවත් බිය නොමැති පුද්ගලයකු විය.  ඔහු සතුන්ට ඉතා ආදරය කළේය. තමාගේ ගෙවත්ත වූ රත්මලානේ, කඳවල වත්ත අභය භූමියක් බඳුවිය. ගස්වැල් පිරී ඉතිරී ගිය වන උයනක සිරිය ගත්තේය. සර්. ජෝන් කොතලාවල මහතා එක්සත් ජාතික පක්ෂයේ තුන්වන වරට පත්වූ නායකයා විය.  1956 මහ මැතිවරණයේදී ජෝන් කොතලාවල මහතා පරාජයට පත්වූයේය. ඔහු තම ආසනය වූ  දොඩම්ගස්ලන්ද දිනා මැති සබයට පිවිස ටික කාලයක් සිට දේශපාලනයෙන් සදහටම සමුගත්තේය.

ඔහුගේ සේවය අගය කළ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ඔහුට සේනාධිනායක පදවියක් පිරිනැමුවේය. 1980 ඔක්තෝම්බර් මස 01 වැනි දින මෙම අභීත නායකයා සදහටම දෙනෙත් පියාගත්තේ ලක් ඉතිහාසයට අමරණීය නාමයක් ඉතිරි කරමිනි.

එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අ​බේවර්ධන

(Courtesy of Lankadeepa.lk)

Leave a reply: