එන්නත් ගැන හරි වතගොත

සත්‍ය වශයෙන්ම මෙම උවදුර පරාජය කළ හැකි එකම ආකාරය එන්නත්කරණයයි. ඉන් තොරව කොවිඩ් මෙල්ල කළ හැකි වෙනත් විසඳුමක් ලොව මෙතෙක් සොයා ගෙන නැත. පසුගිය සතිය වන විට බස්නාහිර පළාතේ සියයට දහතුනක් එන්නත් මාත්‍රා දෙකම ගෙන සිටි අතර එම ප්‍රතිශතය මෙය ලියන මොහොත වන විට සියයට විස්සේ සීමාවට ළං වෙමින් තිබිණි. එය කොවිඩ් මර්දන කාර්යය කෙරෙහි ඇති වූ ධනාත්මක ප්‍රවේශයක් බව සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.

කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා පසුගිය කාලය පුරා විවිධ උපක්‍රම භාවිත විය. ඇඳිරි නීතිය පැනවීම, සංචරණ සීමා, රටවල් වසා දැමීම, දේශීය බෙහෙත් වර්ග අත්හදා බැලීම ඉන් ප්‍රධාන විය. එහෙත් මේ කිසිවකින් කොවිඩ් වසංගතය පාලනය කළ හැකි බවට සාක්ෂි නොලැබිණි. රට වසා දැමීමෙන් හා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමෙන්, සංචරණ සීමා පැනවීමෙන් රෝගය තාවකාලිකව යටපත් කළ හැකි වුව ද එය සති කිහිපයකට සීමා විය. ඉන් පසුව සිදු වූයේ නැවතත් රෝගය පැතිර යෑමය. එයට ඇති එකම ව්ද්‍යාත්මක පාලන ක්‍රමය බවට පත්ව ඇත්තේ එන්නත්කරණය කඩිනම් කිරීම බව ලෝකයේම එකම මතය බවට පත් විය. අප රට ද දැන් එම විද්‍යාත්මක ප්‍රවේශය වෙත කඩිනම්ව එළැඹ සිටිති. මේ වන විට එන්නත්කරණය කඩිනමින් සිදු වෙමින් පවතින අතර රජයේ ඉලක්කය බවට පත්ව ඇත්තේ සැප්තැම්බරය වන විට මෙරට ජනගහනයෙන් සියයට හැට ඉක්මවන පිරිසක් එන්නත් කිරීමය. එයට ඉතාමත් යහපත් ප්‍රවේශයක් රජය සහ සෞඛ්‍ය අංශ විසින් ගෙන තිබේ. වසංගතය වේගවත්ව පැතිර ගිය ජනගහනය වැඩි ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික් මූලිකව සිදු කළ එන්නත්කරණය මේ වන විට සියයට හැටේ සීමාව ඉක්මවා යෑමට ආසන්නව තිබේ. එය වසංගත මර්දනයේ යහපත් තත්ත්වයකි. බස්නාහිර පළාතෙන් ඇරඹි මෙම එන්නත්කරණ ක්‍රියාවලිය දැන් සෙසු දිස්ත්‍රික්ක වෙත ද ව්‍යාප්ත කිරීමට රජය කටයුතු කර තිබේ. පසු ගිය සතියේ දිනෙක මෙරට කොවිඩ් මර්දන එන්නත් වැඩිම මාත්‍රා ප්‍රමාණයක් ලබා දීම සිදු විය. එය දහස් ගණනක් හෝ දස දහස් ගණනක් නොව ලක්ෂ ගණනකි. එම සංඛ්‍යාව හරියටම සඳහන් කළ හොත් තුන් ලක්ෂ අසූ හතර දහස් හත්සිය හැට තුනකි (384,763). එය එන්නත් කරන වැඩපිළිවෙළෙහි ඉතා යහපත් තත්ත්වයක් මෙන්ම තීරණාත්මක කඩඉමක් බව කිව යුතුව තිබේ. ඒ අතරින් සයිනොෆාම් එන්නත් මාත්‍රා තුන් ලක්ෂ තිස් අටදහස් පන්සිය හැත්තෑ දෙකකි (338,572).

හොඳම උදාහරණය ඉහත සඳහන් වූයේ එන්නතේ පළමු මාත්‍රාව දුන් ප්‍රමාණයයි. එහිදී දෙවන මාත්‍රා තිස් පන්දහස් හාරසිය දහයක් ( 35,410) ලබා දී තිබේ. ඊට පෙර ද ලක්ෂ තුනේ සීමාව ඉක්මවා යන එන්නත් ප්‍රමාණයක් ඒ සතියේදී එක් දිනක් තුළ නැවත ලබා දී තිබේ. එදිනම සෙසු එන්නත් වන ස්පුට්නික් එන්නත් මාත්‍රා 15,202 සහ ෆයිසර් එන්නත් මාත්‍රා 700ක් ලබා දී තිබේ. කොවිෂීල්ඩ් එන්නත් තිස් හතක් ද ලබා දී තිබේ. මේ සියල්ලම මෙරට එන්නත්කරණයේ සාර්ථකත්වයට හොඳම උදාහරණයකි.

සත්‍ය වශයෙන්ම මෙම උවදුර පරාජය කළ හැකි එකම ආකාරය එන්නත්කරණයයි. ඉන් තොරව කොවිඩ් මෙල්ල කළ හැකි වෙනත් විසඳුමක් ලොව මෙතෙක් සොයා ගෙන නැත. පසුගිය සතිය වන විට බස්නාහිර පළාතේ සියයට දහතුනක් එන්නත් මාත්‍රා දෙකම ගෙන සිටි අතර එම ප්‍රතිශතය මෙය ලියන මොහොත වන විට සියයට විස්සේ සීමාවට ළං වෙමින් තිබිණි. එය කොවිඩ් මර්දන කාර්යය කෙරෙහි ඇති වූ ධනාත්මක ප්‍රවේශයක් බව සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ. මෙය මැදහත් සිතින් බලන ඕනෑම කෙනකුට සතුටු විය හැකි තත්ත්වයකි. එමෙන්ම ලිපිය ලියන මොහොත වන විට බස්නාහිර වයස තිහට වැඩි සියයට හතළිහකට එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබේ. එය සැලකිය යුතු තරම් ප්‍රතිශතයකි.

වැඩිම බාධා

කොවිඩ් 19 නිසා වැඩිම බාධා ප්‍රමාණයකට මුහුණ දුන්නේ මෙරට පාසල් පද්ධතියයි. එම තත්ත්වය පාලනය සඳහා ගුරුවරුන් වෙත එන්නත් දීම සාර්ථකත්වය වෙත ප්‍රවේශ වෙමින් තිබේ. එහිදී කොළඹ දිස්ත්‍රික්කයේ සියයට අනූ නවයට ආසන්න ප්‍රතිශතයකි. ගම්පහ දිස්ත්‍රික්කයේ එය සියටට අසූ පහ ඉක්මන ප්‍රතිශතයකි. වැඩිම පාසල් ඇති වැඩිම ජනගහනයක් ඇති සහ වසංගතය වේගවත්ව පැතිර ගිය මෙවැනි දිස්ත්‍රික්කවල ගුරුවරුන් එන්නත් කිරීම යහපත් දෙයකි. එමෙන්ම දිවයිනේ සෙසු දිස්ත්‍රික්වල ද ගුරුවරුන් වෙත එන්නත ලබා දීම සිදු කර තිබේ.

මෙතෙක් කල් එන්නතක් ලබා ගැනිම යනු වෙනම යුද්ධයක් වී තිබිණි. පෝලිමට එක් විය යුත්තේ උදේ පාන්දරය. එහෙත් ඒ තත්ත්වය පාලනය කිරීමට දැන් හැකියාව ලැබී තිබේ. එහිදී නම් කර ඇති ස්ථානවලදී බස්නාහිර වැසියනට එන්නත ලබා ගත හැකිය. අවශ්‍ය වන්නේ හැඳුනුම්පත, විදුලි බිල හෝ පදිංචි සහතිකයක් හෝ පදිංචිය සහතික කළ හැකි ලියවිල්ලකි. මෙමඟින් එන්නත්කරණය පහසු සහ සරල දෙයක් බවට පත්ව තිබේ. ලැබෙන නව වාර්තා අනුව මෙරට වේගයෙන්ම එන්නත්කරණය සිදු කරන රටවල් කිහිපය අතරින් එකකි. මෙය ඇත්තෙන්ම ජයග්‍රහණයකි, සතුටු විය හැකි තත්ත්වයකි.

සමාජ හැසිරීම

දැනට දිවයිනේ බොහෝ දිස්ත්‍රික්ක වෙත සයිනොෆාම් එන්නත සපයා දෙමින් ඇති අතර සමාජ හැසිරීම සහ සෙසු පාර්ශ්ව සමඟ ගනුදෙනු කරන ආකාරය සැලකිල්ලට ගෙන ෆයිසර්, ස්පුට්නික් සහ කොවිෂීල්ඩ් එන්නත් ලබා දීමට කටයුතු කරනු ලබයි. පසු ගිය සතියේදී පමණක් මෙරටට සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ විස්සක ප්‍රමාණයක් මෙරටට ලැබුණු අතර එය එන්නත්කරණය වේගවත් කිරීමට ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇත. එය මෙරටට එකවර ලැබුණු වැඩිම එන්නත් ප්‍රමණයයි. අර්බූදයට ලක්ව ඇති ඇස්ට්‍රා සෙනිකා ජපානය ඇතුළු රටවලින් ලැබීමට නියමිත අතර එය එම එන්නතේ දෙවන මාත්‍රාව ගැනීමට නොහැකි වුණු ලක්ෂ ගණනක් වු පිරිසට සැනසුම් සහගත පුවතකි.

එමෙන්ම කොවැක්ස් පහසුකම යටතේ අමෙරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත් සැලකිය යුතු ප්‍රමාණයක් මෙරටට පසුගියදා ලැබිණි. මේ සියල්ල නිසා මෙරට එන්නත් කරන වැඩපිළිවෙළ සාර්ථකත්වය වෙත ගමන් කරමින් තිබේ. එමෙන්ම කුඩා දරුවන් සමඟ නිතර ගැවසෙන පෙර පාසල් ගුරුවරුන්ට එන්නත් දීම ද ආරම්භ කර තිබේ. එම වැඩසටහනේ කේන්ද්‍රය ගම්පහ දිස්ත්‍රිකය වන අතර ඒ අනුව දිවයින පුරා සිටින පෙර පාසල් ගුරුවරුන් හතලිස් දහසකට ආසන්න පිරිසකට එන්නත් දීම සිදු කෙරේ. අධ්‍යාපන අංශය මෙලෙස ආරක්ෂිත තැනක් බවට පත් කිරීම ඉතාමත් හොඳ තීරණයකි. ඉගෙනුම අඩාළ වීම යනු රටේ අනාගතය අඩාළ වීමකි. ඇත්තෙන්ම එවැන්නක් කිසිසේත්ම සිදු නොවිය යුතුය.

වසංගතයට බියේ සැඟවීමෙන් වසංගතය මෙල්ල කළ නොහැකිය. එමෙන්ම එන්නත් මඟ හැර වෙනත් කරල් හෝ පැනි වර්ග පානය කිරීමෙන් වසංගතයට ගොදුරු නොවන බවට කිසිදු විද්‍යාත්මක තහවුරුවක් නැත. එනිසා ඒවා පසුපස යෑම මිත්‍යාවකි. එනිසා ඇති එකම විසඳුම එන්නත පමණි. රජය විශාල පිරිවැයක් යොදමින් කරන එන්නත් වැඩපිළිවෙළට පුරවැසියන් ලෙස සහාය දීම සියලු දෙනාගේම යුතුකමකි.

සැලකිය යුතු ජයග්‍රහණයක්

එන්නත් වැඩපිළිවෙළ පසුගිය සිකුරාදා වන විට ඉතාමත් සාර්ථක තැනක පැවතිණි. එදින වන විට සයිනොෆාම් එන්නත් පළමු මාත්‍රා 4,053,819 සහ දෙවන මාත්‍රා 1,228,527 එන්නත් කර තිබිණි. කොවිෂීල්ඩ් එන්නත් පළමු මාත්‍රා 925,242 සහ දෙවන මාත්‍රා 385,865 ලබා දී තිබුණි. ස්පුට්නික් එන්නත් පළමු මාත්‍රා 157,368 ලබා දී ඇති අතර දෙවන මාත්‍රා 14,464 ක් ලබා දී ඇති අතර ෆයිසර් මාත්‍රා 39,176 ක් ලබා දී තිබේ.මෙය අප රටක් ලෙස ලැබූ සැලකිය යුතු ජයග්‍රහණයකි.

මේ වන විට ශ්‍රී ලංකාව වෙත විවිධ වර්ගයේ කොවිඩ් එන්නත් කෝටිය ඉක්ම වන ප්‍රමාණයක් ලැබී ඇති අතර විවිධ රටවලින් ප්‍රදානයන් ලෙස ලක්ෂ 33ක් ලැබී තිබේ. ඉතිරි ලක්ෂ 68 ශ්‍රී ලංකා රජය විසින් මිල දී ගෙන තිබේ.

මෙය අනාගතයේ අප රට තුළ කොවිඩ් වසංගතය පාලනය කිරීමට හෝ සහායක් ලබා ගත හැකි එකක් වුව ද එම තත්ත්වය ස්ථාවර කර ගත හැක්කේ අප ද පුරවැසියන් ලෙස යහපත් සුව පුරුදු අනුගමනය කළ හොත් පමණි.

(Courtesy of dinamina.lk)

Leave a reply: