‘‘එන්නත් වර්ණභේදවාදය’’

කොරෝනා වෛරසය නිරන්තරයෙන් විකෘතීන්ට බඳුන්වීම නිසා මින් ඉදිරියටත් අඛණ්ඩව පර්යේෂණ කරමින් කොරෝනා එන්නත් වැඩිදියුණු කිරීමට අවශ්‍ය බව විද්‍යාඥයන් අවධාරණය කර තිබේ. කොරෝනා මර්දන එන්නත් මේ වනවිට වඩාත් සාධනීය ප‍්‍රතිඵල ලබාදෙමින් පැවතිය ද අඛණ්ඩව එය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවක් මතුව ඇතැයි විද්‍යාඥ මතය වී ඇත. කොරෝනා වෛරසය කැපීපෙනන වේගයකින් වෙනස්වීම්වලට බඳුන්වෙමින් ඇති බැවින් ඉදිරියේදී ලොවපුරා කලාප රැසකින් නව ප‍්‍රභේද හමුවෙනු ඇති බව ඔවුන්ගේ මතය වී තිබේ. කොරෝනා වෛරසය වෙනස් වෙමින් පැවතියදී ලොව පුරා එන්නත බෙදී යෑම පිළිබඳවද බලවත් විෂමතාවක් පවතී. පසුගිය පෙබරවාරි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ කොරෝනා එන්නත් මාත‍්‍රා මිලියන 200 ක් පමණ ලබා දී ඇති නමුත් ඉන් 75% ක් ලබා දී ඇත්තේ ධනවත් රටවල් 10 ක ජනතාවට බවය. බිලියන 2.5ක ජනගහනයක් වෙසෙන රටවල් 130කට පමණ තවමත් එක් එන්නත් මාත‍්‍රාවක්වත් හෝ ලැබී නොමැති බව උතුරු කැරොලයිනා ඩියුක් විශ්වවිද්‍යාලයේ ගෝලීය සෞඛ්‍ය හා මහජන ප‍්‍රතිපත්ති පිළිබඳ මහාචාර්ය ගැවින් යමි ප‍්‍රකාශ කර තිබේ. ‘‘ධනවත් ජාතීන් රාක්ක හිස් කර ඇති අයුරු දැකීම අතිශයින් කනගාටුවට කරුණක්. ‘මට පළමුව’ සහ ‘මා පමණක්‘ යැයි කියමින් එන්නත් උදුරාගැනීමක් සිදුවෙලා තිබෙනවා. මෙය ඉතා අසාධාරණ දෙයක් පමණක් නොව එය මහජන සෞඛ්‍ය ගැන ඉතා වැරදි ආකල්පයක්,” යනුවෙන් මහාචාර්ය ගැවින් ප‍්‍රකාශ කර තිබේ. සැබවින්ම ‘‘එන්නත් වර්ණභේදවාදය” පැහැදිලිව දක්නට ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධානී ටෙඩ්‍රොස් අදනොම් ගෙබ්‍රෙයේසස් පසුගිය ජනවාරි මාසයේදී කියා සිටියේ දුප්පත් රටවල අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ට පෙර ධනවත් රටවල තරුණ, සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන්ට එන්නත් ලබා දීම සාධාරණ නොවන බවය. මේ නිසා ලෝකය ‘‘විනාශකාරී සදාචාරාත්මක අසාර්ථකත්වයක අද්දර” පවතින බව ටෙඩ්‍රොස් මහතා පවසයි. එය පැහැදිලි ඇත්තකි. ඇත්තෙන්ම කැනඩාව මේවනවිට ඇනවුම් කර ඇති එන්නත් ප‍්‍රමාණය එරට සිටින සෑම පුද්ගලයෙකුම පස්වතාවක් එන්නත් කිරීමට සෑහේ. ලංකාවේ මානව හිමිකම් ගැන උනන්දුවන කැනඩාව අනෙක් පැත්තෙන් සිදු කරන්නේ කවරක්ද? කැනඩා වැසියන් පමණක් ලෝකයේ ජීවත්විය යුතු බවද? කොරෝනා එන්නත පර්යේෂණ මට්ටමේ පවතින කාලයේ පවා ධනවත් රටවල් තම රටේ ජනගහනය මෙන් තුන්ගුණයක් එන්නත් කිරීමට සෑහෙන මාත‍්‍රා ප‍්‍රමාණයක් වෙන්කරගෙන තිබිණි. කොරෝනා වෛරසයෙන් අවදානමට ලක්විය හැකි ජනගහනයට එන්නත් ලබා දීම සඳහා කොවැක්ස් වැඩසටහන යටතේ ක‍්‍රමවේදයන් සකස් කර තිබෙන නමුත් නිෂ්පාදන සමාගම්වලට එන්නත් සැපයුම් ලබා දීමට නොහැකි වීම නිසා මෙය ක‍්‍රියාත්මක කිරීමට හැකි වී ඇත්තේ ඉතා සුළු රටවල් ගණනකට පමණි. මෙය බරපතළ ඛේදයකි. දුගීන් වෙසෙන රටවලට එන්නත අකැපද? සියල්ලෝ මනුෂ්‍යයන් නොවන බව ධනවත් රටවල් සිතන්නේද? එන්නත් පැහැරගෙන යන්නේ බටහිර ධනවත් රටවල්ද? සියලූ තක්කඩිකම් කරමින් මේ රටවල් මානව හිමිකම් රැකීමේ අගය කියා දෙයි. කවර විහිළුවක්ද? කවරක් නමුත් ‘‘එන්නත් වර්ණභේදවාදය” සැබවින්ම සත්‍යක් බව පැහැදිලි වේ. මේ සියලූ අර්බුද හමුවේ මෙරට වැසියන් ලක්ෂ 8කට අධික ප‍්‍රමාණයකට එන්නත්කරණය කිරීමට හැකිවීම භාග්‍යයකි.

(Courtesy of Divaina.com)

Leave a reply: