ඔලිම්පික් යන ක්‍රීඩකයන්ට ‘බිස්නස් ක්ලාස්’ ගුවන් ටිකට්

– දින්නත් පැරදුණත් අතට රුපියල් ලක්ෂ 22ක්
– පුහුණුකරුවන්ට ලක්ෂ 10ක් සමඟ දෛනික දීමනා

ඔලිම්පික් ක්‍රීඩා උලෙළට ටෝකියෝ බලා පිටත් වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පළමු වතාවට ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට්පත් සමඟ එක් අයකුගේ අතට රුපියල් ලක්ෂ 20ක මුදලක් දීමට ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති, ඩිජිටල් තාක්ෂණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති නාමල් රාජපක්ෂ මහතා පියවර ගනියි. අන්තර්ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒ ඒ රටවල රජයන් සලකන ආකාරය හා සමානව මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉහළ ගරුත්වයක් දීම ඇමැතිවරයාගේ අපේක්ෂාව වී තිබේ.

මේ දීමනාවලට අමතරව ටෝකියෝ නුවර රැඳී සිටින එක් දිනකට අමෙරිකානු ඩොලර් 40 බැගින් දෛනික දීමනාවක් පිරිනැමීමට ද කටයුතු යොදා ඇත. ක්‍රීඩක ක්‍රීඩිකාවන් අවම වශයෙන් දින 25ක පමණ කාලයක් ටෝකියෝ නුවර රැඳී සිටින බැවින් එම කාලය තුළ දෛනික දීමනා ලෙස එක් ක්‍රීඩකයකුට රුපියල් ලක්ෂ 2ක් පමණ මුදලක් හිමි වේ. ඒ අනුව ටෝකියෝ යන එක් ක්‍රීඩකයකුට දළ වශයෙන් හිමි වන මුදල රුපියල් ලක්ෂ 22ක් පමණ වේ.

ටෝකියෝ ඔලිම්පික් උලෙළ ලබන මස 23 දා ආරම්භ වන අතර, ශ්‍රී ලංකා පිල ලබන මස 15 වැනිදා ශ්‍රී ලංකාවන් පිටත්ව යෑමට නියමිතය. සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවකුට අමෙරිකානු ඩොලර් 5000ක දීමනාවක් හා දිනකට අමෙරිකානු ඩොලර් 40ක දෛනික දීමනාවක් දීමට කටයුතු යෙදේ. ක්‍රීඩා උලෙළට පිටත් වීමට පෙර දෛනික දීමනා හැර මෙවැනි විශේෂ දීමනාවක් පුහුණුකරුවන්ට ලබාදෙන පළමු අවස්ථාව ද මෙය වේ.

මේ අතර, කිසිවකුටත් සිය වගකීමෙන් මිදිය නොහැකි පරිදි නව ක්‍රීඩා පනත කඩිනමින් සකස් කොට රටට අවශ්‍ය ජයග්‍රහණ හිමි කර දෙන ක්‍රීඩකයන් බිහි කරන බව ඇමැතිවරයා අවධාරණය කර සිටී. එක් එක් අයට ඇඟිලි දිගු කරමින් සිටිය හොත් මේ වසර 4 තුළදී වැඩක් කිරීමට නොහැකි වන බවත්, දක්ෂ ක්‍රීඩකයන් බිහි කර අන්තර්ජාතික ජයග්‍රහණ කරා යන සැලසුම් සහගත ගමන කුමන බාධා මැද වුවද ඉදිරියට රැගෙන යන බවත් ඇමැතිවරයා සඳහන් කළේය. ප්‍රතිපත්ති සෑදීමට වියදමක් නොයන බැවින් කලින් ආණ්ඩුවේ අයටත් වුවමනාවක් සහ උනන්දුවක් තිබුණේ නම් මේ වන විට නව ක්‍රීඩා පනත සකසා අවසන් බව ඇමැතිවරයා කියා සිටියේය.

“දීර්ඝකාලීන සැලැස්මක් සමඟ ඉදිරි වසර 4 ඇතුළත ක්‍රීඩකයෝ නිර්මාණය කරන්න ක්‍රීඩා සංගම් 6කට මිලියන 100කට වඩා මුදල් ආයෝජනය කර තිබෙනවා. ඊළඟ සතියේ අපි තවත් හඳුනාගත් ක්‍රීඩා සංගම් 5ක් සඳහා මිලියන 100කට ආසන්න මුදල් ප්‍රමාණයක් ආයෝජනය කරනවා. ග්‍රාමීය ක්‍රීඩා පිටි හැදෙනවා. පාසල් ක්‍රීඩා පිටි හදන්න අවශ්‍ය මුදල් ප්‍රමාණය මේ වන විටත් යවා තිබෙනවා. ආසන මට්ටමින් ක්‍රීඩාංගණ 162ක් පළමු වටය ඊළඟ සති කිහිපය ඇතුළත ක්‍රියාත්මක වෙනවා. ක්‍රිකට් සම්බන්ධයෙන් දිගුකාලීන සැලැස්මක් ක්‍රිකට් කමිටුව විසින් හදනවා.

ඒ කමිටුවේ සැලැස්ම අනුව ජයග්‍රහණ කරා ගමන් කරනවා. ක්‍රීඩකයන්ගේ සහ රටේ ආත්ම ගෞරවය ආරක්ෂා කර ගෙන ජයග්‍රහණ කරා යන්න අපේ පැත්තෙන් ගතයුතු සෑම ක්‍රියාමාර්ගයක්ම අප ගන්නවා. එක රැයකින්, දෙකකින් චැම්පියන්ස්ලා හදන්න බැහැ. ජයග්‍රාහකයන් හදන්න බැහැ. ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා. වසරකට ක්‍රීඩකයන් 100ක් විදේශ පුහුණුව සඳහා යැවීමට අප බලාපොරොත්තු වෙනවා. දැනට ක්‍රීඩකයන් 60ක් ඒ සඳහා හඳුනාගෙන තිබෙනවා” ඇමැතිවරයා පැවසීය.

උසස් දක්ෂතා සංචිතයේ ක්‍රීඩකයන්ට තමන්ගේ දක්ෂතා අනුව රුපියල් ලක්ෂයේ සිට මාසික දීමනාවක් දෙන බවත්, මේ ක්‍රීඩකයන් කෙටි කාලීන පුහුණු කොන්ත්‍රාත්තු මත විදේශ පුහුණුවට යොමු කිරීමට අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා කියා සිටියේය.

(Courtesy of dinamina.lk)

Leave a reply: