කථානායක කරු ජයසූරියගේ බෑණාට එරෙහි පොලිස් පැමිණිලි විමර්ශණයට

මෙරට දේශපාලන සදාචාරය සාධාරණත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන කථානායක කරු ජයසූරිය මහතාගේ බෑනා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායකට එරෙහිව ලැබුණු පැමිණිලි කිහිපයක් විමර්ශනයට පොලිස් මූලස්ථානය සූදානම් වන බව වාර්තා වෙයි .

පසුගියදා නුවරඑළිය නගර මධ්‍යයේ ඉඳි කරන ලද අනවසර වෙළදසැලක් ඉවත් කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ක්‍රියා කළ අවස්ථාවේ ඊට මැදිහත් වූ නවීන් දිසානායක මන්ත්‍රීවරයා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට තර්ජනය කිරීම අපහාස කිරීම සහ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ ඔහුට එරෙහිව පැමිණිලි තුනක් පොලිස් මූලස්ථානයට ඉදිරිපත් වී ඇත.සිංහලේ සංවිධානය ඇතුළු සංවිධාන ගණනාවක් ද පරිසර සංවිධානයක් ද නුවරඑළිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් ද මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙයි.

විධිමත් බලපත්‍රයක් නොමැතිව පැරණි බලපත්‍රයක් පෙන්වමින් නුවරඑළියේ ඉතා වටිනා බිම් ප්‍රදේශයක් වන ග්‍රෙගරි වැව ආසන්නයේ මෙම අනවසර වෙළඳසැල පවත්වාගෙන ගියේ නවීන් දිසානායක මන්ත්‍රීවරයාගේ ප්‍රබල හිතවතෙකු විසිනි .එහි බලපත්‍ර කාලය අවසන්ව නීතිවිරෝධී ලෙස වෙළෙඳ සැල පවත්වාගෙන යන බැවින් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මැදිහත් වූයේ එම වෙළෙඳ සැලකඩා ඉවත් කිරීමටයි .එවිට එම ස්ථානයට කඩා වැදුණු නවීන් දිසානායක මන්ත්‍රීවරයා මෙය තමන්ගේ බල ප්‍රදේශය බවත් මෙම වෙළඳසැල පවත්වාගෙන යන්නේ තමන්ගේ මිනිසුන් බවත් කියමින් වෙළඳසැල ඉවත් කිරීමට සූදානම්වුවහොත් තමන් එම ස්ථානයේ නිදාගන්නා බව කියමින් නිලධාරීන් පලවා හැරීමට තැත් කළේය.

එහෙත් නාගරික සංවර්ධන අධිකාරීයේ නිලධාරීන් මන්ත්‍රීවරයාගේ තර්ජනය ගණන් නොගෙන ක්‍රියා කිරීම නිසා ඔවුනට ද දැන් නිර්නාමික දුරකථන ඇමතුම් මගින් තර්ජන එල්ල වන බව ප්‍රකාශ වී ඇත. මේ නිසා මෙම සිද්ධිය ගැන වහාම පරීක්ෂණයක් පවත්වා නවීන් දිසානායක මන්ත්‍රීවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස මෙම සංවිධාන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.ඒ අනුව අද හෙටම නවීන් දිසානායක මන්ත්‍රීවරයා සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කෙරෙන බව රජයේ ආරංචි මාර්ග කියයි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම ගැන නිතර කතා කරන කථානායක කරු ජයසූරිය මහතා මේ සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳව මෙහි දීමුළු රටම බලා සිටින බව ද මෙහි දී සඳහන් කළ යුතු ය.එසේම නවීන් දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායකවරයා වන බැවින් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායකවරයාගේ මෙම හැසිරීම සම්බන්ධව එම පක්ෂය ගන්නා පියවර පිළිබඳවද ජනතාව බලා සිටිති .

Leave a reply: