ක්‍රිකට් කළමනාකරණ කමිටුව අද වැඩ භාර ගනියි

ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ බලතල ප්‍රකාරව පත් කළ ක්‍රිකට් කළමනාකරණ කමිටුව අද වැඩ භාර ගැනීමට නියමිතය.

මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පත් වූ ක්‍රිකට් කළමනාකරණ කමිටුවේ ලේකම් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා කටයුතු කරන අතර, භාණ්ඩාගාරික සුජීව මුදලිගේ මහතාය. මෙම ක්‍රිකට් කළමනාකරණ කමිටුවේ සාමාජික ලෙස නීතිඥ උචිත වික්‍රමසිංහ මහතා කටයුතු කරයි. කමිටු නිරීක්ෂක ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ අමල් එදිරිසූරිය මහතා පත් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හිටපු නිලධාරීන්ගේ නිල කාලය මේ මස 5 වැනි දින අවසන් වූ හෙයින් ක්‍රිකට් නිලවරණය පැවැත්වෙන ලබන මස 20 වැනි දින තෙක් අවශ්‍ය පරිපාලනමය කටයුතු උදෙසා මෙම ක්‍රිකට් කළමනාකරණ කමිටුව පත්ව ඇත.

ලබන මස 20 වැනි දින දක්වා සැලසුම් කර ඇති සංවර්ධන කාර්යයන් සඳහා පමණක් වන වියදම් සහ අත්‍යාවශ්‍ය පරිපාලනමය වියදම් හැර වෙනත් කිසිදු වියදමක් දැරීමට ක්‍රිකට් කළමනාකරණ කමිටුවට බලය නොමැති අතර, එවැනි යම් අවශ්‍යතාවයක් වේ නම් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්ගේ පූර්ව ලිඛිත අනුමැතිය ගත යුතු බවට ගැසට් නිවේදනයෙන් නියම කොට ඇත.

ඉදිරි දින කිහිපයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බංග්ලාදේශ සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් හා ජාතික ක්‍රිකට් පිල අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී විස්සයි 20 තරගයක් පැවැත්වීමට අපේක්ෂා කරන බව ද මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ‘දිනමිණ’ ට පැවැසීය.

ප්‍රින්ස් ගුණසේකර

(Courtesy of Dinamina.lk)

Leave a reply: