ක්‍රිකට් පරාජය ගැන රොෂාන් මහානාම තැබූ සටහන

පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණය හේතුවෙන් එංගලන්තය සමඟ පැවති අවසන් විස්සයි 20 තරගයෙත් අමිහිරි පරාජයක් වැළඳගැනීමට ශ්‍රී ලංකාවට සිදුවුණි.

ශ්‍රී ලංකාව ලද පරාජය සම්බන්ධයෙන් හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහ ජාත්‍යන්තර තරග තීරකවරයෙකු වූ රොෂාන් මහානාම ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සටහනක් තබා තිබුණි.

එහි දැක්වෙන්නේ,

“වත්මන් ක්‍රිකට් කණ්ඩායම සහ මීට පෙර පැවති කණ්ඩායම් අතර බරපතළ වෙනසක් මම දකින්නේ නෑ. ක්‍රීඩකයින්ගේ ආකල්ප මතයි මෙහෙම වෙලා ඇත්තේ. මේක ක්‍රීඩකයින්ගේ ආකල්ප පිළිබඳ ගැටලුවක් වෙන්න පුළුවන්. ඔවුන් රටට යමක් කරනවිට ඇතිවෙන ආත්ම අභිමානය පිළිබිඹු නොවීම කනගාටුවට කරුණක්.”

මෙම තරගාවලියේ ජය එංගලන්තය තමන් සතුකර ගත්තේ තරග 3 ට 0ක් ලෙසය.

අඛණ්ඩව තුන්වැනි වරටත් තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක කුසල් ජනිත් එම තරගයේදී පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

දෙවන තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම යම් වෙනසකට ලක්කරමින් අවිශ්ක ප්‍රනාන්දු සහ අකිල ධනංජය වෙනුවට ඕෂද ප්‍රනාන්දු සහ ලක්ෂාන් සඳකැන් කැඳවා තිබුණි.

එංගලන්ත ඉනිම අරඹමින් පිටියට පිවිසි ඩේවිඩ් මාලන් සහ ජොනි බෙයාර්ස්ටෝ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට රිසිසේ පහර එල්ල කරමින් පළමු කඩුල්ලට ලකුණු 105ක සබඳතාවක් ගොඩනැගුවේය.

ජොනි බෙයාස්ටෝ එංගලන්ත පිලේ පළමු කඩුල්ල ලෙස දැවි ගියේ පන්දු 43කදී ලකුණු 51ක් රැස් කරගෙන සිටියදීය.

නමුත් ඩේවිඩ් මාලන් දෙවන කඩුල්ලට ලියාම් ලිවින්ග්ස්ටන් සමඟ එක්ව ලකුණු 38ක සබඳතාවක් ගොඩ නැගු අතර බිනුර ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ ලිවින්ග්ස්ටන් දැවිගියේය.

ඉන්පසු ක්‍රියාත්මක වූ දුෂ්මන්ත චමීර එංගලන්ත පිතිකරුවන් තම ග්‍රහණයට නතු කර ගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වුයේ ලකුණු 17ට කඩුලු 4ක් දවාගනිමිනි.

දුෂ්මන්තත චමීරගේ අද පන්දු යැවීම ඔහුගේ 20-20 ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ලෙස සටහන්වුණි.

බිනුර ප්‍රනාන්දු සහ ඉසුරු උදාන එක් කඩුල්ල බැගින් දවා ගත්තේය.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ එංගලන්තය කඩුලු 6ක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 180කි.

ලකුණු 181ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑම සඳහා ශ්‍රී ලංකා ඉනිම ආරඹින් පිටියට පිවිසියේ නායක කුසල් ජනිත් සහ ධනුෂ්ක ගුණතිලකය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු දෙක ලකුණු 23කදී දැවි ගියේය.

කුසල් මෙන්ඩිස් රැස්කළේ ලකුණු 6ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ බිනුර ප්‍රනාන්දු රැස්කළ ලකුණු සංඛයාව 20කි.

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණය හමුවේ  ශ්‍රී ලංකාවට පන්දුවාර 18යි පන්දු 5කදී සියලු දෙනා දැවි රැස් කරගත හැකි වූයේ ලකුණු 91ක් පමණි.

(Courtesy of adaderana.lk)

Leave a reply: