‘‘කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව සූදානම්‘‘

කොරොනා එන්නතේ දෙවැනි මාත්‍රාව අප්‍රේල් 19 වැනිදා සිට ලබා දීමට එන්නත් මාත්‍රා ලක්ෂ තුනක් වෙන්කර තිබෙන බව වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

එම එන්නත් ප්‍රමාණය ලබා දෙන අතරතුර අලුතින් මිලදී ගැනීමට ඇනවුම් කර ඇති ඔක්ස්ෆර්ඩ් ඇක්සාසෙනිකා එන්නත් තොගයත්,කොවැක්ස් පහසුකම යටතේ තවත් එන්නත් තොගයකුත් ලැබීමට නියමිත බැවින් කොරෝනා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් පැන නගින්නේ නැති බව ද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ජනවාරි 29 වැනිදා ලබාදෙන විට දෙවැනි මාත්‍රාව ලබා දීමට නියමිතව තිබුනේ සති හතරකට පසුව වුවත් නව පර්යේෂණ වල තොරතුරු වලට අනුව දෙවන මාත්‍රාව දිය යුතු කාලය සති 10- 12 අතර කාලයකට කල් දැමීමට හැකියාව පවතින බව තහවුරු වී තිබෙන බවද වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කීවාය.

කොරෝනා දෙවැනි මාත්‍රාව දීම සම්බන්ධයෙන් රජයේ ඇති සූදානම කෙබඳුදැයි ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා(සජබ) ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය මේ බව සඳහන් කළාය.

අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ

(Courtesy of lankadeepa.lk)

Leave a reply: