කොරෝනා පාලනය වනතුරු ඇදිරි නීතිය අවශ්‍ය බව වෛද්‍ය සංගමය කියයි

කොරෝනා රෝගය පාලනය වන තුරු රට පුරා ඇදිරි නීතිය පවත්වා ගෙන යා යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය රජයට යෝජනා කර ඇත .සදුදා දහවල් වන විට මෙරටින් හමුවූ කොරෝනා රෝගින් සංඛ්‍යාව අසූ හය දක්වා ඉහළ ගොස් තිබේ .අවසන් රෝගින් දෙදෙනා වාර්තා වූයේ කලුතර දිස්ත්‍රික්කයෙනි.

කොරෝනා රෝගීන් ගේ බහුතරය විදේශ රටවලින් පැමිණි අය හෝ ඒ අය සමග සබදතා පැවැත් වූ පුද්ගලයන් බව රජය පවසයි .දැනට කොරෝනා යැයි සැක සහිත පුද්ගලයන් 222 ක් පමණ විවිධ රෝහල්වල පරීක්ෂණ මට්ටමින් ප්‍රතිකාර ලබති .

යාපනය ප්‍රදේශයේ ආගමික දේශනයක් පැවැත්වීම සදහා ස්විට්සර්ලන්තයේ සිට පැමිණි පාස්ටර්වරයාට කොරෝනා රෝගය වැළදී තිබූ බව පසුව සොයා ගැනුණි . ඔහු යාපනය ප්‍රදේශයේ 150 කට වැඩි පිරිසක් ඇසුරු කර ඇත .ඉන් එක් අයෙක් දැනටමත් කොරෝනා රෝගියකු බව හදුනාගෙන ඇත .එම නිසා වන්නි දිස්ත්‍රික්කවල දවස පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කර රෝග නිරෝධායනයට පැමිණෙන්නයැයි පාස්ටර්වරයා ඇසුරු කළ පිරිසගෙන් රජය ඉල්ලා සිටී .

මේ අය බෙහෙත් පරිහරණය නොකරන ආගමික නිකායකට අයත් වූවන් බැවින් තත්ත්වය තවත් බරපතළ වී ඇතැයි උතුරෙන් වාර්තා වේ .

කෙසේ හෝ මුල්ලේරියාව උණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දැනට ප්‍රතිකාර ලබන කොරෝනා රෝගින් දෙදෙනෙකු ගේ තත්ත්වය තරමක් බරපතළ බව වෛද්‍යවරු කියති.

මෙම තත්ත්වය නිසා ඉදිරි සතියේදී ත් වරින් වර ලිහිල් කර ඇදිරි නීතිය පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය වෛද්‍ය සංගමය දැඩි ලෙස රජයට අවධාරණය කර ඇති නිසා රජය අද හෝ හෙට ඒ ගැන තීන්දුවක් ගැනීමට නියමිතය .

Leave a reply: