කොරෝනා මරණ සමග බැඳුනු අමුතු කතා

කොරෝනා ව්‍යාප්තියත් සමග රෝගයට ගොදුරු වී මිය යන පිරිස ගැන අප නිතර අසන්නට ලැබෙයි. එහෙත් ඇතැමෙකු මිය ගිය පසුව රෝගී බව දැන ගන්නට ලැබීමෙන් බොහෝ දෙනා අපහසුවට පත්වෙති. එය ඇතැමෙකු සුළුකොට තැකුවද එම තත්ත්වයට පත්වන බොහෝ දෙනෙකුට දරා ගත නොහැකි තත්ත්වයකි.  මේ එවැනි ශෝචනීය සිදුවීම් දෙකකි.

රැකියාවට පවා නොගිය චතුරංග කොරෝනාවට ගොදුරු වූනේ කොහොමද? 

ජයසේකර යුවළට සිටියේ දරුවන් දෙදෙනෙකි. ඒ දියණියක හා පුතණුවෙකි. ඔවුන් දෙදෙනා ජයසේකර යුවළට සිය ඇස් දෙක මෙනි. මිල මුදල් යහමින් නොවූ සාමාන්‍ය පවුලක ගෘහ මූලිකයා වූ වසන්ත ජයසේකර මහතා සිය පවුල නඩත්තු කරනු ලැබුවේ වෑල්ඩින් ශිල්පියකු ලෙස සිය ජීවිකාව ගෙනයාමෙනි. පවුලේ බරට උරදෙනු වස් ජයසේකර මහතාගේ බිරිඳ නිවසේම පැත්තක් වෙන්කරගෙන සිල්ලර වෙළඳසැලක් පවත්වාගෙන ගියාය. එහෙත් ඔවුන්ට ඒ සියල්ලට වඩා වටින්නේ මිලක් නියම කළ නොහැකි වූ සිය දරුවන් දෙදෙනාය.
ඒ නිසා කොවිඩ් වසංගතය පානදුර අවට පැතිරීම වැඩි වූ පසුගිය කාලයේ දරුවන් රැකියාවට යැවීමට පවා ජයසේකර මහතා මැලි වූයේය. එහෙත් දින ගණනාවක් නිවසේ ගත කළ චතුරංග පුතාට ඔහු සේවය කළ පෞද්ගලික මූල්‍ය ආයතනයේ ප්‍රධානියකු දුරකථනයෙන් අමතා යම් ලියවිල්ලක් තමන් වෙත රැගෙන එන ලෙස දැනුම් දෙනු ලැබුවේ පසුගිය 24 වැනිදාය. ඒ අනුව චතුරංග 25 වැනිදා අලුයම අවදිව මාළඹේ විසූ තම ඉහළ නිලධාරිනියගේ නිවස වෙත යාමට පිටත් වූයේය. ඔහු පානදුර සිට පිළියන්දලට පැමිණ එතැනින් කොට්ටාව දෙසට සිය යතුරුපැදියෙන් ගමන් කළේ කොට්ටාවෙන් මාළඹේ පාර ඔස්සේ ගමන් කිරීම සඳහාය.
එහෙත් ඔහුට ගමන් කිරීමට ලැබුණේ ඉතාමත් සුළු දුරකි. කොට්ටාව දෙසින් පිළියන්දල දෙසට ගමන් කරමින් තිබූ පාසල් සිසුන් ප්‍රවාහනයට යොදාගන්නා පෞද්ගලික බස් රථයක් ඔහුගේ එදින ගමන පමණක් නොව ජීවන ගමනද එතැකින් නිම කළේය. ඒ වනවිටත් චතුරංග ගෙවා තිබුණේ සිය ජීවිත කාලයෙන් අවුරුදු විසිහතරක් පමණි. ඔහුගේ ජීවිතයේ තුනෙන් දෙකක්ම තවත් ඉතිරිව තිබිණ. තවත් බොහෝ දේ කරන්නට ඉතිරිව තිබිණ.

පොලිසිය පවසන පරිදි අනතුරට පාදක වූ එම බස් රථයේ රියදුරු ලෙස එම අවස්ථාවේ කටයුතු කර තිබුණේ බස් රථ ධාවනයට සුදුසු බලපත්‍රයක් සහිත අයෙක් නොවේ. එම රියදුරු ද අවුරුදු විසිහයක තරුණයෙක් වූ අතර ඔහුට තිබුණේ සැහැල්ලු වාහන ධාවනය සඳහා වන බලපත්‍රයක් පමණි.

නිසි රියදුරු බලපත්‍රයක් නොමැති වුවද අනතුරට ලක්වූ පුද්ගලයා මහමග දමා පළායාමට තරම් ඇතැම් ධනවතුන් බලවතුන් මෙන් හිත්පිත් නැති නරුමයෙක් ලෙස නොහැසිරුණ මෙම රියදුරු තරුණයා බරපතළ තුවාල ලබාසිටි චතුරංගව ළඟම පිහිටි පිළියන්දල රෝහල කරා රැගෙන ගියේය.

රෝහලට ඇතුළත් කරන විටත් චතුරංග මියගොස් සිටි බව රෝහල් බලධාරීහු පවසති. ඔහුගේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය සිදුකරනු ලැබුවේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු එච්. අජිත් වීරසිංහ මහතා විසිනි.

එහෙත් සිරුර ඥාතීන්ට භාර දීමට පෙර මෙකල සිදුකරන සාමාන්‍ය ක්‍රමවේදයට අනුව චතුරංග සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකළේය. එහිදී ඔහු කොවිඩ් ආසාදිතයකු බවට අනාවරණය වී ඇතැයි පොලිසිය චතුරංගගේ පවුලේ සාමාජිකයන්ට දැනුම් දුන්නේය.

කොවිඩ් ආසාදිතයකු බව දැන ගැනීමෙන් අනතුරුව චතුරංගගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මුල්ලේරියාව වසංගත රෝග විද්‍යායතනය වෙත යොමු කරනු ලැබුවේය. අනතුරුව ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොළොන්නාව ආදාහනාගාරයේදී සිදුකරනු ලැබීය. චතුරංගගේ පවුලේ දහදෙනකුට පමණක් මරණයේ අවසන් කටයුතු සඳහා සහභාගි වීමට ඉඩ ලැබුණ අතර පාංශුකූල චාරිත්‍රය එක් භික්ෂූන් වහන්සේ නමක් සම්බන්ධ කරගනිමින් සිදුකිරීමට ද ඔවුන්ට ඉඩ ප්‍රස්ථාව හිමි විය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ චතුරංගගේ එකම සහෝදරිය: 

“අනතුරෙන් නැති වුණේ මගේ එකම සහෝදරයා. එයාට අවුරුදු විසිපහයි. මට අවුරුදු විසිහතරයි. අපි දෙන්නා අතර වයස් පරතරය අවුරුද්දයි. අපි ජීවත් වුණේ නිවුන් දරුවෝ වගේ. දෙන්නාට දෙන්නා නැතිව බැරි වෙන තරම් අපි සමීපයි. දැන් මගේ ජීවිතයේ භාගයක් හොරු අරන් ගිහින් වගේ. එයාට කොයි තරම් බලාපොරොත්තු තිබුණාද? එයා වැඩ කරන තැනම ගැහැනු ළමයෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් තිබුණා. අපේ අම්මලා කතා කරගෙන තිබුණේ ඒ ගැන ඒ ළමයගේ දෙමාපියන් සමග කතා කරගෙන එයාගේ විවාහය කරන්නයි. කොවිඩ් ආපු නිසා ඒක ටිකක් අඩු වෙනකල් කියලයි අපි බලා හිටියේ. ඒත් ඊට කලින් අයියා අපිව දාලා ගියා.

අපිට පොලිසියෙන් කිව්වා අයියාට කොවිඩ් හැදිලා කියලා. අපිට ඒක විශ්වාස කරන්න අමාරුයි. එයා පහුගිය දවස්වල කොහේවත් ගියේ නැහැ. ගෙදරමයි හිටියේ. එයාට කොහෙන්ද කොවිඩ් ආවේ? පොලිසිය කියනවා අයියා ගෙනිච්චේ කොවිඩ් ආසාදිතයන් ඉන්න රෝහලකට නිසා එතනදී වීෂබීජය ට්‍රොලියේ තිබිලා අයියාට හැදෙන්න ඇති කියලා. අපිට නම් මේක හිතාගන්න බැහැ. අන්තිමට අපිට අයියාගේ අවසන් කටයුතුවත් හිතේ හැටියට කරගන්න බැරි වුණ එකයි සිදුවුණේ.”

මෙවැනි අත්දැකීම්වලට මුහුණ දෙන අසරණ පවුල් තවත් කොතෙකුත් මෙරට වෙසෙනවාට සැකයක් නැත. දිනකට වාර්තාවන කොවිඩ් මරණ මෙන්ම කොවිඩ් නොවන මරණ අතර ද අවසානයේ කොවිඩ් ආසාදිතයන් බව වාර්තාවීමෙන් ගැටලු රැසකට මුහුණපාන පවුල් ද පවතිනු ඇත. වසංගතය මැඩලීම තවදුරටත් සාර්ථකව ඉදිරියට ගෙන යාමට නොහැකි වුවහොත් මෙවැනි සිදුවීම් වාර්තා වීම තව තවත් වැඩිවනු මිස අඩු නොවනු ඇත.

මිත්තණියගේ මළසිරුර බදා හැඬු දරුවන්ට කොරෝනා

අලු‍ත්ගම මොරගල්ල පදිංචිව සිටි 85 වන විය පසු වූ මවක් සිය නිවසේ දී කොරෝනා මාරයාට බිලි වූවේ ඉකුත් සතියේය. ඒ එම මාතාවගේ නිවසට යාබද ඇයගේ වැඩිමහල් දරුවාට කොරෝනා ආසාදනය වී එම නිවසේ නිරෝධායනයට ලක් වී සිටියදීය.

කොරෝනා ආසාදිත තත්ත්වයෙන් එම මව මියගියේ තම බාල පුතුගේ නිවසේ වාසය කරමින්ය. දරුවන් දෙදෙනාගේ නිවෙස් දෙක අතර දුර මීටර 10කි. ආසාදිත මව සිටි නිවසේ ඇයගේ බාල පුත්‍රයා, ලේලිය සහ මුණුපුරන් දෙදෙනා එකට වාසය කර ඇති අතර යාබද නිවසේ කොරෝනා ආසාදිත වූ වැඩිමහල් පුතා පදිංචි නිවසට ආ ගිය අයවලු‍න් හේතුවෙන් වැඩිමහල් කාන්තාව නිවසේදීම මියයෑමෙන් පසු කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇති අතර එම කාන්තාව මියගිය අවස්ථාවේ නිවසේ දරුවන් ඇය ස්පර්ශ කරමින් හඬා වැලපී තිබෙන අතර මියගිය කාන්තාවගේ අවසන් කටයුතු සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයෙන් අලු‍ත්ගම ආදාහනාගාරයේදී සිදු කළහ.

අනතුරුව මියගිය වැඩිහිටි කාන්තාව සිටි නිවසේ ලේලිය ද මේ වනවිට කොරෝනා ආසාදිත වී ප්‍රතිකාර සඳහා යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙන අතර කුඩා දරුවන් දෙදෙනා තම පියා සමග නිවසේ නැවතත් නිරෝධායනයට ලක් වෙමින් සිටී.

මොරගල්ලෙ එම නිවසින් නැවතත් කොරෝනා ආසාදිත අයකු හමුවන්නේ මියගිය වයෝවෘද්ධ කාන්තාවට කොරෝනා ආසාදිත බව නොදැන ඇය මියගිය පසු සිප වැළඳගෙන හඬා වැලපීම හේතුවෙන් බව පසුව තේරුම් ගොස් තිබේ.

මුදිතා දයානන්ද සහ
බණ්ඩාරගම – බිමල් ශ්‍යාමන් ජයසිංහ

(Courtesy of lankadeepa.lk)

Leave a reply: