කොරෝනා රෝගීන්ට පහසුකම් සූදානම්. නගර වසා දැමීමක් නැහැ.

පවත්නා කොරෝනා වසංගතය පාලනය සඳහා සියලු සැලසුම් සකස් කර අවසන් බව රජය කියයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම අනුව දැනට රෝහල්වල රෝගීන් සඳහා අයි.සී .යූ ඇඳන් හයසියයක්ද සාමාන්‍ය ඇඳන් එක් දහස් හය සියයක් ද සංවිධානය කර ඇත.සාමාන්‍ය ඇඳන් සංඛ්‍යාව 1600 සිට 3000 දක්වා ඉහළ නැංවීමට තවත් සතියකින් පමණ හැකිවනු ඇතැයි ආරක්ෂක අංශ ප්‍රකාශ කරයි.එහෙත් එතරම් රෝගීන් සංඛ්‍යාවක් තවමත් රෝහල්වලට ඇතුලත්ව නැත .

ආරක්ෂක හමුදා විසින් සංවිධානය කර තිබෙන නිරෝධායන මධ්‍යස්ථාන 96 ක දැනට පුද්ගලයන් දස දහස් පන්සියයක් පමණ නිරෝධායනය වන අතර ඉන් හරි අඩක් පමණ ලබන සතියේ නිරෝධායනය අවසන් කොට පිටව යෑමට නියමිතය.එලෙස රජය තත්ත්වය පාලනය කර තිබේ .දිනපතා හමුවන රෝගීන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා ගැනීමට රාජ්‍ය බුද්ධි අංශ විශේෂ විමර්ශනයක් ද සිදුකරනු ලබයි. කොළඹ හා තදාසන්න නගර නිතිපතා පරීක්ෂාවට ලක්වේ. එම නිසා රටේ ජාතික ආර්ථිකය අඩාල වන ලෙස නැවත කොළඹ හෝ වෙනත් නගර වසා දැමීමට අදහසක් නැති බව රජය ප්‍රකාශ කරයි. එහෙත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියා කිරීමට ජනතාව පෙළඹවීම සඳහා අවශ්‍ය නීතිරීති දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ආරක්ෂක අංශ පවසයි .

Leave a reply: