කොවිඩ් මෙහෙයුම

වයස අවුරුදු එකසිය දෙකක් වූ මිත්තණියක් එන්නත්කරණ මධ්‍යස්ථානයකට පැමිණ කොවිඩ් එන්නත ලබා ගත්තාය. ඉක්බිති ඇය ඉතා පැහැදිලි උච්චාරණයකින් යුතුව කියා සිටියේ මං බෙහෙත විද ගත්තා! කිසිම අමාරුවක් නෑ! යන්නය. එලෙසම ඇයගේ ඉල්ලීම වූයේ නොබියව පැමිණ එන්නත විද ගන්න යන්නය. මෙය ආදර්ශයට ගත හැකි අපූරු සිද්ධියකි. ජනතාවට ඉන් කදිම පණිවිඩයක් ද ලබා දෙයි. මේ සිද්ධිය ගැන දැනගත් ජනාධිපතිවරයා කොවිඩ් මර්දන කමිටුව වෙත උපදේශනයක් දී ඇත. එනම් වයස්ගත හා සංචරණ අපහසුතා ඇති අයට නිවෙසටම ගොස් එන්නත් දීමට පියවර ගන්නා ලෙසය. මේ වනාහි අතිශය වැදගත් ප්‍රායෝගික තීරණයකි. අ‍ෙප් කොවිඩ් මර්දනය සාර්ථක වන්නේ එබඳු බුද්ධිමත් තීරණ හා තීන්දු නිසාය.

ලබන පළමු වනදා තෙක් පළාත් අතර මගී ප්‍රවාහනය නතර කිරීමට ද රජය පියවර ගෙන තිබේ. එය ද ප්‍රායෝගික වශයෙන් වැදගත් තීරණයකි. මාසයකටත් අධික කාලයක් පළාත් අතර සංචරණ සීමා අකුරටම ක්‍රියාත්මක වූ අතර පසුව එය ලිහිල් කැරිණි. එම ලිහිල් කිරීමත් සමඟ යළිත් කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ අවදානමක් මතු වන්නට පටන් ගත්තේය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉහත අවදානම කලින්ම පෙන්වා දී තිබිණි. සංචරණ සීමා ලිහිල් වීමත් සමඟ යළිත් බස්නාහිර පළාත වෙත විශාල පිරිසක් කඩා වදින්නට වූහ. මේ අතර ඇති වැඩි පිරිස අනවශ්‍ය පුද්ගලයෝ වෙති. අනවශ්‍ය යනු අත්‍යවශ්‍ය සේවාවක් හෝ අත්‍යවශ්‍ය ‍සාධකයක් නැතිව අග නගරයට පැමිණෙන පිරිස්ය.

කොවිඩ් මර්දනයට අදාළ වැදගත් සාධක දෙකක් ඇත. ඉන් පළමුවැන්න එන්නත්කරණය ලෙස සැලකිය හැකිය. දෙවැන්න නම්; එකිනෙක රටවල් විසින් පවත්වාගෙන යනු ලබන සෞඛ්‍ය නීති හා රීතිය. මේ දෙක සාර්ථකව පවත්වාගෙන යා හැකි නම් කොවිඩ් ව්‍යාප්තිය ගැන බිය විය යුතු නැත. එන්නත් විද ගත් තැනැත්තකුට වයිරසය ආසාදනය වූව ද ඔහු මාරාන්තික තත්ත්වයට පත්වන්නේ නැත. එලෙසම එම පුද්ගලයා රෝග වාහකයකු වන්නේ ද නැත. දකුණු ආසියාවේ ශක්තිමත්ම හා සාර්ථකම එන්නත්කරණ වැඩසටහන ඇත්තේ ශ්‍රී ලංකාවේය. ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, ඇෆ්ගනිස්ථානය යන සෑම රාජ්‍යයක්ම එන්නත්කරණය අතින් අපට වඩා පසුගාමීය. සෑම දිනකම ලක්ෂ තුනකට වැඩි පිරිසකට එන්නත් දීමට රජය සමත් වී ඇත.

අපේ සෞඛ්‍ය නීති වරින් වර වෙනස් කරනු ලැබේ. ඒ වසංගතයේ තත්ත්වය හා පැතිර යෑමේ වේගය සැලකිල්ලට ගනිමින් කොවිඩ් මර්දනය සඳහා ගනු ලබන තීරණ වෙයි. මේ දිනවල ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් සඳහා නීති රීති හතළිස් තුනක් හඳුන්වා දී ඇත. මේවා ඒ අයුරින්ම අනුගමනය කරන්නේ නම්; කොවිඩ් තෙවන රැල්ල පහසුවෙන් ජය ගත හැකිය. එහෙත් සෞඛ්‍ය නීති රීති, නිරෝධායන නීති, සංචරණ නීති ඒ අයුරින්ම අනුගමනය කිරීමක් දැක ගත නොහැකිය. ඇතැම් පුද්ගලයෝ මුව ආවරණ පැලඳීම වැනි මූලික සෞඛ්‍ය නීති පවා උල්ලංඝනය කරති. මුව ආවරණ නොමැතිව දුම්රිය ස්ථානයක හැසිරුණු තරුණයෝ දෙදෙනෙක් ඒ ගැන විමැසීමට ගිය ආරක්ෂක නිලධාරියාට දරුණු ලෙස පහර දුන්හ. මෙබඳු සිදුවීම්වලින් රටේ ජනතාවගේ තත්ත්වය මැන ගත හැකිය.

මේ වන විට ලෝකය පුරා රටවල් භාවිත කරන එලෙසම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලද එන්නත් වර්ග හතක් තිබේ. එයින් එන්නත් වර්ග පහක්ම ශ්‍රී ලංකාවේ භාවිත වෙයි. එය සාධනීය තත්ත්වයකි. ඇස්ට්‍රාසෙනෙකා, ස්පුට්නික්, සයිනොෆාම්, ෆයිසර් හා මොඩර්නා එම එන්නත් වර්ග වේ. මේ සෑම එන්නතක් සඳහාම අධි ඉල්ලුමක් පවතී. එන්නත් මිලට ගැනීම තුළ අධික තරගයක් ද දකින්නට ලැබේ. ශ්‍රී ලංකාව වැනි පහළ ආදායම් ලබන රාජ්‍යයක් එන්නත් ලබා ගැනීමේ දී සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන ඇත්තේ පෙර සූදානමකින් කටයුතු කිරීමට රජය ක්‍රියාකර ඇති නිසාය. කොවිඩ් පිළිබඳ සිදු කරන ලෝක පර්යේෂණ ගැන පවා අපේ ජනාධිපතිවරයා උනන්දුවක් දක්වයි. එහි ප්‍රතිඵලයක් ලෙස අනාගතය දෙස බලාගෙන වැඩ කරන්නට කොවිඩ් මර්දන කමිටුවට හැකියාව ලැබී ඇත.

ලබන සැප්තැම්බරය අවසන් වනවිට ර‍ෙට් මුළු ජනගහ‍නයෙන් 60%කට එන්නත් දීම රජයේ ඉලක්කය වී තිබේ. මේ ඉලක්කය ජය ගත හැකි බව පෙනී ගොස් ඇත. බස්නාහිර පළාතේ වයස අවුරුදු තිහට වැඩි සියලු දෙනාට ජූලි අවසන් වීමට පෙර එන්නත් දෙන්නැ’යි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත. එය කඩිනම් වැඩපිළිවෙළකි. ත්‍රිවිධ හමුදාව ද එන්නත්කරණ වැඩසටහනට එකතු වී සිටිති. බස්නාහිර පළාත යනු කොවිඩ් ව්‍යාප්තිය අතින් අවදානම් කලාපයකි. අවදානම් කලාපවලට සේම අවදානම සහිත කණ්ඩායම්වලට ද එන්නත්කරණයේ ප්‍රමුඛතාව දී ඇත. එය කාලෝචිත පියවරකි. ජුලි අවසන් වීමට පෙර තවත් දිස්ත්‍රික්ක ගණනාවක එන්නත්කරණය අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

කොවිඩ් මර්දනයේදී රටක සියලු කණ්ඩායම් සාමුහික ප්‍රයත්නයක් සඳහා යොමු වීම හොඳම උපායමාර්ගයක් වුව අපේ රටේ එය සිදු වන්නේ නැත. ඉන්දියාවේ ද එය සිදු වන බවක් පෙනේනනට නැත. විපක්ෂය හැම විටම උක්ත වැඩසටහන් විවේචනය කරන අතර ඒවා කඩාකප්පල් කිරීමට ද ක්‍රියා කරයි. අපේ එන්නත්කරණ වැඩසටහන සාර්ථක වී ඇත්තේ බාධා කිරීම් මැදය. මුලින්ම ඊට ජනතාවගේ සහයෝගය ලැබුණේ නැත. සමාජය තුළ ප්‍රචාරය කර තිබූ මිථ්‍යා මත නිසා එන්නත් ගැනීමට ජනතාව බියක් දැක්වූහ. එහෙත් සෞඛ්‍ය අංශවල දැනුම්වත් කිරීමේ වැඩසටහන් නිසා එය වෙනස් විය. අද වන විට ජනතාව ස්ව කැමැත්තෙන්ම එන්නත්  ගන්නා අතර ඒ සඳහා තරගකාරී ස්වභාවයක් ඇති බව ද දැක ගත හැකිය. එය ද සාධනීය ලක්ෂණයක් සේ ගත හැකිය.

සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, දේශපාලන නායකත්වය හා පොදු ජනතාව කොවිඩ් මර්දනය සඳහා කැප වීමකින් කටයුතු කරන්නේ නම්; වසංගතය පාලනය කරගෙන ආර්ථික ඉලක්ක කරා ගමන් කළ හැකි බව ශ්‍රී ලංකාව සනාථ කරන්නට පටන්ගෙන තිබේ. වසංගත තත්ත්වය තුළ වුව ජාතික ආර්ථිකයේ යම් පිබිදීමක් ද ඇති වී තිබෙන බව මහ බැංකුව මෑතක දී ප්‍රකාශ කර තිබේ. මේ ගැම්ම දිගටම පවත්වාගෙන ගිය හොත් කොවිඩ් වසංගතය පරාජය කොට රටක් වශයෙන් නැගී සිටිය හැකිය.

(Courtesy of dinamina.lk)

Leave a reply: