ගිලිහුණ උරුමයට යළි පණ පොවන කූරගල

වියැකෙන ඉතිහාසය රකින්නටත්, මතුපරපුරට යළි දායාද කරන්නටත් හැකි වනුයේ  එය නොනැසී පවතින තාක් පමණි. ශ්‍රී ලංකාවේ එවැනි බොහෝ තැන්, විවිධ වකවානුවල විවිධ බලපෑම්වලට හසුවෙමින් ශේෂ වෙමින් විනාශවීමට තුඩුදුන්නේ අද ඊයේ නොවේ. 

ක්‍රිස්තු පූර්ව දෙවන සියවස දක්වා දිවෙන  ඉතිහාසයක පුරාවෘත්තය ගිලිහෙන්නට නොදී රැක ගනිමින්, සිය දිවි දෙවෙනි කොට බෞද්ධ උරුමය වෙනුවෙන් කැපවීමෙන් වෙහෙසුන භික්ෂූන් වහන්සේලාගේ මහත් උත්සාහයෙන් ආරක්ෂා වන පින්බිමකි කුරගල.

මානව ඉතිහාස පිළිබඳව කියැවෙන විට බලංගොඩ මානවයාට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. එමෙන්ම රුවන්පුර ගැනකියවෙන විටද ඉතා වටිනා මැණික් බිහිවෙන පුරවරයක් ලෙසද බලංගොඩ ප්‍රකටය.

අමිල මාණිඛ්‍යයක් මෙන් ලොව සසුනඹර බැබළවූ මහාරට්ඨගුරු ෂඩ් භාෂා පරමේශ්වර, අග්ගමහා පණ්ඩිත, බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය  මහ නාහිමියන් ජන්ම ලාභය ලද පුණ්‍ය භූමිය වූයේද මේ පින්බිමයි.

බලංගොඩ නම ලෝකයට ගෙනයමින් ලෝකයේ පළමු අග්‍රාමාත්‍යවරිය බිහිවන්නේද බලංගොඩ පුරවරයෙනි. සුළං බලයෙන් යපස් යකඩ බවට හරවා බළන්ගොඩ පුරවරයේ කිංචිගුණේ ප්‍රදේශයෙන්ඉතා අගනා වානේ නිෂ්පාදන බිහිවූ බවද එම නිෂ්පාදනයන් අතරට එක්වූ ඉතා වටිනා කඩු, පිහියා, කිනිසි ආදී උපකරණ රුහුණු ගොඩවායෙන් සිරියාවේ දමස්කස් අගනුවරට ගෙන ගිය බවට ඉතිහාස පෙන්වා දෙයි. එම යපස් උඳුන්, පුරාවස්තු ලෙස, තවමත්  දැකිය හැකිය.

පතල් කර්මාන්තය, ඛනිජ කර්මාන්ත මෙන්ම ආර්ථික වටිනාකම අදටත් ඉහළ ස්ථානයක් ගන්නා වැවිලි භෝගයක් වූ තේ කර්මාන්තයටද ප්‍රකට බලංගොඩ ප්‍රදේශය, සෞන්දර්ය අතින්ද ඉහළ වටිනාකමක් සපිරි සංචාරක පුරවරයක් ලෙසින් දප්‍රකට ය. රත්නපුර දිස්ත්‍රික්කයේ පවතින දියඇලි, ගංගා ඇළ දොළ ආදියෙන් හැඩවුණු කඳුකර ප්‍රදේශයත් මේ සෞන්දර්ය තීව්‍ර කිරීමට ගෙන එන අනුපානයන් වේ.

‌‌ෙඑතිහාසික මෙන්ම සංස්කෘතික වටිනාකම් සමූහයකින්ද, පාරිසරික  හා ආර්ථික වශයෙන් සම්පත් අනූන වූ ප්‍රදේශයක බලංගොඩ ආදි මානව ශේෂ හමුවීමත්, වසර 2500  පැරණි   ඉතිහාසය ශේෂ කොට ඇති බොහෝ දෑ හමුවීමත් ලඝු කොට සැලකිය හැකි නොවේ.

පෞරාණික වටිනාකමකින් යුත් බොහෝ දෑ මිහිදන්ව තිබීමත් පුරාවිද්‍යා කැණීම් මගින් එවන් බොහෝ දෑ සොයා ගැනීමත් වසර 5000 කට වඩා අතීතයේමිනිස් වාසයක් මෙහි තිබූ බවටත් එමපුරාවිද්‍යා සාක්ෂි සනාථ කරන බව මහාචාර්ය රාජ්සොමදේව මහතාගේ අධ්‍යනයන් තුළින් කියැවෙයි.

වටිනාකම් බොහෝමයක් පවතින බලංගොඩ පුරවරයේ අද බොහෝ දෙනා දෙනාගේ කතාබහට ලක්ව තිබෙන කූරගල නම් වූ ප්‍රදේශය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී ආරාම සංකීර්ණයක්ව පැවති බවත්, මහරහතන් වහන්සේලා වැඩ සිටි පුණ්‍යභූමියක් සහ භික්ෂූන් වහන්සේලා වැඩසිටි ගුහා මෙන්ම බ්‍රාහ්මීය අක්ෂර සහිත ශිලා තලයක් ද පිහිටීම බෞද්ධ ආගමික පුදබිමක පසුබිම් සාක්ෂි තහවුරු කරන බවත් පුරාවිදු ඇදුරුතුමෝ කියති.

මුහුදු මට්ටමේ සිට මීටර් 360 ක් උසින් පිහිටි  මෙම පාෂාණමය උස් ප්‍රදේශය පර්යන්ත පලයිස්ටොසීන් අවධියේ සිට මිනිස්වාසයන් පැවති කේන්ද්‍රස්ථානයක් බව කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳමහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසයි. එහි කැණීම්වලින් හමුවූ දෑ එය සනාථ කරන බව සිය අධ්‍යයනයන් තුළින් තහවුරු කරන බවත් මහැදුරු සෝමදේවයෝ කියති.

බලංගොඩ  කල්තොට ගොවි ජනපදය කරා පිවිසෙන මග නගරයෙන් කිලෝ මීටර් 22 ක් පමණ ඈතින්, බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස පැවති කූරගල මස්ථකයේ පෞරාණික චෛත්‍යයකි. මහ රහතන් වහන්සේලා වැඩසිටි ආරාම සංකීර්ණයක් ලෙස සැළකෙන මෙම පුරාවිද්‍යා භූමියෙහි පිහිටි කටාරම් සහිත ගල මුහුණත බ්‍රාහ්මීය අක්ෂර සහිත සෙල් ලිපියකි.

මෙම සංකීර්ණය සංඝයා වහන්සේ වස් සමයෙහි වස් විසූ බවට සැලකෙන ගුහා කීපයකින්ද සමන්විතය. කඳු මුදුන මත ස්තූපයක් හා ලෙන් ගුහා පැවතීමද එහි පෞරාණික අගයතහවුරු කරන සාක්ෂිය.

වසර 2500 කට වැඩි ඉතිහාසයක් ඇති මෙම පුරාවිද්‍යාභූමියෙහි  මෑත භාගයේ  ඉස්ලාමීය ආගමික සිද්ධස්ථානයක් සහ අනවසර ඉදිකිරීම් රැසක් ඉදිකරමින්, මෙහි පුරා විද්‍යා වටිනාකම හෑල්ලු කිරීමට විවිධ බලපෑම් එල්ලවී තිබුණු බව නොරහසකි.

මහවලතැන්න සානුවට අයත් තංජන්තැන්න ප්‍රදේශයේ පිහිටි මෙම භූමිය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසප්‍රකාශ කර තිබුණද, මීට වසර ගණනාවකට ඉහතදී ඉදිවුනු මුස්ලිම් පල්ලියක් සහ සොහොන් බිමක් මෙහි තිබේ. එමෙන්ම අනවසර ඉදිකිරීම් රැසක් පුරාවිද්‍යා භූමියෙහි ඉදිකර ඇත.

විවිධ දුක් ගැහැට විඳිමින්, පුදබිම ආරක්ෂා කර දෙන ලෙස, විවිධ දේශපාලන  අධිකාරීන් වෙත, වටද්දර ඥානිස්සර හිමියෝ මුල් කාලයේදී බොහෝ ඉල්ලීම් කළහ. නමුදු කූරගල මස්තකයට පහළින් බිම් කඩක් ලබා දීම හැරණු කොට අන් කිසිවක් සිදු නොවිණි. 2019 වසරේ වටද්දර ඥාණිස්සර හිමියන් විහාරස්ථානයේ භාරකාරත්වය දෙල්තොට චන්ද්‍රජෝතිහිමියන් වෙත භාර කර ඇත.

ලංකාවේ විවිධ දෙසින්, විවිධ ආගමික භක්තිකයින් පැමිණ, පුද පූජා මෙන්ම බිලි පූජා  පවත්වමින්, ගවයන් එළුවන් ඝාතනයකර පුළුස්සා දමමින් සත්ව ඝාතකාගාරයක් ලෙස කාලාන්තරයක් පැවති මෙම ප්‍රදේශයේ එවන් නොකටයුතු නවතා ලීමට මහා සංඝයා වහන්සේලා ගේ මැදිහත්වීමෙන් නොයෙක් පියවර ගනු ලැබිණ. එහෙත් මෙම භූමිය ආරක්ෂා කර ගැනීම සිදු වුයේ මන්දගාමීවය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් එම අනවසර ඉදිකිරීම් ඉවත් කර ගත්තද කටාරම් සහිත බ්‍රාහ්මී අක්ෂර හා කටාරම් කොටන ලද ශෛලතලාව පාමුල මෑත කාලයේ ඉදි කළ මුස්ලිම් පල්ලිය තවමත් එහි දැකිය හැකිය.

මහ රහතන්වහන්සේ වැඩසිටි භූමියක,  සත්ව හිංසනය කරමින් සත්ව ලෙයින් තෙත්වූ මෙබිම 2019-2020 දෙවසරෙහි දෙල්තොට චන්දුජෝති හිමියෝ  පුරාවිද්‍යා අවසරයෙන් භූමියෙහිවූ ගල්ගුහාවක වස් වැසූහ. පසුව කඨීන පින්කම් පැවැත්වීම සිදුකෙරිණ.

සජිත් ප්‍රේමදාස මහතා ‌ බුද්ධ ශාසන රාජ්‍ය ඇමතිවරයාව සිටි අවධියේ මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් පියගැටපෙළක් ඉදිකිරීම හා කඨින පින්කමට දායකත්වය සපයා ඇත. මහ රහතන් වහන්සේලා වැඩ සිටි යැයි සැලකෙන මෙම පුණ්‍ය භූමියේ සත්ව ඝාතකාගාර වලින් ගලායන ලේ මෙන්ම  සත්ත්ව ඇටකටුද තැන තැන දමා තිබෙනු මීට වසර කිහිපයකට ඉහතදී දැකගත හැකිවිය.

කූරගලට අරුණාලෝකය වැටෙන්නේ 2021 වසර ආරම්භයේදීය.

වසර ගණනාවකට පසුව, කූරගල පුදබිමෙන් පින් සිසිල විහිදුවන්නට මහ සඟරුවන වැඩම කරන්නේ අහම්භයකිනි. ඒ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ  මධ්‍යස්ථානයේ නිර්මාතෘ,  මහා විහාරවංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ විංසද්වර්ගික කාරක සංඝසභික, වතුරුකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අහඹු ආගමනයෙනි.

ධම්මරතන හිමියෝ 2021 පෙබරවාරි මාසයේදී, කූරගලට වැඩමකර, ඉපැරණි ස්ථූපයට වැඩමකරන අතරතුර දඹගසක් යට ගිමන් හරිමන් කල්පනාවක නිමග්නව සිටියහ. ඒ අවස්ථාවේදී  කූරගල ප්‍රතිනිර්මාණය කරන්නට ඕනෑය යන අදහස සිතෙහි පහළවූ  බව උන්වහන්සේ කියති. ඉන් මාසයක් ඇතුළත නැවතත් එහි වැඩම කරමින්, ශුෂ්ක භූමියක් පින්බිමක් කරවන්නට හැකිවූ යෝධ බලය හා  ශක්තිය පුදුම එළවන සුළුය. උන්වහන්සේ පවසන්නේ මේ භූමිය ගොඩනැගීමට සමන් දෙවියන් විසින් තමන් වහන්සේව මෙහි එවන ලද බවය.

කල්තොට හා බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, බළන්ගොඩ ඩිපෝව , කල්තොට පොලීසිය, බළන්ගොඩ ප්‍රාදේශීය සභාව, විදුලිබල මණ්ඩලය, සබරගමුව පලාත් සභාව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, රත්නපුර දිස්ත්‍රික් ලේකම් පළාත් ආණ්ඩුකාර ඇතුලු   සියලුම රාජ්‍ය ආයතන  සිය නිල සීමාවන්ගෙන් ඔබ්බට ගොස් මෙම භූමියේ සංවර්ධනය සඳහා අවශ්‍ය දායකත්වය උපරිම ධාරිතාවයෙන් ලබා දෙති.

ලක්දිව සතර දිග්භායේම පින්වත්හු දෑත් දිගහරිති. විවිධ උපකාර කරති. බළන්ගොඩ හෝප්වෙල් තේ කර්මාන්තශාලාවේ අධිපතිවරයා ලක්ෂ 50 ක මුදලක් මෙම සංවර්ධන කටයුත්තට පුද කළ අතර ගඩොල් කැටයේ සිට සිමෙන්ති මිටිය දක්වාත්,  ලක්ෂ ගණනනින් දායක වන්නට දෙස් විදෙස් පින්කැමැත්තෝ වෙති. කුඩා දරාවාගේ පටන් බාල මහලු තරුණ සියලුදෙනා ශ්‍රමයෙන් දායක වීමට නන්දෙසින් පැමිණෙති.

අක්කර 84 ක් පමණ  පුරා විහිදෙන භූමිභාගයක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ, වතුරුකුඹුරේ ධම්මරතන හිමියන්ගේ දැක්ම අනුව ඉදිවන විහාර මන්දිර අතර අසදිසි සුගත මහා සෑය අඩි 130 ක් උසින් යුතු, වට ප්‍රමාණය අඩි 245 ක් වන ලක්ෂ පහක ගඩොලින් නිර්මිත රත්නපුර දිස්ත්‍රික්යේ විශාලම චෛත්‍යය වනු ඇත. මෙම චෛත්‍ය ඉදිකිරීම පූර්ණ මූල්‍ය දායකත්වය විශ් පෞද්ගලික රෝහල් අධිපතියුවල ගෙනි.

උවැසි උවැසියන් 2000 ක් සඳහා බණ භාවනා කටයුතු වෙනුවෙන් තනන දම්සභා මණ්ඩපය සඳහා අඩි 75 ක් පළළ, දිගින් අඩි 200 ක් වූ භූමියක් වෙන්ව ඇත. මෙයද ලංකාවේ විශාලම දම්සභා මණ්ඩපය වන බව සඳහන් කරයි. සංඝාවාසය ඉදිකිරීමට බැතිබර පූර්ණ දායකත්වය වත්මන් හමුදාපති ශවේන්දු සිල්වා මහතාගෙනි.

මෙහි ඉදිවන  අනෙකුත් විහාර අතර ධාතු මන්දිරයද  සම්බුද්ධ ප්‍රතිමාවහන්සේද විශේෂ ස්ථානයක් ගනියි. මෙතෙක් කූරගල රැක ගැනීම වෙනුවෙන් ඒදා මෙදාතුර  ඇප කැපවුනු සියලු දෙනා  සිහිපත් කරනු වස් භූමිය ද්වාරය අබියස ඉදිවන අඩි 30 උස සිංහ ප්‍රතිරූපයකි.

ධම්මරතන හිමියන් කූරගලට එවු සමන් දෙවියන් වෙනුවෙන් දේවප්‍රතිමාව තැනෙන්නේ ලංකාවේ උසම සමන් දේවප්‍රතිමාව වශයෙනි.

වන ලැහැබක්ව පැවති පින්බිම අද එකම වැඩ බිමකි. එකල කිලෝමීටරයක් පමණ තන්ජන් තැන්නේ සිට පයින් යායුතු වුවත් අද වාහනයකින් භූමිය ආසන්නයට යා හැකිය.  ඇවිදගත නොහැකි මහළු අයෙකුට වුව වැඳපුදා ගත හැකිසේ ඉතා කෙටිකළකින් එහි ළඟාවිය හැකි පරිදි මාවත් කාර්පට් අතුරා පහසුකොට ඇත. මෙම ප්‍රති නිර්මාණය තුළ කල්තොට ජපනපදයේ ආර්ථික හා සමාජයීය පුනරුදයට මහත් පිටිවහළක් සිදුවීම ජන ජීවිතයේ සුඛවිහරණය පිණිස හේතුවීම පැසසිය යුතුමය.

ගමේ ඇති නෙල්ලි ගෙඩියට, ගඩා ගෙඩියට, දිවුල් ගෙඩියට, කෙසෙල් ගෙඩියට අනාගතයේ කලක් යනු ඇත. වැවේ, විලේ ඇති මල් බුදුපුදට යද්දී ගැමියාගේ අතට මිටට රුපියල් කිහිපයක් වැටෙනු ඇත.  අවට ජනයාගේ ආර්ථිකයට සවියක් වන්නට වැඳුම් පිදුම් කරන්නට එන පිරිසට ගමේ අහරකින්  කහට කෝප්පයක් සපුරා දීමෙන් හැකිවනු ඇත.

අවට බොදු හා ඉස්ලාමීය  මිශ්‍ර ජනතාවක් සිටින නමුත් ඔවුන් එකිනෙකා කෙරෙහි තිබූ කුකුස පහවී  සමගිය වැඩෙන්ට දළුලන්නට පටන්ගෙන ඇත. ධම්මරතන හිමිගේ මෙහෙය වීමෙන් පසුගියදා හිඟුරෙආර බෝධිරාජ පදනමේ රන්න කෙත්බිම් අස්වැන්නෙන්  ඕමල්පේ සෝභිත හිමියන්ගේ අනුශාසනා පරිදි කූරගල අඩුආදායම් ලාභීන්ට භේදයකින් තොරව වියළි ආහාර බෙදදීම සිදුකෙරුණි.

ධම්මරතන හිමි ජන්මදින පින්කම ප්‍රදේශයේ මහසඟරුවනට දානමය පින්කමක් වූ අතර සිවිල් ආරක්ෂක බලකායේ පිරිසට වියළි ආහාර ලබාදමද,  පාසල් දරුවන්ට දෘෂ්‍ය ආධාර ලබාදීම තන්ජන්තැන්න විද්‍යාලයට ක්‍රීඩා පිටියක් තනාදීම, ඉස්ලාමීය පවුලකට සතියක කාලයකදී අංගසම්පූර්ණ නිවසක් තනා දීමට උන් වහන්සේ පියවර ගත්හ.

වසර 50 කින් එළියක් නොදුටු මෙම පෙදෙස මාස 3ක් පමණ කාලයක් ගතවන කාර්යයක් වූ  අධිබලැති විදුලිරැහැන් පද්ධතිය බල ගන්වමින් සතියකදී කූරගල ඒකාලෝක කරන්නට හැකිවිය. හඳගිරිය අෂ්ඨඵලබෝධිය ඒකාලෝක කිරීමද ධමමරතන හිමිගේ මහිමයෙන් සිදුවිය. ප්‍රදේශයේ ජනතාවට කෘෂි කටයුතු සිදු කරගැනීමට වැවක් තනාදීමද උන්වහන්සේගේ සමාජ කාරයයන් අතර සුවිශේෂී කටයුතුය.

කූරගල පුදබිමට බස් රථ දෙකක් යෙදවීමද බළන්ගොඩ ඩිපොවෙන් පොරොන්දු වී තිබිණ. එය ඊයේ (23 වැනිදා) සිට ආරම්භ කෙරිණ. පුදබිමට එන වාහන අකර්මන්‍ය වීමකදී  ඩිපෝවේ සහාය ඇතිව ඒවා අලුත්වැඩියා කර දීමේ වැඩපිළිවෙළ තවත් සංකල්පයකි.

විහාර සංකීර්ණය, ධාතුමන්දීරය, පියගැටපෙළ, මංමාවත්, සමන් දෙවිප්‍රතිමාව ආදී මෙකී නොකී සියලු දෑ එකවර පටන්ගෙන වසරක කාලයකදී එකවර අවසන් කෙරෙන ලංකාවේ එකම බෞද්ධ සිද්ධස්ථානය වනුයේ මෙය බව උන්වහන්සේ පවසති.

සෑය අබියසට අඩි 1000 ක් පමණ ගල්-වැලි-ගඩොල් ගෙන යායුතුව තිබූ අතර පියවර ඔසවා අවිදගත හැකි කුඩා දරුවා පවා තම පමණින් ගඩොල බැගින් ගෙනයනු දැකිය හැකිවිය. ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකීය හිතවතුන් පිරිසක් එකවර ගඩොල් 65 ක් පමණ ශෛල මස්තකයට ගෙනයාහැකි යාන්ත්‍රක උපකරණයක් ලබාදීම වැඩ පහසු කරවන්නකි.

යුදහමුදා ඉංජිනේරු බලකායේ පිරිස් සිවිල් ආරක්ෂ භටයින් 35 දෙනෙක් මෙම ඉදිකිරීම් කාර්යයට උරදෙති. මෙහි ඉදිකිරීම පුරාවිද්‍යාභූමිය තුළ සිදුවන්නේ පුරාවිද්‍යා අධීක්ෂණය යටතේ වන අතර කිසිදු කැණීමක් හෝ ස්වභාවික පරිසරයට භූමියට හානි නොවන අයුරින් ගල්තලා උඩ අවශ්‍ය ඉදිකිරීම් ක්‍රරමවේදයන්ට අනුවය.

ධම්රතන හිමියෝ කුඩා බහාලුම් පෙට්ටියක් තම ආවාසය කරගිනිමින් කාර්යයන් මෙහෙයවති. විටෙක ගඩොල් කූඩයක් හිසමත තබාගෙන යති. විටෙක එක ගල් තලාවක සිට අනෙත් ගල්තලාවේ සිටින අයකුට  අණ දෙති. සැබැවින්ම උන් වහන්සේ පුදුම සහගතය.

ආණ්ඩුකාරවරයාට වුව කීමට ඇති දෙය නොපැකිළව කියති. ඇතැම් ඉහළ නායකයන්ගෙන් කූරගලට සිදුවුනු අකටයුතුකම් ගැන විවෘතව  හා දැඩිව සිටිමින් කිය යුත්ත එලෙසින්ම කියති.

උන් වහන්සේ සිය මෑණීයන් හා පියාණන් ආශිර්වාදය ගණිමින් ඔවුන් සෑම කටයුත්තකට සයභාගීකරවා ගනිති. ධම්මරතනහිමියෝ සිය මෑණියන්ට අමතරව ආදරයෙන් අමතන තවත් අම්මා කෙනෙකි. උනවහන්සේ ඇය අමතන්නේ නාවල අම්මා නමිනි. ඇය මෙම කටයුතුවලට නිබඳව දායකවන නාවල කුෂන් අධීපතිවරයාගේ බිරිඳය.

බළන්ගොඩ සමාජ සංවර්ධන පදනමේ අධ්‍යක්ෂ ඉඹුල්පේ විජිතවංශ හිමියන් පවසන්නේ වසර 700 ක් පමණ පැරණි සංඛපාල, සෝමාවතී පුදබිම  , මිහින්තලය වැනි ස්ථාන කාලයක් කැළෑවෙන් වැසී ගොස් අවසන එම ස්ථානයන්හි  පන්සලක් තැනීම හැර වෙනත් සංවර්ධනයක් නොවූ බවයි. අමරපුර ශ්‍රී සද්ධම්මවංශික මහා නිකායේ රාස්සගල පාර්ශවයේ මහා නායක හිමියන් පැවසුවේ ධම්මරතන හිමියන් 35 වැනි ජන්මදින පින්කමේදී වසර 70 කවැඩි වයසක වැඩකොටසක් කර ඇතිබවයි. මෙවන් විකුම් පෑ හැකි අය බිහිවන්නේ කලාතුරකින් බවද පැවසූහ.

බෞද්ධ ‌ෙඑතිහාසික විටිනාකමෙන් ඔබ්බට ගොස් පරිසරය සුන්දරත්වය විඳින්නට හැකි මනරම් තෝතැන්නක් වන බව නම් නොකියා සිටිය නොහැකිය. ඉතා කර්කශ ශුෂ්ක භුමියක පිහිටියත් ඇතැම් තැන් සිසිළය. සෙවනය. ගල් තලාව දිවා කාලයේ රත්වන හෙයින් තරමක් නොව බොහෝ සෙයින් අසීරුවනු ඇත.

කූරගලට පිවිසිය හැකි මාර්ග කීපයකි. තණමල්විල දෙසින් කල්තොට හරහා පැමිණිය හැකි අතර පහසු මාර්ගයක බළන්ගොඩට පැමිණ ඉන් කිලෝමීටර 22 ක් ගිය පසු භූමියට පිවිසිය හැකිය.

බෙලිහුල්ඔය  විවේකයකින් පසුව ඔබ කුරගල යාමට අදහස් කරන්නේ නම්  පඹහින්න මං සන්ධියෙන් කුඹල්ගම මාර්ගයේ විත් සමනල වැව්බැම්ම  පෙනෙන මානයෙන් ඇති   මාර්ගයේ රජවක හරහා කල්තොට දෙසට ගමන්කර පිවිසිය හැකිය.  මෙම මාර්ගය ඉතා සුන්දර,  නිස්කලංක, වාහන දුමින් තොර සමනල රක්ෂිතය මැදින් වැටුණ මාර්ගයක් වන අතර ළය පුරා පිවිතුරු හුස්මක් ගෙන චිත්ත සුවය  විඳිය හැකිය.  එසේ වුවත් පස්වරු 6.00 න් පසු මෙම මාර්ගයේ ගමන එතරම් සුදුසු නොවන්නේ වනාන්තරයට අවේණික ඇත්තන්ගේ වාස භූමියක් වන බැවිනි.

සවස් කාලයේ  අව්ව බැසගිය පසු  අක්කර 80 ක් පුරා ඇති බිමෙහි ඉදිවන  විහාර සංකීර්ණය ශාන්තව පවතිනු ඇත.

එක් පසක ඇති බැලුම්ගල සැතපුම් ගණනාවක ඉමක් නැති ඉසව්වක සිරි දැකිය හැකිය. චෛත්‍ය දෙසින් සිට උතුරට නන්පේරියල් කඳුවළලලත් ඊසාන දිග හපුතලේ නගරය ඇතුලු මොනරාගල, බදුල්ල ඉසව්වත් නැගෙනහිරට කල්තොට බුදුගල තණමල්විල හම්බන්තොට දිසාවේ කොටසක්ද, බස්නාහිරට උඩවලව ඇඹිලිපිටිය හා වයඹ දෙසට කපුගල  රක්වාන පෙදෙසත් වශයෙන ඉමක් නොපෙනෙන ගම් දනව් කෙත්වතු යායක්, තැන තැන ඈතින් දිස්වන කුඩා වැව් හා උඩවලව ජලාශයේ වපසරියද ඔබේ නෙතු පැහැරගනු ඇත.

වසරක් තුළ, එකවර පටන්ගෙන එක්වර අවසන් කරන, ලංකාවෙහි විහාර සංකීර්ණයක  වැඩ නිමකරමින් සමාජ ජනජීවිතය භෞතික අධ්‍යාත්මිකගුණයන්  ඉහළට ගෙන ඒමත් ආගමික සහජීවනය සහිත පින් බිමක උරුමට සැදැහැවතුන්ගේ වන්දනාමානයට භාරකිරීමේ පරම චේතනාව යථාරථයක් කිරීමට ධමමරතන හිමියන්ට දිරිය ශක්තියත් එළඹෙණ 2022 වෙසක් මහේ කූරගල පුදබිමේදී  නිවී සැනසෙන්නට නව දිනක අරනලු  උදාවනතෙක් සැදැහැවත්හු බලා සිටිති.

කූරගල මස්තකය….

 

ඉපැරණි චෛත්‍යය…

 

ඉදිවන අසදිසි සුගත මහා සෑය….

 

වතුරුකුඹුරේ ධම්මරතන හිමි, සිය දෙමව්පියන් සමග….

 

ඉදිකිරීම් කටයුතු සිදුකරන අවස්ථාවන්…

===================================================================

සැකසුම –  බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක

(Courtesy of lankadeepa.lk)

Leave a reply: