ගෙවිඳු කුමාරතුංගට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ දැඩි විරෝධය.

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රජයේ මැති ඇමතිවරුන් දැනුවත් කිරීම සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (ඊයේ)විශේෂ රැස්වීමක් පැවැත්වීය. එහිදී විසිවන සංශෝධනය ගැන පදනම් විරහිත විවේචන ඉදිරිපත් කිරීමට සැරසුණු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංගට ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ දැඩි විරෝධය එල්ල විය.

මන්ත්‍රී හමුවේදි ගෙවිඳු කුමාරතුංග පවසා ඇත්තේ විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවට රජය කළ යුතුව තිබුණේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම බවයි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පසුගිය මහ මැතිවරණයේදී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන බවට සිය පක්ෂය රටේ ජනතාවට පොරොන්දු වූ බව ප්‍රකාශ කළ ද ගෙවිඳු කුමාරතුංග සිය අදහස වෙනස් කර ගෙන නැත. එම නිසා ජනාධිපතිවරයා දැඩි ලෙස පවසා ඇත්තේ තමන්ගේ වැඩි වගකීමක් ගත්තේ ජාතික ලැයිස්තුවෙන් පත් වන ආධුනික මන්ත්‍රීවරුන් ගැන නොව මහජන ඡන්දයෙන් පත්වන මන්ත්‍රීවරුන් සම්බන්දයෙන් බවයි.

දහනම වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුත්තේ ජනාධිපතිවරයා ලෙස තමන් බලයට පත්කළ ජනතාවට පොරොන්දු වූ වැඩ කොටස ඉටු කිරීමට බව ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කර තිබේ .තමන් හල්දුම්මුල්ල ට ගොස් ජනතාව වෙනුවෙන් කිසියම් සේවාවක් ඉටුකරන ලෙස රජයේ නිලධාරියෙකුට ආයතන සංග්‍රහයේ සඳහන් ආකාරයට දැනුම් දුන් විට එය ඉටු කිරීමට චක්‍ර ලේඛනයක් අවශ්‍ය යැයි එම නිලධාරියා තමන්ට පැවැසූ බවද එහිදී ජනාධිපතිවරයා සිහිපත් කළේය.ජනතාව බලයට පත් කළ විධායක ජනාධිපතිවරයාට ජනතාවට සේවය කිරීමට පූර්ණ බලතල අවශ්‍ය යැයි ප්‍රකාශ කරන්නේ එම නිසා බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

කොතරම් කරුණු පැහැදිලි කර දුන්නද තමන්ගේ මතය වෙනස් කිරීමට සූදානම් නොවුණු ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයාට අවසානයේ මන්ත්‍රී කන්ඩායමේ පසු පෙළ මන්ත්‍රීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. ජේෂ්ඨ මැති ඇමැතිවරුද මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය මතය ඉදිරිපත් කළා විනා කිසිදු විරෝධයක් පළ කළේ නැත.ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාම පාහේ සහභාගි වූ ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අවසානයේ පැමිණ සිටි සියලු මැති ඇමැතිවරුන් ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට පක්ෂව ඡන්දය දීමට එකඟ වූ බවද වාර්තා වෙයි.

Leave a reply: