ජනාධිපති මාධ්‍ය අංශයේ වංචා දූෂණ ගැන පොලිස් පරීක්ෂණ

යහපාලන ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වූ ජනාධිපති මාධ්‍ය ඒකකයේ උපකරණ අතුරුදන් වීම ඇතුළු වංචා දූෂණ ක්‍රියා ගණනාවක් ගැන පොලිස් පරීක්ෂණයක් ආරම්භ වී තිබේ.

හිටපු ජනාධිපති සිරිසේන මහතා ගේ පාලනය අවසන් වී වත්මන් රජයට එහි පාලනය බාර දෙන අවස්ථාවේ කාර්‍යාලයේ පැවති දුරකතන පොළොවේ ගසා කුඩු කිරීම සම්බන්ධව, දුරකතන මාර්ග වලට හානි කිරීම, එකල සිටි මාධ්‍ය අංශ ප්‍රධානියෙකුගේ අනුදැනුම මත සිදුව ඇතැයි චෝදනා එල්ල වී තිබේ. විශේෂයෙන් වෙබ් පරිගණක හා ෆේස් බුක් මෙහෙයුම් සිදු කළ මාධ්‍ය ප්‍රධානියකු ජනාධිපති කාර්‍යාලයට අයත් ලැප්ටොප් පරිගණක 70ක් රැගෙන ගොස් ඇතැයි චෝදනා එල්ල වී තිබේ. ඔහු ඔහුගේ නිල රාජකාරිය වශයෙන් එකල සිදු කර ඇත්තේ ජනාධිපතිවරණයට තරග කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ පොහොට්ටුවේ ප්‍රධානින්ට මඩ ප්‍රහාර එල්ල කිරීමයි. ඔහු පුද්ගලික රූපවාහිනී නාලිකාවකින් ජනාධිපති කාර්‍යාලයට අනුයුක්ත කළ තැනැත්තෙකි. මොහු ව්‍යාජ නම්වලින් වෙබ් අඩවි පවත්වාගෙන යාම සම්බන්ධවද නම් දැරුවෙකු වන අතර වත්මන් රජයට එරෙහිව මඩ ගැසීම සදහා පසුගිය සතියේ සිට නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශයේ කිහිප දෙනෙකුට පමණක් පිවිසිය හැකි විශේෂ කුටියක් සකස් කර තිබූ අතර එහි සිදුවූ රාජකාරි කටයුතු හා පැවති උපකරණ සම්බන්ධව විශේෂ විගණනයක් ආරම්භ කර ඇත. මාධ්‍ය අංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු පාලනය මාරු වන අවස්ථාවේ රථ වාහන ගණනාවකින් එහි තිබූ ඇතැම් උපකරණ රැගෙන ගොස් ඇතැයි ද චෝදනා නැගී තිබේ. මේ සියල්ල ගැන පොලිස් පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන් ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති කාර්‍යාල බලධරයෝ පොලීසියට උපදෙස් දී තිබේ.

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page