ජීවන අරගලයට උර දුන් හෙළයේ කවියෝ

එලෙසින් පටන් ගෙන ජනතාව වසඟ කළ සහ අවදි කළ ඒ පැහැදිලි, ගැඹුරු හඬ දැන් දශක තුනක පමණ කාලයක පටන් අප කිසිවකුටත් නෑසේ.

රටේ කොතැනක හෝ සිදු වූ ස්වාභාවික ආපදාවක්, මිනිමැරුමක් හෝ එවැනි වෙනත් ඛේදවාචකයක් නැත හොත් දේශපාලනික හෝ සමාජීය විපර්යාසයක් පිළිබඳව සවිස්තරාත්මක තතු කලකට පෙර රටතොට හරහා රැගෙන ගියේ කවි කොළකාරයා ය. දිනපතා ජීවිතයට සමීපව සිටින පාන්කාරයා, කිරි කාරයා, මාළුකාරයා පමණට ම සතිපතා මුණ ගැසෙන කවිකොළකාරයා ද අපේ අතීත පරම්පරාවලට අතිශය වැදගත් පුද්ගලයෙක් විය.

සති අග පොළේ නා ගසක් හෝ නුග ගසක් යට ජාතික ඇඳුමෙන් සැරසීගෙන කවි කොළ මිටිය කිහිල්ලේ රුවාගෙන ඔහු මිහිරට ගැයුවේය. ඔහුගේ කටහඬ හැඟුම්බර ය. ගාම්භීර ය. බොහෝ ගැහැනු ඒ කටහඬ අසා සිටියේ දෑසේ කඳුළු පිස දමමිනි. ශත දහයට, පහළොවට මිල කොට ඇති කවි කොළය විකිණී හමාර වූයේ උණු කැවුම් ගානට ය.

ශත දහය ගණනේ එකල එක් කවි කොළකාරයෙක් රුපියල් ලක්ෂයක කවි කොළ අලෙවි කළ බවක් ද කියැවේ.

ඈත අතීතයේ පටන් හෙළයා ගද්‍ය සාහිත්‍යයටත් වඩා සමීපව සිටියේ පද්‍ය සාහිත්‍යයට යන වග පැහැදිලි ය. සරල සිව් පද ජන කවි ඔවුන්ගේ ජීවිත සමඟ නිරන්තරව ම බැඳී සිටියේය. ඒ බව අද අප අසන කියවන දහස් සංඛ්‍යාත වූ විවිධාකාරයේ ජන කවි වලින් ම සනාථ වේ.

සාමාන්‍යයෙන් කවි කොළයක් මඟින් ගායනා වූයේ ජන සාහිත්‍යයෙහි එන සවුදම් කවි ආරට ලියැවුණු කවි පන්තියකි. සවුදම් යනු හඬ නඟා ගායනා කෙරෙන වර්ණනාවකි.

පිළිවෙත කරමින් දුම් අල්ලන විට

ළමයා හට සිහි නැති වූවයි…

දෙවියනි, ඒ අසරණ දරුවාගේ

දිව ඇදිලා එළියට ආවයි…

නිදහන ගැනුමට ගිය ඒ පිරිසයි

පේනකාරියයි , ඇගෙ සැමියයි…

මේ පිළිබඳ කටඋත්තර ගැනුමට

කැඳවූ පොලිසිය බදුරලියයි…

ඒ 60 දශකයේදී බොහෝ සිත් සසල කළ සිදුවීමකට අදාළව ලියැවුණු කවි කොළයක තිබූ එක් කවියකි.

මිහිරි කවි ගායනාවක් ඇසීමෙන් ම යමෙකුගේ ජීවිතයේ ඉරණම වෙනස් විය නො හැකිවා නොවේ.

කිසිදා විවාහ නොවූ මගේ ඥාති නැන්දණියක සිටියාය. රම්‍යලතා නම් වූ ඇය ඉතා රුවැති ය. ගුණ යහපත් ය. බොහෝ තරුණයන් ඇගේ ඇසුර පතා ආවද ඒ කිසිවකු සමඟ හෝ සබඳතාවක් ගොඩනඟා ගන්නට ඇය මැළි වූවාය.

ඇගේ මව්පියෝ ඇය වෙනුවෙන් නි‍ෙවසට මනාලයින් ගණනාවක් කැඳවාගෙන ආහ. ඇය ඒ සෑම අයකුගේ ම කුමක් හෝ අඩුපාඩුවක් දකිමින් විවාහය මඟ හැරියාය.

“ඇයි නැන්ද ඒ කාටවත් ම කැමති නොවුණෙ?”

කලක සිට මසිත තුළ පැවැති කුතුහලයක් සංසිඳවාගනු පිණිස මම දිනක් ඇගෙන් ඇසුවෙමි.

ඇය මා හා පැවසුවේ අපූරු කතාවකි.

පාසල් වියේදී ඇය අසල්වැසි ගමක තරුණයකු සමඟ පෙමින් බැඳී සිට ඇත. ඇගේ පියා ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධතාවට එකහෙළා ම විරුද්ධත්වය ප්‍රකාශ කොට තිබිණි. ඒ ඔහුගේ දුප්පත්කම නිසාම ය.

“ඒ මිනිස්සුන්ට ඉන්ට හිටින්ට හරි හමන් තැනක් වත් තියෙනවද? මං කැමති නෑ රම්‍යලතා දුක් විඳින හැටි බල බලා ඉන්ඩ.”

ඇගේ පියා එකී සම්බන්ධයට තදින් ම එරෙහි වී ඇත්තේ එසේ පවසමිනි.

“අපේ මාමා කෙනෙක් ඉන්නවා ඇලහැර. එයා එහෙ මැණික් ගරනවා. එයා අපිට උදවු කරාවි. ”

දිනක් තරුණයා ගෙන ආ ඒ යෝජනාවට අනුව ඔවුන් දෙදෙනා කතිකා කොටගෙන ඇත්තේ නිවෙස් වලින් පලා ගොස් හොර රහසේ විවාහ වන්නටය.

එවකට රම්‍යලතා නැන්දා විසි වියැති හිරිමල් තරුණියකි. ඇය නි‍ෙවසින් පිටව ඇත්තේ ඉරිදා පොළට යන බවක් පවසමිනි. ඉරිදා පොළ පැවතියේ බස් නැවතුම්පොළට යාබදව ය.

ඉරිදා පොළ භූමියෙහි වූ විශාල කොට්ටම්බා ගස පාමුල මහ සෙනඟක් රැස්ව සිටියහ. පොළේ කලි කලහය අබිබවමින් මතු වූයේ කවි කොළකාරයකුගේ හැඟුම්බර කට හඬකි. බොහෝ අය ඒ හඬට සවන් දී සිටියේ වශී වූවා සේ ය.

එය ළය උණු වී කඩා හැලෙනා කඳුළු කතාවකි. මව්පියන් අත හැර තරුණයකු හා පලා ගිය තරුණියක ඔහුගේ අඩන්තේට්ටම් ඉවසාගත නොහී සිය දිවි නසාගත් තරුණියක පිළිබඳ කවි කතාවකි. දියණිය අහිමි වූ ශෝකයෙන් ඇයගේ මව්පියන් වලප්නා කවිය ඇසූවන්ගේ දෑසට කඳුළු මතු කළේය.

“ඒ කවි ටික අහද්දි මට උන් හිටි තැන් අමතක වුණා. මං ඊළඟ බස් එකේ නැගල ආපහු ගෙදර ආවා.

ඒ ඇවිල්ල හීන් සැරෙන් මේසෙ උඩ ලියා තියල ගිය ලියුම අරන් ඉරා දැම්ම.

ඉන් පස්සෙ මට වෙන කෙනෙක් කසාද බඳින්ඩ හිතුණෙ ම නෑ.”

තරුණයා ඊළඟ නගරයෙහි බස් නැවතුම්පොළට වී හෝරා ගණනක් බලා සිට ඇත. එදා ආපසු නි‍ෙවසට නොගිය ඔහු ඇළහැර බලා තනිවම පිටත්ව ගොස් තිබේ.

“එයා මාමත් එක්ක මැණික් ගරලා පස්සෙ කාලෙක ඒ පළාතෙම කඩයක් දාලා. ඉන්පස්සෙ ඒ පැත්තෙ ම ගෑනු ළමයෙක් කසාඳ බැන්දලු.”.

රම්‍යලතා නැන්දා ගේ වචන තුළ ඔහු පිළිබඳව කිසිදු කෝපයක් හෝ අමනාපයක පැවතියේ නැත.

“ඒ සිද්ධිය වෙලා දැන් අවුරුදු තිස් ගණනක්. ඒත් අදටත් එයා දන්නෙ නෑ මං එදා මඟට ගිහින් ආපු බවක්වත්. අපේ තාත්තගෙ මළගමට එයා හදිසියෙ ඇවිත් ගියා. ඒත් එදා වුණත් මට ඒ විස්තරේ කියාගන්ඩ බැරි වුණා.”

ඇය කතා කළේ ඇගේ ශෝකය සදාකාලයට ම සිත තුළ ම සඟවාගෙන ය.

සුනිලා විජේසිංහ

(Courtesy of dinamina.lk)

Leave a reply: