ජූලි වර්ජනයේ කතාව මුල සිට අගට

බොහෝ අයට මෙන්ම ජනමාධ්‍යවලට පවා ජූලි මාසය දැන් නිකම්ම නිකං මාසයකි. දවස් තිස් එකකි. නව පරපුරේ කිසිවකු ඒ ගැන අල්ප මාත්‍රයක් හෝ නොදන්නා තරම්ය. ඔවුනට ඉන් ලැබෙන පාඩම හා අත්දැකීම් ගැන කියාදෙන්නට කිසිවකුට ඕනෑකමක් නැත. 1983 කළු ජුලිය, 1980 ජූලි වැඩ වර්ජනය පිළිබඳව ඒ දිනවලවත් අඩුම ගණනේ කෙටි මතක සටහනකින් හෝ මතක් කරන්නට අමතක වූයේ ඒ නිසා විය යුතුය.

1980 ජූලි වර්ජනය යනු සාමාන්‍යයෙන් අපට හුරු පුරුදු වැඩ කරන ජනතාවගේ නැඟී සිටීමක් නොවන බව අප මතක තබා ගත යුතුය. එය නිර්වචනය කළ යුතු වන්නේ කෙසේ ද යන්න විමසා බැලිය යුතු වේ. රට හා ජාතිය වෙනුවෙන් ද, තම අයිතීන් වෙනුවෙන් ද, ප්‍රචණ්ඩ හා දැඩි මර්දනකාරී මෙන්ම දේශීය හා විදේශීය ධනපති බලවේග සහිත පාලනයකට එරෙහිව නැගී සිටීමක් ලෙස එය නිර්වචනය කළ හැකිය. ලෙයින්, කඳුලින් හා ජීවිත ගණනාවක් අහිමි කරමින් වර්ජනය නිමා වන්නේ එම මර්දනයේ දැඩි බව හේතුවෙනි.

දේශීය ආර්ථික හා සමාජ විප්ලවය

1956 න් ඇරඹෙන ශ්‍රී ලාංකික දේශීය ආර්ථික හා සමාජ විප්ලවය විවිධ හැලහැප්පීම් මැද වුවද 1970 දශකය අවසානය දක්වා ඉදිරියට යනු දක්නට ලැබේ. නිවාස සීමා පනත, ඉඩම් සීමාව, කුඹුරු පනත, නිදහස් අධ්‍යාපනය පුළුල් වීම, සිංහලය රාජ්‍ය භාෂාව වීම, පැය අටේ සේවය, කම්කරුවන් සඳහා වෘත්තීය සමිති හරහා සංවිධානය වීමේ අයිතිය ආදී ලෙස එය විවිධ පැතිකඩ ඔස්සේ ව්‍යාප්ත වෙන්නට විය. අනෙක් අතින් ප්‍රතිපත්තියට සමගාමීව කඩදාසි, ටයර්, වානේ වේටෙක්ස්, පේෂකර්මාන්ත ආදී කර්මාන්ත සමාජවාදී රාජ්‍යයන් හා ඇති කර ගත් සබඳතා මඟින් ජාතියට හිමි විය. සිරිමාවෝ බණ්ඩාරනායක සමගි පෙරමුණු රජය හා වාමාංශික දේශපාලන නායකයන් අතර ඇතිවූ ගැටුම හා යම් යම් ආර්ථික උපාය මාර්ගවල අඩුලුහුඩුකම් ප්‍රබල ලෙස හුවා දැක්වීම 1977 ජේ.ආර්.ජයවර්ධනගේ විශිෂ්ට ජයග්‍රහණයට හේතු විය. 1977 ජූලි මැතිවරණය යනු දේශීය හා විදේශීය බලවේග සමඟ එක්ව දියත් කරන ලද අතිශය කූට සටකපට දේශපාලන ව්‍යායාමයක ප්‍රතිළුලයක් ලෙස විස්තර කිරීම නිවැරදිය. එමඟින් පාර්ලිමේන්තුවේ 5/6 ක දැවැන්ත බලයක් හිමිකර ගත්තේය. එහෙත් අප සිහි තබා ගත යුත්තේ 1977 මැතිවරණය පැවත්වූයේ සමානුපාතික මැතිවරණ කමයට නොව කේවල ක්‍රමයට බවය. යම් හෙයකින් 1977 මැතිවරණය වර්තමානයේ පැවැත්වෙන සමානුපාත ක්‍රමයට පැවැත්වූයේ නම් ජේ.ආර්.ආණ්ඩුවට ලැබෙන්නේ යන්තම් බහුතරයක පමණ බලයක් ලැබෙන ආණ්ඩුවකි. එය අඩුම ගණනේ 2/3 බලයක් හෝ නොලැබෙන තත්ත්වයකි.

ඒකාධිපති ෆැසිට්වාදී පාලනයක්

එතැන් සිට පුරා වසර 17 ක් පාලනය ප්‍රචණ්ඩත්වය, රාජ්‍ය මැර බලය මුදා හැරීම, නීතිය හා අධිකරණයට සෘජු අභියෝග කිරීම වැනි ප්‍රජාතන්ත්‍රවාදී නොවන ඒකාධිපති ෆැසිට්වාදී පාලනයක ස්වරූපයක් ගනී. 1977 දී විවෘත ආර්ථිකය හඳුන්වා දුන් ජේ.ආර්. 1978 දී විධායක ජනාධිපති ක්‍රමය රටට ආදේශ කළේ ව්‍යවස්ථාව තමාට අවශ්‍ය පරිදි අත්තනෝමතික ලෙස වෙනස් කරමින්ය. මැතිවරණ ක්‍රමය ද තමන්ට වාසි ලෙස සංශෝධනය කර ගත්තා පමණක් නොව ජනමත විචාරණය වැනි අසාධාරණ වූ දේශපාලන ප්‍රයෝග මඟින් ජේ.ආර්.ආණ්ඩුව විසින් තමන්ගේ පාලන කාලය වසර හයකින් දීර්ඝ කර ගන්නා ලදී. ඩොලරය හමුවේ රුපියල විශාල වශයෙන් බාල්දු කළේය. ආනයන සීමා සම්පූර්ණයෙන්ම ඉවත් කර පූර්ණ නිදහස් ආනයන ප්‍රතිපත්තිය ඇති කළේය. රාජ්‍ය වතු හා කර්මාන්ත ශාලා නොවටිනා තක්සේරු මත පෞද්ගලීකරණය හෝ බදු දීම් මඟින් තම හිතවතුනට පැවරූ රජය ජනසතු ප්‍රතිපත්තිය බැහැර කරමින් පෞද්ගලික අංශයේ ආර්ථික ආධිපත්‍යයට ප්‍රබල ලෙස උපකාර කළේය.

අළු යට ගිනි මෙන් කම්කරු පන්තිය ද රටේ ජනතාව ද නොසන්සුන් වන්නට පටන් ගත්තේ මේ සමඟය. සීනි හා හාල් සලාකය කපා දැමීමට යෝජනා ගෙන එන ලදී. නව ලිබරල් ආර්ථිකය යටතේ රජයට මෙන්ම පෞද්ගලික ව්‍යාපාරිකයන්ට ද තවදුරටත් කම්කරුවන්ට හිමිව තිබෙන සහන දීම, නිවාඩු, වෘත්තිය සමිති ව්‍යාපාර කිසිසේත් ගැලපීමට නොහැකි විය. එක අතකින් සේවකයන්ගේ වැටුප් හා දීමනා වරප්‍රසාද කපා හැරීම ද, වෘත්තිය සමිති ව්‍යාපාරවලට බාධා කිරීම ද මෙන්ම කම්කරුවන් අනියම් පදනම මත සේවයේ පිහිටුවීම වැනි ක්‍රියා රාජ්‍ය අනුග්‍රහයෙන් හාම්පුතුන් විසින් දිගින් දිගටම ක්‍රියාත්මක කරන ලදී. රැකියාවලින් එළියට දැමීම වැඩි වන්නට විය. ඒ සමඟම රටේ භාණ්ඩ හා සේවා මිළ ගණන් ඉහළ යන්නට විය. විශේෂයෙන්ම රාජ්‍ය අංශයේ එක්සත් ජාතික පක්ෂ වෘත්තිය සමිති තම මැති ඇමතිවරුන්ගේ සහයෙන් විරුද්ධ පක්ෂවල සේවකයන්, වෘත්තිය සමිති නායකයන් දඩයම් කිරීම ජයටම ආරම්භ විය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම පවා විරුද්ධ පක්ෂවල බලය විනාශ කිරීමට ගත් උත්සාහයේ එක් පියවරකි. විවෘත ආර්ථිකය හා නිදහස් ආනයනය නිසා සියලුම දේ පිටරටින් ගලා ඒමෙන් ඉතා සුළු නිෂ්පාදකයාගේ සිට දේශීය කර්මාන්ත, කුඹුරු ගොවිතැන හා අනෙකුත් කෘෂි නිෂ්පාදන ඇතුළු නිෂ්පාදන බිඳ වැටීමෙන් සිය දහස් ගණනක් අතරමං වූහ.

උග්‍ර පීඩනයේ ප්‍රතිඵලයක්

අන්තර්ජාතික මූල්‍ය අරමුදල හා ලෝක බැංකුවේ උපදෙස් හා කොන්දේසි අනුව නව ලිබරල් ආර්ථිකයේ මෙම ක්‍රියාදාමයන් හා තීන්දු තීරණ ද 1980 ජූලි වර්ජනය බිහි වීමට හේතු වූ බව පෙනී යයි. 1980 වර්ජනය සමස්ත කම්කරු ජනතාව හා ජනතාව මත ඇති කළ උග්‍ර පීඩනයේ ප්‍රතිඵලයක් ලෙස විග්‍රහ කිරීම නිවැරදිය. එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති ව්‍යාපාර කටයුතු හැර වෙනත් පක්ෂවල වෘත්තිය සමිති සංවිධාන කටයුතු නතර කිරීමට හෝ දුර්වල කිරීමට කළ හැකි හැම දෙයම ආණ්ඩුව කළ බව පෙනී යයි.

ක්‍රමයෙන් රජයට එරෙහි කම්කරු අරගල දියත් වන්නට වූ අතර, ආණ්ඩුව ඊට පිළිතුරු දුන්නේ රාජ්‍ය මැර බලය එළිපිටම බියක් සැකක් නැතිව මුදා හරිමිනි. 1978 එක් දින බැංකු (ජූලි 20) සංකේත වර්ජනයක් කළ කොළඹ කොටුවේ යෝර්ක් වීදියේදී පැවැත්වුණු අතර, මැරවරයන් පිරිසක් බයිසිකල් චේන් හා පොලු මුගුරුවලින් වර්ජකයන්ට පහර දුන්නේ පොලිසිය බලා සිටියදීය. ඒ වන විට ජේ.ආර්.ගේ ආණ්ඩුව පිහිටුවා වසරකි. එයින් පෙනෙන්නේ වැඩ කරන ජනතාව සතු උද්ඝෝෂණය කිරීමේ අයිතිය පවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ උදහසට ලක් වූ බවය. 1979 දී පරණ පාර්ලිමේන්තුව අසල දී අඳ, ගොළු, බිහිරි අසරණයන්ගේ උද්ඝෝෂණයකට ද මැර ප්‍රහාරයක් එල්ල විය. කැලණිය සරසවියේ ශිෂ්‍ය සංගම් නායකයන්ට හා ක්‍රියාකාරීන්ට පහරදීමට ගිය ආණ්ඩුවේ මැරයකු වන ක්‍රිස්ටෝපර් පහර කෑමකින් මිය ගියේය. ජනාධිපති ජේ.ආර්.එම මැරවරයාගේ අවමඟුලට ද සහභාගී විය. වෘත්තිය සමිති නායකයන්ට ප්‍රහාර එල්ල කර හෝ ඝාතනය කර හෝ වැඩ කරන කම්කරු ජනතාව තම අත යටට ගැනීමට ජේ.ආර්.ආණ්ඩුව හා ඔහුගේ හිතවත් ව්‍යාපාරිකයන් දිගින් දිගටම උත්සාහ ගැනීමේ සිද්ධීන් පිළිබඳ තොරතුරු ගණනාවකි. ආණ්ඩුව විසින් කරන ලද කම්කරු මර්දනය 1980 ජූලි වර්ජනයට පසුබිම මේ අයුරින් ඉබේටම නිර්මාණය කරන ලදී.

වෘත්තිය සමිති දඩයම

1980 ජනවාරි 9 දා ආණ්ඩුවේ මැරවරයන් විසින් වෘත්තිය සංගම් නිලධාරීන් හා මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක් එල්ල කළ බවට තොරතුරු තිබේ. රටේ ජනතාව ගැන අබ මල් රේණුවක් හෝ නොසලකමින් ආණ්ඩුව තවදුරටත් වෘත්තිය සමිති දඩයම ගෙන ගිය බව පෙනේ. රජයේ සේවකයන්ගේ නිවාඩු හරි අඩකින් අඩු කළ යුතු යැයි ජනාධිපති ජයවර්ධන යෝජනා කිරීමත් සමඟ ප්‍රබල උද්ඝෝෂණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය හා ශ්‍රී ලංකා කොමිනියුස්ට් පක්ෂය ඇතුළු පක්ෂවල වෘත්තීය සංගම් සම්මේලනවල සාමාජිකයන් විසින් පවත්වන ලදී. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකට හා ප්‍රබල වෘත්තිය සමිති නායකයකු වන අලෙවි මවුලානාට ද මැර ප්‍රහාරයක් සමඟ පිහි ඇණුමකට මුහුණ දෙන්නට විය. එම උද්ඝෝෂණ ව්‍යාපාරයට සහභාගි වූ රජයේ සේවකයන් නිසා මුළු කොටුවම එකම මිනිස් හිස් ගොඩක් විය.

කම්කරු මර්දනය වැඩි කරන තරමටම තව තවත් වැඩ කරන ජනතාවගේ විරෝධතාවයන් ද ක්‍රමයෙන් වර්ධනය වන බව ආණ්ඩු තේරුම් ගත්තේය. එහෙත් එම එක්සත් ජාතික පක්ෂ රජය හා ජයවර්ධන ජනාධිපතිවරයා ආපස්සට අඩියක් තැබීමට හෝ තම ප්‍රතිපත්ති නැවත සලකා බැලීමට කිසිසේත් කැමති වූ බවක් නොපෙනේ. ඔවුන් උත්සාහ කළේ දේශීය හා විදේශීය ධනපති පංතියේ අවශ්‍යතා මල කඳන් උඩින් හෝ ක්‍රියාත්මක කරන්නටය. 1980 ජූනි 5 වන දා රජයේ සැපයුම් අංශයේ ප්‍රබල වෘත්තිය සමිති නායකයකු වූ සෝමපාල සහෝදරයා ආණ්ඩුවේ මැරයන් අතින් මිය යන්නේ ජේ.ආර්.ආණ්ඩුවේ එම ප්‍රචණ්ඩ මර්දන ප්‍රතිපත්තියට අනූවය. රට පුරා ජාතික විරෝධතා දිනයක් ප්‍රකාශ කර රජයේ මර්දනයට හා ප්‍රතිපත්තිවලට එරෙහි උද්ඝෝෂණ එදින සංවිධානය විය. කොළඹ කොටුවේ රීගල් සිනමා හල ඉදිරිපිට (එදා රජයේ සැපයුම් අංශ ගොඩනැඟිල්ල) උද්ඝෝෂණ පවත්වමින් සිටියදී බයිසිකල් චේන්, යකඩ පොළු, ටියුබ් ලයිට් ගත් මැරයන් පිරිසක් විසින් පැන පහර දෙන ලදී. සෝමපාල මහතාට පහර දී මිලේච්ඡ ලෙස මහ පාරේම මරා දමා තිබුණේ ප්‍රතිකාර සඳහා රෝහලකටවත් ගෙන යන්නට අවස්ථාවක් නොදෙමිනි. එම මැර ප්‍රහාරය මෙහෙය වූයේ එවකට අගලවත්ත ආසනය නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා විසින් බවට පසුව හෙළි විය. එහෙත් ඊට එරෙහිව තබා කිසිදු පහරදීමක් හෝ අඩන්තේට්ටම් බාධා කිරීමකට එරෙහිව පොලිසියේ පිහිටක් පැතීමට හෝ නොහැකි තරමට රාජ්‍ය මැර බලය ශක්තිමත් විය.

එක් දින සංකේත වර්ජනයක්

මීට කලින් 1978 සැප්තැම්බර් 28 දා දිවයින පුරාම රාජ්‍ය හා පෞද්ගලික වැඩ කරන ජනතාවට එක් කර එක් දින සංකේත වර්ජනයක් පැවැත්වීමට තීරණය වී තිබුණි. දින පහකට පමණ පෙර එම දිනය ප්‍රසිද්ධ කරන ලදී. ඉන් කලබල වූ ආණ්ඩුව රජයේ සේවකයන් වර්ජනයට සහභාගී වන්නේ නම් තම කැමැත්තෙන්ම සේවය අතහැර ගියා සේ සැලකෙන බවට නිවේදනයක් නිකුත් කළේය. එය නිකුත් කළේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ චක්‍රලේඛයක් ලෙසය. එම එක්දින සංකේත වර්ජනය සංවිධානය කළේ ඒ වන විට පිහිටුවාගෙන තිබූ වෘත්තිය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් එල්.ඩබ්.පණ්ඩිත එම සම්මේලනයේ කැඳවුම්කරු විය. ඉතා පුළුල් සන්ධානයක් වූ ලංකා වෘත්තිය සමිති එක්සත් ක්‍රියාකාරී කමිටුවේ එවකට ප්‍රධාන පෙළේ රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම වෘත්තිය සමිති නායකයෝ නියෝජනය කළහ. බාල තම්පෝ (වෙළඳ සේවක සංගමය CMU) , ජැක් කොතලාවල, සත්‍යපාල , අලෙවි මවුලානා , හේම විල්බට් (රජයේ ලිපිකරු සේවා සංගම් සභාපති) හා ඒ.ජී.මෙන්ඩිස් ඉන් කිහිප දෙනෙකි. එදා එම කම්කරු සටන්වල හා ජූලි වර්ජනයේ ක්‍රියාකාරී නායකයන් අතර අද වනතෙක් ජීවත්ව සිටින්නේ හේමා විල්බට් මහතා පමණි.

ආණ්ඩුවේ මෙම අනතුරු ඇඟවීම නිසා විශාල ප්‍රමාණයක රාජ්‍ය සේවකයෝ සංකේත වර්ජනයට එක්වීමට අදිමදි කළහ. ඒනිසා වෘත්තිය සංගම් කමිටුව පියවරක් පස්සට ගත්තේය. මන්ද යත් ආණ්ඩුවේ මර්දන පිළිවෙල එතරම්ම දරුණු හෙයිනි. උපක්‍රමයක් ලෙස දින නියමයක් නැතිව කල් දමන ලදී. ඒ වඩාත් සංවිධානාත්මකව රජයට පහර දීමටය. ජූලි 18 වර්ජනය බවට පත්වුවේ ඒ උපක්‍රමික පසු බැස්මයි. එනම් වසර එකහමාරකට පමණ පසුය.

සැබැවින්ම ජූලි වර්ජනය ආරම්භ වූයේ 1980 ජූලි 18 නොවේ. ඊට දින 10 කට පෙර රත්මලානේ දුම්රිය කර්මාන්ත ශාලා සේවකයන්ගෙනි. ඒ වන විට 5000 කට ආසන්න සේවක පිරිසක් වූහ. ආණ්ඩුවේ ජාතික සේවක සංගමය හැර අන් සියලුම සේවකයෝ වර්ජනය ආරම්භ කළහ. දින පහක් හයක් පමණ වර්ජනය ඉදිරියට යද්දී දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් සියලුම සේවකයන් රියැදුරුන්ගේ සිට ගේට්ටු මුරකරු දක්වා ඊට එක්වූහ. මෙය රජය අපේක්ෂා කළ දෙයක් නොවේ. එවකට ජේ.ආර්. රජයේ ප්‍රවාහන ඇමති වූයේ එච්.එම්.මොහොමඩ් මහතායි. වර්ජනය නවතා තමා හා සාකච්ඡාවකට එන ලෙස ඔහු වෘත්තිය සමිති නායකයන්ගෙන් ඉල්ලා සිටියේය. මෙහිදී වැදගත් කරුණ නම් දුම්රිය සේවකයන් වර්ජනය කළේ ඔවුන්ගේ ඉල්ලිම් ඉදිරිපත් කරමින් පමණක් වීමය. දුම්රිය සංගම් නායකයන් වූයේ සත්‍යපාල හා පී.ඒ.එලාරිස් යන මහත්වරුන්ය. අමාත්‍ය මොහොමඩ්ගේ ඉල්ලිම වෘත්තිය සංගම් නායකයෝ ප්‍රතික්ෂේප කළහ.

ජූලි 18 දා මහ වැඩ වර්ජනය මේ අතර ප්‍රකාශයට පත් කරන ලදී. ආණ්ඩුව හදිසි නීතිය පැනවූ අතර, සියලු දෙනාම (වර්ජකයන්) සේවය අතහැර ගියා සේ සලකන බව ගුවන්විදුලියෙන් වරින් වර නිවේදනය විය. මේ අතර මරදාන ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ රැලියක් ඇමතූ දිවංගත ලලිත් ඇතුලත්මුදලි කියා සිටියේ අලියා සෙළ වූවේ තම හොඩ පමණක් බව ද ඒ නිසා ඊළඟට සිදු කරන දේ වර්ජකයන් හා වෘත්තිය සමිති නිලධාරීන් තේරුම් ගත යුතු බව ද ප්‍රකාශ කළේය. වර්ජනය සතියක් පමණ වන විට රටපුරාම ව්‍යාප්ත වූ අතර, රාජ්‍ය සේවයේ කටයුතු දැඩි ලෙස අඩපණ හෝ ඇතැම් අංශ සම්පූර්ණයෙන්ම නතර විය. පෞද්ගලික සමාගම් හා ආයතනවල සේවකයෝ ද එක්වන්නට වූහ. වර්ජනය නිසා සේවයෙන් ඉවත් කර සිටින සැම දෙනාටම සහන අවස්ථාවක් දීමට සූදානම් යැයි ආණ්ඩුව මේ අතර නිවේදනය කළේය.

එනම් තමන් සේවයට නොපැමිණෙයේ වැඩ වර්ජනයට සහභාගී වීම නිසා නොවත වෙනත් සාධාරණ හේතුවක් නිසා බව ප්‍රකාශ කරන්නේ නම් සේවයට වාර්තා කිරීමට ඉඩ දෙන බවය. මේ නිවේදනයෙන් පසු යම් සංඛ්‍යාවක් විවිධ අසනීප හා අනතුරු ආදිය ප්‍රකාශ කරමින් සේවයට යළි ගිය බව වෘත්තිය සමිති නායකයකු වූ හේමා විල්බට් මහතා පවසයි. එහෙත් බරපතළ ලෙස වර්ජනය කඩා කප්පල් කිරීමට ජයවර්ධන ආණ්ඩුව අසමත් වී යැයි ද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි. 

හර්තාල් ව්‍යාපාරයක්

මේ අතර අගෝස්තු 8 දා කොළඹ නගරයේ විශාල හර්තාල් ව්‍යාපාරයක් රජයට එරෙහිව සංවිධානය කිරීමට වෘත්තිය සමිති කමිටුව තීරණය කළ අතර, එම ආරංචිය ආණ්ඩුවට දැන ගැනීමට ලැබුණි. ඒ නිසා කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට හා අවට පොලිස් අශ්වාරෝහක භට හමුදාවක් හා ජන විදින වාහන, කඳුළු ගෑස් හා කැරළි මර්දන කණ්ඩායම් එදින හිමිදිරිය වන විට ස්ථානගත කරන ලදී. අනෙක් පැත්තෙන් වෘත්තිය සංගම් නායකයන් අත්අඩංගුවට ගැනීමට යන බවට ද තොරතුරක් ලැබී තිබුණි. සංගම් නායකයෝ (අලෙවි මවුලානා ද ඊට එක් වූ අයෙකි) රහසේ කොටුවේ දන්නා අඳුනන තැන්වලට රාත්‍රියේ සේන්දු වූහ. 8 වන දා උදෑසන වන විට වර්ජකයෝ ද සටන් පාඨ කියමින් කොටුව දුම්රිය පොළට එන්නට වූහ. පොලිසිය ප්‍රති ප්‍රහාර එල්ල කරමින් පිරිස විසුරුවන්නට තැත් කළ අතර, වර්ජකයෝ විසිරි දිවයන්නට වූහ. ඔවුන් අතට අසු වූ ගල් , ගඩොල්වලින් හා මහ මඟ තිබූ රථවාහන දැන්වීම්, යකඩ කණු ආදියෙන් රථවාහනවලට හා රජයේ ගොඩනැඟිලිවලට පහර දෙන්නට පටන් ගත්තෝය. පිරිසක් ගාලු මුවදොර පැත්තට (පැරැණි පාර්ලිමේන්තුව) යෑමට උත්සාහ ගත් එහෙත් හමුදා භට කණ්ඩායමක් විසින් එය නතර කරන ලදී. වර්ජකයෝ ලේක්හවුස් ආයතනයට පැන කඩා බිඳ දමමින් ගිනි තැබූහ. වර්ජකයෝ කිහිප දෙනෙක්ම පොලිස් අත්අඩංගුවට පත් වූහ.

වර්ජකයෝ සියලු දෙනාවම සේවයෙන් ඉවත් කළ බව රජයේ ගුවන් විදුලියෙන් වරින් වර ප්‍රකාශ කළ අතර, වෘත්තිය සමිති නායකයන්ට බොරැල්ල (ඩී.එස්.සේනායක විදුහල අසල) පැජට් පාරේ පොලිස් විමර්ශන ඒකකයට ගොස් ප්‍රකාශ දෙන ලෙස නියෝග කරන ලදී. එහෙත් සියලුම නායකයන් එහි නොගිය අතර වරින් වර ගොස් කට උත්තර දුන් බව හේම විල්බට් මහතා පවසයි. අත්අඩංගුවට ගැනීමක් සිදුවී නැත.

ඉවත් කළ රජයේ සේවකයන් වෙනුවට ඇමතිවරු විසින් කිසිදු මූලික සුදුසුකම් හෝ නොසලකා තම හිතවතුන් හා තම ආසනවල අය බුරුතු පිටින් බඳවා ගන්නා ලදී. රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාව සිටි මොන්ටේගු ජයවර්ධන හා ගාමණී ජයසූරිය ඉන් ප්‍රමුඛ අය වූහ. මෙසේ නුසුදුසු අය බඳවා ගැනීම නිසා පසු කාලය වන විට ඔවුන් ස්ථිර කිරීම ආදියේදී රාජ්‍ය සේවයේ අර්බුද ගණනාවක් මතු විය. ආණ්ඩුව ගෙන යන මර්දනකාරී ක්‍රියාවන්ට එරෙහිව වෘත්තිය සමිති ක්‍රියාකාරීන් හා වර්ජකයන් කොළඹ මැලේ වීදියේ දින පහක උපවාසයක් කළ අතර, එය දිස්ත්‍රික්ක මට්ටමින් ද සිදු කරන ලදී. එහෙත් ආණ්ඩුව ඒ ගැන තඹදොයිතුවකට හෝ සැලකුවේ නැත. රණසිංහ ප්‍රේමදාස බලයට පත් වූ අතර, ඔහු කළේ වර්ජකයන්ට සාධාරණයක් කරනු වෙනුවට සියලුම වර්ජකයන් බලයෙන්ම විශ්‍රාම යැවීමයි.

වැදගත් තීරණ

1994 බලයට පැමිණි පසු ජූලි වර්ජකයන් වෙනුවෙන් වැදගත් තීරණ ගණනාවක් ගන්නා ලදී. 1995 මැයි 15 සිට සියලුම වර්ජකයන්ට කැමති නම් රැකියාවට යළි පැමිණිය හැකි බවට ගත් තීරණය එකකි. ඔවුන්ට වර්ජනයට එක් වූ දින සිට හිඟ වැටුප් සහිතව වැටුප් ගෙවීමට ද තීරණය විය. වයස් සීමාව අනුව හෝ වෙනත් හේතු මත රැකියාවට ඇතුඵ නොවන්නේ නම් වර්ජනය කළ දිනයේ සිට හිඟ වැටුප් ගෙවා විශ්‍රාම ගැන්වීමට ද තීරණයක් ගන්නා ලදී. එයින් ජූලි වර්ජක ප්‍රශ්නයේ ගැටලු යම් තරමකට ක්‍රමයෙන් විසඳී ගියේය.

80 වර්ෂජන නිමාවන්නේ අතිශය ශෝකී ලෙසය. දරුමල්ලන්ට කන්නට බොන්නට දෙන්නට බැරිකම නිසා වර්ජයෝ විසිපස් දෙනෙක් පමණ දිවි හානි කර ගත්හ. දරු පවුල් කැඩී ගිය අතර, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අතරමං විය. ගෙවල් කුලී ගෙවා ගත නොහැකිව මහමඟට වැටුණහ. නුපුරුදු කුලී වැඩ බර වැඩ කිරීමට ගොස් බරපතළ ලෙස රෝගී හෝ අනතුරට පත් වූ වර්ජකයන් ගැන ඔවුන්ගේ අසරණ වූ පවුල් ගැන ඒ දිනවල නිරන්තර තොරතුරු ගලා ගියේය. ඒ කිසිවකින් කම්පාවට පත් වීමට හෝ වර්ජකයන්ට දඩුවම් සහිතව නැවත රැකියාව දීමට තරම් හෝ 17 වසරක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හෝ පාලකයන්ට හිතක් පපුවක් නොවීය. වැඩ කරන ජනතාව රටට සම්පතකි. එම සම්පතට ද්‍රෝහී වීම තරම් දරුණු අපරාධයක් තවත් ඇත්ද?

80 වර්ජනය යනු දේශපාලන ඕනෑ එපාකම් පිරිමසා ගැන්මට ගත් උත්සාහයක් ලෙස එදා ජයවර්ධන ආණ්ඩුව මෙන්ම ප්‍රේමදාස ද හැඳින්විය. එය සම්පූර්ණ සාවද්‍ය පදනම් විරහිත චෝදනාවක් බව පැහැදිලිය. රුපියල් දහයක් දවසට වැඩි කිරීමට ඉල්ලීම, බඩු මිල පහළ දමන ලෙස ඉල්ලීම, වැඩි වන ජීවන වියදම් ඒකකයට රු. 5/- බැගින් ඉල්ලීම මෙන්ම දේශපාලන පළිගැනීම් නතර කරන ලෙස ඉල්ලීම ආණ්ඩුව පෙරළන සටනක් ද? පෞද්ගලික ආශයේ දහස් ගණනකට පවා රැකියා අහිමි කරන ලදී. 1994 බලයට පත් වූ ආණ්ඩුව මඟින් ඔවුන්ට රුපියල් 25,000/- බැගින් ලබා දෙන ලදී.

අතීතය හා ඉතිහාසය තරම් හොඳ ගුරුවරු තවත් නැතැයි ලෙනින් වරක් පවසා ඇත. ලිහා බැලිය යුතු මල්ල ඔබා බැලිය යුතු නැතැයි අපේ පැරැණි ජනප්‍රවාදයේ කියමනක් තිබේ. මේ කියමන් දෙකම 1980 ජූලි වර්ජනය සම්බන්ධයෙන් කදිමට ගැළපෙතැයි මම විශ්වාස කරමි.

මෙකී ලිපිය සම්පාදනය කිරීමේදී ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලනඥ ඩිව් ගුණසේකර මහතාගෙන් ලැබුණු උපදෙස් ගෞරව පූර්වකව සිහිපත් කරනු කැමැත්තෙමි.

නීතිඥ හරිගුප්ත රෝහණධීර

(Courtesy of dinamina.lk)

Leave a reply: