ටෙලිවිෂන් ගුරුවරයා

කොවිඩ් ලෝ‍ක වසංගතය තුළ අධ්‍යාපනය සම්බන්ධයෙන් නව උපායමාර්ග සෙවීමට සිදු වී ඇත. සෑම රාජ්‍යයක්ම මුහුණ දෙන අභියෝගයක් ලෙස ද එය පෙන්වා දිය හැකිය. පාසල්, විශ්වවිද්‍යාල සේම ළදරු අධ්‍යාපන ආයතන වසා දැමීම රටක අනාගතය පිළිබඳ අඳුරු පෙර නිමිත්තක් සේ සැලැකිය හැකිය. ඇතැම් රටවලට වසර දෙකකට වැඩි කාලයක් ඉහත ආයතන වසා දැමීමට සිදු වී ඇත. මේ නිසා බිලියන ගණනක් ශිෂ්‍ය ප්‍රජාව අතරමං වී සිටිති. ඔවුන්ගේ අනාගතය අපැහැදිලිය. තාක්ෂණය මෙතරම් දියුණු කාලයක අධ්‍යාපනය සඳහා විකල්ප ක්‍රියාමාර්ග ගත නොහැකි ද යන්න සමාජය ඉදිරියේ ඇති ගැටලුවකි. මේ ගැටලුවට එකිනෙක රටවල් විවිධාකාරයෙන් විසැඳුම් සොයන බව පෙනෙයි. ‘ඔන්ලයින්’ හෙවත් මාර්ගගත අධ්‍යාපනය දැනට භාවිත ජනප්‍රිය විසැඳුමකි.

අද අපගේ වැකියට මාතෘකා වන්නේ ‘ඔන්ලයින්’ අධ්‍යාපනය නොවේ. අධ්‍යාපන අමාත්‍යාංශය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධ වී ජාතික අධ්‍යාපනය වෙනුවෙන් අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යයි. එහි වැදගත්ම පියවර වන්නේ අධ්‍යාපනය සඳහා වෙන් වූ විද්යුත් චැනල විස්සක් ක්‍රියාත්මක කිරීමය. එයින් චැනල දාහතරක් ඍජු ලෙස පාසල් අධ්‍යාපනයට හා පිරිවෙන් අධ්‍යාපනයට වෙන් වෙයි. එක ශ්‍රේණියේ සිට දොළහ ශ්‍රේණිය දක්වා ඉගැන්වීම සඳහා චැනල දොළහක් භාවිත කිරීමට නියමිතය. චැනල දෙකක් පිරිවෙන් අධ්‍යාපනය සඳහා වෙන් කිරීමට නියමිතය. මේ මඟින් විභාගවලට නියමිත පාඨමාලා සම්පූර්ණ කරනු ලැබේ. මෙය පවත්වා‍ගත හැකි නම්, ජාතික අධ්‍යාපනය කොවිඩ් නිසා බිඳ වැටීමට හේතුවක් නැත. අධ්‍යාපනයේ අභියෝගය රජය භාරගත යුතුය. ඊට විසැඳුම් සැපයීම ද රජය සතු වගකීමකි.

පාසල, පන්තිය, ගුරු – ශිෂ්‍ය සම්බන්ධතා යනාදී සාධක ඒ අයුරින්ම ඉටු කිරීමේ හැකියාවක් ජනමාධ්‍යයට නැත. එහෙත් සජීවී ඉගැන්වීමක් ජනමාධ්‍යයට කළ හැකිය. දියුණු රටවල් පරිගණකය, ලැප් එක හා ටැබ් එක අධ්‍යාපනය සඳහා යොදා ගනී. ඇතැම් රටවල විභාග පැවැත්වීම සඳහා ටැබ් එක උපයෝගි කර ගනී. ප්‍රකට ජනමාධ්‍යවලට මීට වඩා පුළුල් අධ්‍යාපනික සේවාවක් කළ හැකිය. මේ වන විටත් රූපවාහිනී හා ගුවන්විදුලි ආයතන අධ්‍යාපන සේවාවන් කිහිපයක් පවත්වාගෙන යයි. එහෙත් ඒවා විධිමත් ආකාරයෙන් පවත්වාගෙන යන්නේ ද යනු ගැටලුවෙකි. මේ සේවාවන් කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය සිදු‍වන්නේ ද මන්දගාමී ලෙසය. කලකට පෙර ජාතික ගුවන්විදුලියේ අධ්‍යාපන සේවය ජනප්‍රිය විය. එහෙත් අද එහි වැඩසටහන් ආකර්ෂණීය තත්ත්වයක නැත.

ජනමාධ්‍යවල පරමාර්ථයක් වන්නේ ජනතාවට අධ්‍යාපනය දීමය. ශ්‍රී ලංකාවට ජාතික රූපවාහිනිය හඳුන්වා දීමේදී එහි එක් ඉලක්කයක් ලෙස පැවැතියේ ජාතික අධ්‍යාපනය වැඩි දියුණු කිරීමය. එහෙත් ජනමාධ්‍ය අතර මතු වන ප්‍රබල තරගයේදී අධ්‍යාපනය දෙවැනි කොට සැලැකීමට හෝ අධ්‍යාපනය අතහැරීමට හෝ මේ ආයතනවලට සිදුවෙයි. ජනමාධ්‍ය ආයතන පවත්වා ගත හැක්කේ ඒවා මුදල් උපයන ලාභදායී ව්‍යාපාර බවට පත්වුවහොත් පමණි. අධ්‍යාපනය ද ව්‍යාපාරයක් බවට පත් කර ගත හැකි වුව ඊට අදාළ උපායමාර්ග අප හඳුනාගෙන නැත. නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටක එවැන්නක් සිදු කිරීම ද අසීරුය. මීට ඇති එකම විසැඳුම වන්නේ රජය මැදිහත් වී අධ්‍යාපන සේවා සඳහා වූ චැනල පවත්වාගෙන යෑමය. ඊට පෞද්ගලික අංශයේ සහයෝගය ද සපයා ගත හැකිය.

අපේ රූපවාහිනී චැනලවල කාල කළමනාකරණය නිරීක්ෂණය කළ හොත් ඒවායෙහි වැඩිම කාලයක් වෙන් වන්නේ ටෙලිනාට්‍ය, වෙළෙඳ දැන්වීම් හා සංගීත වැඩසටහන් සඳහාය. ඒ එකක්වත් අධ්‍යාපනය සඳහා දායකත්වය සපයන වැඩසටහන් නොවේ. විදේශවල ජනප්‍රිය වූ ටෙලිනාට්‍යවලට සිංහල දෙබස් කවා ඒවා ප්‍රදර්ශනය කරනු ලැබේ. ඇතැම් විදේශීය ටෙලිනාට්‍ය අපේ සංස්කෘතියට හා සාරධර්මවලට ගැළපෙන්නේ නැත. පවුල් සංස්ථාවේ ගැටුම් හුවා දක්වමින් ප්‍රේක්ෂකයාගේ දෑසට කඳුළක් නැංවීම ඇතැම් නාට්‍යවල ඉලක්කය වෙයි. ඇතැම් නාට්‍යවල දිගින්-දිගටම ඇත්තේ ගැටුම්ය. ඒවා ඔස්සේ ප්‍රේක්ෂක සිත්සතන් පළිගැනීමට යොමු වේ. අපේ රූපවාහිනී චැනලවලට උසස් පරමාර්ථ නැත. මේ ගැන විවිධ සංවාද පැවැතිය ද ජනමාධ්‍ය අයිතිකරුවන් ඒවා සැලැකිල්ලට ගන්නේ නැත.

මේ වන විට රටට ඔරොත්තු නොදෙන තරම් විද්යුත් චැනල ප්‍රමාණයක් රට තුළ ක්‍රියාත්මක වෙයි. නිදහස් රාජ්‍යයක ඒවා තහනම් කිරීමේ හැකියාවක් නැත. හිටපු ජනමාධ්‍ය ඇමැතිවරයෙක් වරක් කියා සිටියේ වැඩි වැඩියෙන් චැනල බිහි කිරීමට අවසර දිය යුතු බවය. එය අද යථාර්ථයක් බව පත් වී ඇත. හොඳට මෙන්ම නරකට ද ජනමාධ්‍ය භාවිත කරනු ලැබේ. අපේ සමාජ මාධ්‍යවලට තහංචි නැත. ඒවා පිස්සු නටන ආකාරය මේ දිනවල දැක ගත හැකිය. තත්ත්වය මෙසේ වුව සෑම මාධ්‍යයක් වෙතින්ම අධ්‍යාපනය සඳහා යම් දායකත්වයක් සපයා ගත හැකිය. රජය ඒ සඳහා සූදානම් වන බවක් ද පෙනෙන්නට තිබේ. එය ඉතා වැදගත්ය. අමතක නොකළ යුතු කාරණයක් වන්නේ ජනමාධ්‍ය හා අධ්‍යාපනය අතර ඍජු සම්බන්ධයක් ඇති බවය.

2019 අග කාර්තුවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියා සිටියේ සෑම රටක්ම ‘ඔන්ලයින්’ අධ්‍යාපනයට හුරු විය යුතු බවය. ඒ සමඟම ඔහු කියා සිටියේ මේ දැන් සිට ඔහුගේ දුවත් ‘ඔන්ලයින්’ අධ්‍යාපනයට යොමු වූ බවය. ‘ඔන්ලයින්’ අධ්‍යාපනය ජනමාධ්‍ය හා අධ්‍යාපනය අතර සම්බන්ධයේ එක කොටසක් පමණි. මෙය පුළුල් කළ හැකිය. රූපවාහිනී යන්ත්‍රයක්, ගුවන්විදුලි යන්ත්‍රයක්, ජංගම දුරකථනයක් නැති නිවෙසක් ශ්‍රී ලංකාවේ නැත. මහ මඟ සිඟමන් යදින තැනැත්තා ළඟ පවා ජංගම දුරකථනයක් තිබේ. සමහරුන් ළඟ පොකට් රේඩියෝ ද තිබේ. ශ්‍රී ලංකා‍ව යනු ජනමාධ්‍ය සමාජයකි. අපේ ඉගෙනීමට, තීරණ ගැනීමට, මත නිපදවීමට ජනමාධ්‍ය ඉතා හොඳින් යොදා ගත හැකිය. රජ‍ය ඒ බව වටහා ගෙන ක්‍රියා කිරීම ඉතා වැදගත්ය. අධ්‍යාපන චැනලවලට සුදුසු ගුරුවරුන් මෙන්ම උපදේශකයන් ද සපයා ගත යුතුය. එය රජයේ වගකීමකි.

ලබන අගෝස්තුවේ මුල් සතිය තුළ පාසල් විවෘත කිරීමේ අදහසක් ද රජයට තිබේ. පාසල් විවෘත කළ ද ජනමාධ්‍ය ඔස්සේ අධ්‍යාපනය තවදුරටත් දියුණු කළ යුතුය. අධ්‍යාපනය යනු රටක අනාගතය බැවින් ඒ සඳහා දරනු ලබන ඕනෑම ප්‍රයත්නයකට ජනතාවගේ පූර්ණ සහයෝගය ලැබෙනු ඇත.

(Courtesy of dinamina.lk)

Leave a reply: