තමන් අභියෝගවලට අභියෝග කරන බව ජනාධිපති ජාතිය අමතා කියයි.

තමන් ගේ අරමුණ සහ සැලසුම එළඹෙන අභියෝගවලට අභියෝග කොට ජයග්‍රහණය කිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ජාතිය අමතමින් සඳහන් කළේය .

සිය ප්‍රථම වර්ෂ පූර්ණය නිමිත්තෙන් ජාතිය අමතා කතා කළ ජනාධිපතිවරයා තමන් ජන්ද අපේක්ෂාවෙන්ම ජනතාව සතුටට පත් කරන්නේ නැති බවත් සංවර්ධනයේ පරමාර්ථ සාක්ෂාත් කර දී ජනතාව ට සෞභාග්‍යය උදාකර දීමට සෑම මොහොතක ම ඇප කැප වී ක්‍රියා කරන බවත් පැවසීය .

රට නිදහස් කර ගැනීමේදී සටනේදී ත් තමන් හෘද සාක්ෂියට එකගව තීන්දු ගත් බව පැවසූ ජනාධිපතිවරයා තමන් පුහු තර්ජන ගර්ජනවලට බිය නොවන බවද කීය.ජනතාව පසුගිය මැතිවරණවලදී තමන් ඇතුළු ආණ්ඩුව ට කීවේ රට බේරා දෙන ලෙස යි.ඒ අනුව රට දැය සමයේ ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර දැනටමත් ගෙන ඇතැයි ද ජනාධිපතිවරයා අවධාරණය කළේය .

තමන් පත් වන විට අන්තවාදය ,ත්‍රස්තවාදය ,පාතාලය හා කුඩු වසංගතය විසින් රට ඔද්දල් කර බියට පත් කර තිබුණි ආරක්ෂක අංශ වලට බලතල පවරා දී දැන් එම අන්තවාදී ත්‍රස්තවාදී හා කුඩු පාතාල කටයුතු මර්දනය කර තිබේ .

දේශපාලන ප්‍රතිවාදීන් මර්දනය සඳහා නීතිය භාවිත නොකෙරේ.රජයේ උසස් තනතුරු සියල්ලට සුදුසුකම් ඇති අය තෝරා පත් කර ඇත .ඔවුන්ට ඉලක්කද ලබා දී තිබේ .විශේෂයෙන් ම තමන් මෙරට ගම්බද දුගී දුප්පත් ජනතාව උදෙසා බොහෝ දෑ කරන අතර ජාතික ආර්ථිකය කොවිඩ් වසංගත ය මධ්‍යයේද යහපත් ලෙස නඩත්තු කර ඇතැයි පැවසීය .මේ කටයුතු සඳහා ජනතාව තමන්ට ලබා දුන් ජනවරම වරප්‍රසාදයක් නොව වගකීමක් බව තේරුම් ගනිමින් ක්‍රියා කරන බව ද ජනාධිපතිවරයා දැඩි ලෙස අවධාරණය කළේය .

Leave a reply: