දියව් දියව් මොළය දියව්! ලැබෙව් ලැබෙව් මොළය ලැබෙව්

සියලූ රැස්වීම්, ජන රාශි, පෙළපාලි තහනම් කරමින් පොලිසිය නිකුත් කර ඇති නියෝගයක් මහත් ආන්දෝලනයට තුඩු දී තිබේ. මේ නියෝගය පැනවෙන මොහොත වූ කලී බිස්නස් එකක් හැටියට මෙන්ම ජාතික සේවයක් වශයෙන්ද කෙරෙන සියලූ උද්ඝෝෂණ පීක් එකටම පැමිණ තිබෙන අවස්ථාවකි. ඒ සමගම අතේ සතේ නැති ජන කොටස් ආණ්ඩුව කෙරෙහි උපදවා ගෙන ඇති කෝපය ද පීක් එකටම ගොස් ඇත. එමතුදු නොව කොවිඞ් වසංගතය ජනයා මෙන්ම අතේ සතේ නැතිවීම ලෝක ආර්ථික අර්බුදය යන කාරණා හේතුකොට ගෙන ආණ්ඩුව සිටින්නේ ද පීක් එකේය. හැබැයි මේ පීක් එක අර පීක් දෙකටම වඩා තියුණු යකඩ උලක් වැනි පීක් එකකි. එහි ඇති සොමිය දන්නේ එහි වාඩි වී සිටින එකා මිස කන්ද පාමුල සිට උල දෙස බලමින් මේකා මෙතරම් උස උලක් මත හිඳ ගත්තේ කෙසේදැයි යන්න කල්පනා කරන ගොන්නු නොවෙති. උද්ඝෝෂණ තහනම් කිරීම ආණ්ඩුවේ පැත්තෙන් සාධාරණ ය.

මේ වෙලාවේදී ලෝකයේ වඩාත්ම ප‍්‍රගතිශීලී නායකයා ලංකාවේ සිටියත් කරන්නේ මේ ටිකමය. උද්ඝෝෂණයෙහි නොයෙදෙන ජනතාවට උද්ඝෝෂණයක් යනු වාතයකි. දියව් දියව් පොහොර දියව්, දියව් දියව් හාල් දියව්, දියව් දියව් සල්ලි දියව් යනාදි වශයෙන් මහ පාරට බැස ස්වකීය විරෝධතා පිටකර හරින බිස්නස්කාරී සහ බිස්නස්කාරී නොවන උද්ඝෝෂණකාරයන් නිසා පාරවල් හිරවෙනු දකින, බස් ගමන් ප‍්‍රමාද වන බව දැනෙන මහජනතාව කිපෙයි. එවිට සමහරු තම සිත්වලින් මෙසේ ඉල්ලති. දියව් දියව් මොළය දියව්! එය උද්ඝෝෂකයන් වෙනුවෙන් කෙරෙන ප‍්‍රාර්ථනය යි. කෙසේ හෝ වේවා අප මෙතැන් සිට කතා කරන්නේ කොරෝනා අස්සේ සිදු කෙරෙන උද්ඝෝෂණ ගැන නොවේ.

මේ වනවිට කොරෝනා සහ ජනතාව අතර අමුඩය සහ පශ්චාත්භාගය අතර පවතින සහසම්බන්ධය හා සමාන සංහිඳියාවක් ගොඩනැගී තිබේ. එකම ප‍්‍රශ්නය වන්නේ පාචනය වැනි ලෙඩක් හැදුනොත් මේ සම්බන්ධතාවය විටින් විට කැඞී යෑමය. එය පෙසෙක තිබියේවා. අද අප කතා කරන්නේ ඩොලර් අර්බුදය ගැනයි.

ශ‍්‍රී ලංකාවෙන් ඩොලර් පිටට යෑම තාවකාලිකව අත්හිටුවීමට ආණ්ඩුව තීරණය කර තිබේ. මේ රටේ හැඩය හරිම අමුතුය. හැකි සෑම දෙයක්ම පිටරටින් ගෙන්වා පරිහරණය කිරීමට මේ රටේ ජනතාව ඉතා කැමතිය. එළවළු ගැන විතරක් කතා කරනවා නම් අප දැනට රටින් නොගෙන්වන්නේ දිය ලබු, අළු පුහුල්, වැටකොළු, වට්ටක්කා වැනි ලබු පංතියේ එළවළු පමණි. සමාවෙන්න! අපට වැරදීමක්. ලබු පංතියේ වට්ටක්කා ද රටින් ගෙන්වන බව අපි ස්වල්ප වේලාවකට පෙර දැනගතිමු.

ඔස්ටේ‍්‍රලියාවෙන් එන පැකට් කළ අමු එළවළු මිශ‍්‍රණයක් ශ‍්‍රී ලංකාවේ සුපර් මාර්කට්වල ඇත. මෙය විවෘත කළ විට සෙන්ටිමීටර් භාගේ කුට්ටිවලට කපන ලද කැරට්, බාගෙට තැම්බූ බඩඉරිඟු, බාගෙට තැම්බූ ග‍්‍රීන් පීස්, බාගෙට තැම්බූ වට්ටක්කා කැබලි තිබෙනු දැකිය හැකිය. මෙයට වැරදිලාවත් බීට් රූට් කැබලි දමනු නොලැබේ. බීට් රූට් යනු ආණ්ඩුව හා විපක්ෂය වැනි එළවළුවකි. විපක්ෂය ඇෙඟ් ගා ගන්නා දෙය ආණ්ඩුවේ තවරයි. ආණ්ඩුව ඇෙඟ් ගා ගන්නා දෙය විපක්ෂයේ තවරයි. පෙර කී එළවළු කැබලි අතරට බීට් රූට් දැමුවොත් සෙසු එළවළු සියල්ලේම රතු ගැවෙයි.

ඒවා නොදමන හේතුව එයයි. මේ මිශ‍්‍රණ පැකට්ටුවක් බර (ග‍්‍රෑම් 450* රුපියල් නවසිය පනහකට කිට්ටුය. මේ සියලූ එළවළු ලංකාවේ තිබේ. එවැනි එළවළු මිශ‍්‍රණයකට ලොකු මාර්කට් එකක් නැති නිසා කව්රුත් ඒවා කැබලි කර පැකට් නොකරති. එහෙත් ඉහළ ආදායම් මට්ටම් ඇති පවුල්වල සිටින හෙල්ත් ෆුඞ් කට්ටිය දහස් ගණනින් රටින් ගෙන් වූ මේ එළවළු පැකට් මිලට ගනිති. එක පැකට්ටුවක් සඳහා ඩොලර් තුනක් පමණ ඔස්ටේ‍්‍රලියාවට යැවීමට සිදුවේ. මෙවැනි චූටි චූටි දේවල් දහස් ගණනක් පිටරටින් ගෙන්වනු ලැබේ. ලංකාවේ නිෂ්පාදනය කරන ටෝච් බැටරි ඇත. ඒත් ඊට වඩා වැඩි මිල ටෝච් බැටරි පිටරටින් ආනයනය කරනු ලැබේ. මෙයට කලකට පෙර ගාන ලද පොල් පැකට් කර මැලේසියාවෙන් මෙරටට ගෙන්වීමේ තැතක් තිබුණද ආණ්ඩුව එයට ඉඩ දුන්නේ නැත. 1970 දී ඇමරිකන් ඩොලරයක මිල රුපියල් 5.95 කි. 1977 වන විට එහි මිල රුපියල් 8.41 කි. එහෙත් 1977 දී ජේ.ආර්. ජයවර්ධන ගේ ආර්ථික ලිබරල්වාදී ආණ්ඩුව බලයට පැමිණීමත් සමගම ඩොලරයේ මිල රුපියල් 15.61 දක්වා නැග්ගේය. අද ඩොලරයක් රුපියල් දෙසිය විස්සකි.

පවතින ආර්ථික අර්බුදය එහෙමම තිබුණොත් ඩොලරයක් රුපියල් තුන්සිය පනහ තෙක් නගින බව බන්දුල ගුණවර්ධන ගේ මතයයි. මේ මොහොතේදී ඇමරිකන් ඩොලර් බිලියන 4.5 ක පමණ සංචිතයක් අපට ඇත. එය ඉවර වූ විට අලූතින් ඩොලර් ලංකාවට එන මගකුත් නැත. ශ‍්‍රී ලංකාවට වැඩියෙන්ම විනිමය ගෙනා විදේශ රැුකියා අට්ටිය කොරෝනා නිසා 75 % කින් පමණ විනාශ වී ඇත. සංචාරක ව්‍යාපාරය ද 100 % කින්ම විනාශය. තේ හැරුණු විට සෙසු සාම්ප‍්‍රදායික බෝගවලට පිටරට මාර්කට් එකක් නැත. මැණික් කර්මාන්තය සහ ස්වර්ණාභරණ කර්මාන්තය එලෙසම පවතින නමුත් ඒවා පිටරට යැවුවාට මිලදී ගන්නට සුද්දන්ට සල්ලි නැත. පිටරට යැවීම සඳහා අලූතින් සෑදිය හැක්කේ කුමක් ද යන්න ගැන තීරණයක් ගැනීමට කාටවත් ඉස්පාසුවක් නැත. හැමෝම බලා සිටින්නේ අමුඩය මෙන් තමන් සමග එකට ජීවත් වන කොවිඞ් වසංගතය නිම වූ පසු ජීවිතය අලූතෙන් පටන් ගැනීමට ය. එබැවින් මේ ගතවන කාලය සමාන වන්නේ කුමකට ද? පළමුවන කොවිඞ් රැුල්ලේදී රට වැසූ විට හොර අරක්කු පොළවල්වලින් වැඩි මිලට අරක්කු ගෙන බී ගත කළ චූන් කාලයට ය.

ආපසු රට අරින විට ඒ සියලූ දෙනාම හිඟන්නන් බවට පත්ව සිටියහ. ඒ නිසා මේ වෙලාවේදී සියලූ දෙනාගේම ප‍්‍රාර්ථනය විය යුත්තේ දියව් දියව් මොළය දියව්ටත් වඩා ලැබෙව් ලැබෙව් මොළය ලැබෙව් යන්නය.

(Courtesy of divaina.com)

Leave a reply: