නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයෙකු රජය අමාරුවේ දැමීමේ වෑයමක

ලබන මාසයේ ජිනීවා නුවර දී රැස්වෙන මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාවාරයට පෙර මහාධිකරණ විනිසුරුවරයෙකු වන ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගෙන රාජපක්ෂ රජය අධිකරණයට බලපෑම් එල්ල කරන බවට චෝදනාවක් නිර්මාණය කර දීමේ අරමුණින් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයෙකු සූක්ෂම සැලසුමක් දියත් කරමින් සිටින බව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පවසති.මොහු දිවයිනේ ප්‍රධානම රාජ්‍ය නොවන සංවිධානයක සභාපති වරයෙකු ගේ සමීප ඥාති වරයෙකි .

මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධව වඩාත් විශේෂිත කරුණ වන්නේ විනිසුරු ගිහාන් පිලිපිටිය රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා සමග කරන ලද බව කියන දුරකථන සංවාදයකට අදාළ සිද්ධියකි .මහාධිකරණ විනිසුරුවරුන්ගේ පත්වීම් බලධරයා වන්නේ ජනාධිපතිවරයායි . ඔවුන් සම්බන්ධව විනය ක්‍රියාත්මක කිරීමේ බලධාරියා වන්නේ අගවිනිසුරුවරයා ප්‍රමුඛ අධිකරණ සේවා කොමිෂන් සභාවයි.දුරකථන සංවාද සිද්ධියට නම ගෑවුන මහාධිකරණ විනිසුරුවරයා සම්බන්ධව අධිකරණ සේවා කොමිෂන් සභාව මේ වන විට ජනාධිපතිවරයාගේ උපදෙස් මත පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ .එම පරීක්ෂණය තවමත් ආරම්භක අවධියේ පවතී .එසේ තිබිය දී මහාධිකරණ විනිසුරුවරයා අත්අඩංගුවට ගැනීමට මෙම නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා උත්සාහ කරන්නේ පැහැදිලිවම ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවේ දී රජය අසීරුවට පත් කිරීමේ අරමුණින් බව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් අප සමග පැවසීය.

මෙම නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා ගිහාන් පිලපිටිය විනිසුරුවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කරන සමයේ විහාරස්ථානවලට සම්බන්ධව පැවැති නඩුවක දී අධිකරණයේ දී සම්ප්‍රදාය විරෝධී සහ රීති විරෝධී ලෙස ක්‍රියා කිරීම සම්බන්ධයෙන් විනිසුරු පිලිපිටිය ඔහුට එරෙහිව අධිකරණ සේවා කොමිසමට සහ නීතිපතිවරයාට පැමිණිලි කිරීමට ක්‍රියා කර තිබිණ.දිවයිනේ ප්‍රධාන පෙළේ විහාරස්ථාන රැසක නායක ස්වාමීන් වහන්සේලා ගණනාවක් මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් ගෝඨාභය රාජපක්ෂ මහතාත් එක වර අත්අඩංගුවට ගැනීම සඳහා මෙම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සියුම් ලෙස අධිකරණය උපයෝගී කර ගැනීමට තැත් කළ අවස්ථාවේ ගිහාන් පිලපිටිය විනිසුරුවරයා ඊට එකඟතාවය පල කොට නැත.ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා සහ විනිසුරු පිලපිටිය අතර විවෘත අධිකරණයේ දී මත ගැටුමක් ද හටගෙන තිබූ බව වාර්තා වෙයි.

රන්ජන් රාමනායක ගේ හඬ පට සිද්ධියට අදාළව විනිසුරු පිලපිටිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් මත මේ වන විට අධිකරණ සේවා කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ. එම පරීක්ෂණයක් හමාර වන්නටත් පෙර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අදාළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා නීතිපතිවරයාට උපදෙස් දෙමින් ඔහු නිරන්තරයෙන් පෙළඹවීමට උත්සාහ කරන්නේ යටකී පරණ කෝන්තර පිරිමසා ගැනීමේ අරමුණින් යයි නීතිපති දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.ඔහුගේ මේ සට කපට ක්‍රියාකලාපයට හසුවී සිටින නීතිපති දප්පුල ද ලිවේරා මහතා ද මේ තැනැත්තා නිසා අමාරුවේ වැටෙමින් සිටින බව වැඩි දුරටත් වාර්තා වේ .

කෙටි මාර්ග උපයෝගී කරගෙන නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරක් සඳහා ඉව අල්ලමින් සිටින බව කියන මෙම නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමට පෙර මැදමුලනේ ස්මාරක නඩුව විභාග වූ දිනෙක අධිකරණය අසල මහා මාර්ගයේ දී මාධ්‍ය විසින් අසන ලද ප්‍රශ්න කිහිපයකට රාජපක්ෂ මහතා පිළිතුරු දීම නිසා දැඩි ලෙස කෝපයට පත්ව ඒ සම්බන්ධව ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ දැඩි ලෙස විරෝධය පළකරමින් ගෝඨාභය රාජපක්ෂ අධිකරණ භූමිය මාධ්‍ය සංදර්ශන සඳහා උපයෝගී කර ගන්නා බවට චෝදනා නැගීය. ඒ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ දඬුවම් ලැබිය යුතු බවට ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු දක්වමින් යකා නැටීය.

දේශපාලන යටි අරමුණු සහිතව හිතුවක්කාර ලෙස ක්‍රියා කරන මෙකී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරයාගෙනරාල්වරයා ගේ එකම අරමුණ වී ඇත්තේ මේ දක්වා රජය සහ අධිකරණය අතර පවත්නා සූහදතාවය බිඳ දමා රජය අධිකරණය හා නීතිපති දෙපාර්තමේන්තුව අතර අනවශ්‍ය ගැටුමක් ඇති කොට අර්බුදයක් මවාපෑම බවද නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨයන් ප්‍රකාශ කරති.පොලිස්පතිවරයාද මෙම උගුලට කොටු කිරීම සඳහා ඔහු නීතිපතිවරයා පොළඹවමින් සිටින බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. එම නිසා මෙම තැනැත්තාගේ අතීත ක්‍රියාකලාපය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කළ යුතු බව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨයෝ ජනාධිපතිවරයාගෙන් සහ නීතිපතිවරයාගෙන් ද රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ද ඉල්ලා සිටිති .

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page