පටු භේද නොසලකා වගකීම ඉටු කරමු

ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපීය, මානව සංවර්ධනය පිළිබඳ නියෝජිත ලින් ඩී ෂර්බන් බෙන්ෂ් පවසා ඇත්තේ සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා වඩා හොඳ අනාගතයක් නිර්මාණය කිරීමේදී සහාය වීමට හැකි වීම ගැන සතුටු වන බවය. ලෝක බැංකුවේ කොවිඩ්-19 හදිසි ප්‍රතිචාර වැඩසටහන යටතේ ඇ.ඩො. මිලියන 300ට ආසන්න මුදලක් සමස්ත වශයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන බව සඳහන්ව ඇත.

කොවිඩ්-19 ගෝලීය වසංගතයට එරෙහිව සටන් කරමින් සිටින ලෝකය පසුගිය සතියේදී සන්ධිස්ථාන දෙකක් සලකුණු කළේය. එකක්, වසංගතයෙන් මිය ගිය සංඛ්‍යාව මිලියන 4 ඉක්මවා යෑමය. අනෙක අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ විද ගත් සංඛ්‍යාව ලෝක ජනගහනයෙන් 25%ක් හෙවත් ¼ ඉක්මවීමය. මේ වන විට, ලොව පුරා වාර්තා වී ඇති කොවිඩ් ආසාදනයට ලක්වූවන්ගේ සංඛ්‍යාව කෝටි 20 ට ආසන්න වෙමින් ඇත. ලෝක තතු එසේ වන විට ශ්‍රී ලංකාවේ ද එක් එන්නත් මාත්‍රාවක් හෝ ගත් සංඛ්‍යාව ජනගහනයෙන් 25%කට ආසන්න වෙමින් පවතී. මේ වන විට එය 23% ඉක්මවා ඇත. ලෝක මට්ටමින් ගත් විට දෛනිකව දෙනු ලබන එන්නත් මාත්‍රා ගණන මිලියන 30ක් පමණ වේ. ශ්‍රී ලංකාවේ දිනක් තුළ දෙන එන්නත් මාත්‍රා ගණන ඉකුත් සතියේදී ලක්ෂ 3ක් වශයෙන් ද වාර්තා විය. සාමාන්‍යයෙන් එය ලක්ෂ 2.5ක් පමණ වේ. මේ වන විට එන්නත් මාත්‍රා 2ම ලබා ඇති ප්‍රතිශතය 7.5%ක් පමණ වේ. ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන මිලියන ගණනින් එන්නත් ලැබීමට පටන් ගැනීමත් සමඟ වේගවත් විය. එලෙස එන්නත් ලැබෙන විට රට තුළ සෞඛ්‍ය වර්ජනයක් ක්‍රියාත්මක කෙරිණි. කොවිඩ් 19 පළමු වටය ලොව සෙසු රටවල පවා ඇගයීමට ලක් වන පරිදි සාර්ථකව කළමනාකරණය කළ ශ්‍රී ලංකාව එම දෙවැනි හා තුන්වැනි වටවලට මුහුණ දෙන විට විපක්ෂ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ප්‍රචාරය කළේ ශ්‍රී ලංකා රජයට එන්නත් සපයා ගැනීමට නොහැකිය වැනි මතයකි. ලෝකයේ රටවල් සැලකිය යුතු ප්‍රමාණයක් එක් එන්නත් මාත්‍රාවක් හෝ ගැනීමට නොහැකිව සිටියදී මෙරටට එන්නත් ලැබෙන්නට වූ විට එන්නත්කරණ වැඩසටහන් පිළිබඳ සැක සංකා ඇති කරන දුර්මත ප්‍රචාරය කරනු දැකිය හැකි විය. සෙසු බොහෝ රටවල මෙන්ම මෙරට ඉතිහාසයේ ද දැවැන්තම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මුලදී යම් යම් අඩු පාඩු හඳුනාගත හැකි විය. එසේ වුව ද ක්‍රමයෙන් එම වැඩසටහන් වඩාත් විධිමත්ව හා සංවිධානාත්මකව දියත් වූ බවට ජනතාව සාක්ෂි දරති.

පරිත්‍යාග

රජය මෙන්ම සෞඛ්‍ය අංශ ද කොවිඩ්-19 සමඟ සටන් කරන අතර එන්නත්කරණයට එරෙහිව සිදු වූ මත ප්‍රචාරවලට එරෙහිව ද සටනක යෙදෙන්නට සිදු විය. කෙසේ වුව ද එන්නත් ගැනීම සඳහා විශාල ඉල්ලුමක් ද සහිතව එම වැඩසටහන් ක්‍රියාත්මක වන අතර රටවල් කිහිපයකින් පරිත්‍යාග වශයෙන් මෙන්ම මෙරට සිදු කළ ඇණවුම් වශයෙන් ද එන්නත් තොග විශාල ප්‍රමාණවලින් රටට ළඟා විය. එවර සෞඛ්‍ය සේවයේ ඇතැම් වෘත්තීය සමිති වර්ජනයක් දියත් කළේ අනෙක් කාරණා කෙසේ වුව ද ‘මනුෂ්‍යත්වය’ ගැන හැඟීමක් පවා නොමැති අයුරිනි. මෙකී වර්ජන තර්ජන හා ගර්ජනවලට යට වී එන්නත්කරණ වැඩපිළිවෙළ බිඳ දැමීමට රජය ඉ‍ඩ තැබුවේ නැත. අන් බොහෝ අභියෝගාත්මක අවස්ථාවලදී මෙන්ම ත්‍රිවිධ හමුදාව පෙරට කැඳවිණි. මෙහි විශේෂත්වය වූයේ මේ සටනේ පෙරමුණු බල ඇණිය වූයේ සන්නාහ සන්නද්ධ බළකා නොව වෛද්‍ය බළකා වීමය.

හමුදාව ඊට පෙර ද, සෞඛ්‍ය අංශ සමඟ එක්ව කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළට සහාය දැක්විය. එන්නත්කරණය සඳහා පමණක් නොව, නිරෝධායන ක්‍රියාවලිය, විෂබීජහරණ කටයුතු, නිරෝධායන මධ්‍යස්ථාන ඇති කිරීම, රෝහල් හා සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම ආදී සෙසු කාර්යයන් සඳහා ද ප්‍රමුඛ දායකත්වයක් දැක්විය. මේ වැඩපිළිවෙළට හමුදාව සම්බන්ධ කර ගැනීම ද විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල විරෝධයට හේතු වූ අයුරු දිස් විය. හරි නම් ඔවුන් කළ යුතුව තිබුණේ මේ සටනේදී ද ආරක්ෂක හමුදාවල හා පොලිසියේ මෙහෙවර අගය කිරීමයි. ඔවුන් දිරිගැන්වීමයි. එහෙත් සිදු වූයේ මිලිටරිකරණයක් ගැන කතා කරමින් බිල්ලන් මවා පෑමය.

කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම පිණිස ආරක්ෂක හමුදා දායක වෙමින් සිටින්නේ සෞඛ්‍ය අංශවලට සහයක් වශයෙනි. වසංගත සමයක මීට අදාළ තීන්දු තීරණ ගැනීමේදී මුල් වන්නේ ද අදාළ මාර්ගෝපදේශ නිකුත් කරන්නේ ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාය. ප්‍රායෝගික වශයෙන් එම තීන්දු තීරණ ක්‍රියාවලිය දියත් කිරීමේදී කොවිඩ් මර්දන කාර්ය සාධකබළකාය ඉටු කරන මෙහෙවර සුළුපටු නැත. එහි ප්‍රධානියා යුද හමුදාපතිවරයාය. එම කාර්යභාරයන් පැහැදිලිය. සෞඛ්‍ය, වර්ජනය නිසා බිඳවැටීමට ඉ‍ඩ නොදෙමින් ආරක්ෂක හමුදා විසින් එන්නත්කරණ වැඩපිළිවෙළ පෙරට ගැනීමත් සමඟ එය කිහිප ගුණයකින් වේගවත් වීම සිදු විය. ඉකුත් සතිය වන විට දෛනිකව එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් පමණ ලබා දෙන තරමටම එය කාර්යක්ෂම හා සංවිධානාත්මක විය. හමුදාව පවත්වා ගෙන යන එන්නත්කරණ මධ්‍යස්ථානවල කාර්යභාරය ජනතාවගේ නොමඳ ප්‍රශංසාවට හා ඇගයීමට පාත්‍ර වනු ද දැකිය හැකිය.

ශ්‍රී ලංකාව රටක් වශයෙන් කොවිඩ් මර්දන වැඩපිළිවෙළේදී ලැබූ සාර්ථකත්වයේ එම දායකත්වය ද ප්‍රමුඛ සාධකයකි.

පසුගිය දා විහාරමහාදේවි උද්‍යානයේ යුද හමුදාව පවත්වාගෙන යන එන්නත්කරණ මධ්‍යස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක යෙදෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රී ලංකා නියෝජිතවරිය අලකා සිං එම කාර්යභාරය අගය කළාය. ජනාධිපතිවරයාගේ අභිලාසය පරිදි මෙරට එන්න්තකරණ වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා හමුදාව සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරමින් ඇතැයි ඇය සඳහන් කර තිබිණි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව ශ්‍රී ලංකා රජය මෙම එන්නත්කරණ වැඩපිළිවෙළ ඉතා විධිමත්ව පෙරට ගෙන යමින් තිබීම ගැන ඇය සතුට පළ කළේ ශ්‍රී ලංකාවේ එම වැඩසටහන සිත්ගන්නා සුළු අන්දමින් පෙරට යමින් ඇති බව ද පෙන්වා දෙමිනි.

ෆයිසර් එන්නත්

අමෙරිකා එක්සත් ජනපදයේ පරිත්‍යාගයක් ලෙස Covax පහසුකම යටතේ මොඩර්නා එන්නත් මාත්‍රා මිලියන 1.5 ක් ඉකුත් සතියේදී මෙරටට ලැබිණි. Covax පහසුකම යටතේ මෙරටට පළමු එන්නත් තොගය ලැබුණේ ඉකුත් මාර්තුවේදීය. එය ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 264,000කි.

අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 26000ක් ද පසුගිය දා ශ්‍රී ලංකාවට ලැබිණි. මේ වසර අග වන විට එම එන්නත් මිලියන 5 ක් මෙරටට ගෙන්වීමට අපේක්ෂිතය. ඒ සඳහා වන මූල්‍ය පහසුකම් ලෝක බැංකුවේ කොවිඩ්19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සුදුසුකම් ව්‍යාපෘතිය යටතේ සැපයේ. ඒ වෙනුවෙන් තවත් ඇ.ඩො.මිලියන 80.5ක් වෙන් කිරීමේ එකඟතාවකට පසුගිය දා අත්සන් තැබීම ද සිදුවිය. එන්නත් ගෙන්වීමේදී ශ්‍රී ලංකාව අනුගමනය කරන ප්‍රසම්පාදන ක්‍රියාවලිය ලෝක බැංකුවේ ඇගයීමට ලක්ව ඇති බව ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ. එය විනිවිදභාවයකින් යුතුව සිදු වන බව එහි අදහසය. ලෝක බැංකු අරමුදල් මඟින් රෝහල් සහ කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීම ද සිදු වේ.

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ද පසුගිය දා චීනය ශ්‍රී ලංකාවට ලබා දුන්නේය. ඒ සමඟ ඉකුත් මාර්තුවේ පටන් මෙරටට ලැබී ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා ගණන මිලියන 7 ඉක්මවා තිබේ. මේ සමඟ කොළඹින් පිටත ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුර, නුවරඑළිය, රත්නපුර, බදුල්ල, මාතලේ ආදී දිස්ත්‍රික්කවල ද එන්නත්කරණ වැඩසටහන් පුළුල් වනු ඇත. බස්නාහිර පළාතේ ද තවදුරටත් එම කටයුතු වේගවත් කෙරේ. මේ වන විට ලබා දී ඇති එන්නත්වලින් වැඩිම සංඛ්‍යාව සයිනොෆාම් එන්නත්ය. ශ්‍රී ලංකා – චීන මිතුදම අරුත් ගැන්වෙන කාරණයක් ලෙස ද මෙය වැදගත්ය.

ඉදිරි සති කිහිපය තුළ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් රටට ළඟා වීමට නියමිතය. ජනාධිපතිතුමා පසුගිය දා උපදෙස් ලබා දුන්නේ පුළුල් යන්ත්‍රණයක් මඟින් ජනතාවගෙන් බහුතරයක් සැප්තැම්බරයට පෙර එන්නත්කරණය කිරීම සඳහා කටයුතු කරන ලෙසය. මෙලෙස ලැබෙන එන්නත් පළමු කොවිඩ් – 19 වැඩි අවදානමක් ඇතැයි හඳුනාගත් දිස්ත්‍රික්කවලට සැපයෙනු ඇත.

හොඳ අනාගතයක්

ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපීය, මානව සංවර්ධනය පිළිබඳව නියෝජිත ලින් ඩී ෂර්බන් බෙන්ෂ් පවසා ඇත්තේ සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා වඩා හොඳ අනාගතයක් නිර්මාණය කිරීමේදී සහාය වීමට හැකි වීම ගැන සතුටු වන බවය. ලෝක බැංකුවේ කොවිඩ්-19 හදිසි ප්‍රතිචාර වැඩසටහන යටතේ ඇ.ඩො. මිලියන 300ට ආසන්න මුදලක් සමස්ත වශයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන බව සඳහන්ව ඇත.

මෙවැනි කාරණා ඔස්සේ බලන විට ශ්‍රී ලංකාවට කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේදී කලාපීය වශයෙන් ඉදිරි පෙළ සිටින්නට හැකි වී ඇති බව පැහැදිලිය. එය සතුටුදායක කාරණයකි. ජංගම එන්නත්කරණ වැඩසටහන් ද ක්‍රියාත්මක කරමින් එන්නත්කරණ මධ්‍යස්ථාන කරා පැමිණීමට අපහසු එන්නත් දිය යුතු ජනතාවට එය දෙන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

මෙම සමස්ත ක්‍රියාදාමයේ සාධනීය ප්‍රතිඵල ඉදිරි මාස කිහිපය තුළ දැක ගත හැකි වනු ඇත. එය සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම සතුටට හා ප්‍රසාදයට හේතුවන කාරණයක් වනු නොඅනුමානය. රටක් වශයෙන් මෙම කාර්යය තම රටේ ජනතාව වෙනුවෙන් හොඳටම කිරීමට හැකි වීමේ ගෞරවය ලැබීමට හැකි නම් එය ගෝලීය වශයෙන් දැවැන්ත අභියෝගයක් එල්ල වී ඇති සමයක කවර රටකට වුවද සතුටු විය හැකි කාරණයකි.

කොවිඩ්-19ට එරෙහිව එම සාර්ථකත්වය ලබන්නට හැකි රටවල් සංඛ්‍යාව වැඩි වන තරමට මේ අභියෝගය ලෝකය ජය ගනු ඇත. ඒ සඳහා රටක් වශයෙන් තමන් ලබා ඇති යම් හෝ සතුටුදායක තත්ත්වය පහත් කොට දකින ඊට නිගා කරන අවරගනයේ හා සර්ව අශුභවාදී මානසිකත්වයෙන් යුතු මිනිසුන් වෙනුවට තම සමාජ වගකීම පැහැර නොහරින, පටු දේශපාලන මතිමතාන්තර දෙවැනි කොට, මනුෂ්‍යත්වය හා රට ප්‍රමුඛ කොට සිතන මිනිසුන් වැඩි වැඩියෙන් ඇවැසිය.

(Courtesy of dinamina.lk)

Leave a reply: