පරිසරය සහ ජීවිත රකිමු

පාංශු ජීවීන්ගේ විවිධත්වය වනාන්තර දර්ශයෙන් දර්ශයට මෙන්ම පසේ pH අගය අනුව වෙනස් වන සුලුය. මෙම පාංශු ජීවීන් මඟින් පසේ සාරවත් භාවය විවිධ අන්දමින් වැඩි  කරවනු ලබයි.

කාබනික පොහොර භාවිතය නිසා රටක් ලෙස අපට අත් වන වාසි රැසකි. ඒ අතර මහ පොළොවට සෘජුවම බලපානු ලබන වාසිය සහ ජීවීන්ට බලපාන සාධක රැසකි. පොහොර භාවිතය හරහා ජනතාවට අත්වන වාසි අතර නීරෝගිභාවය ප්‍රධාන තැනක් ගනී. නීරෝගීකම රටක දියුණුවට බලපාන ප්‍රධාන සාධකයකි.

සෞභාග්‍යයේ දැක්මෙහි තවත් එක් ප්‍රතිපත්තියක් යථාර්ථයක් බවට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රසායනික පොහොර ආනයනය තහනම් කොට කාබනික පොහොර වගාවට මෙරට ගොවීන් අවතීර්ණ කොට තිබේ. රසායනික පොහොර තහනම පිළිබඳ සෘජු තීරණය සුවහසක් ජනතාවගේ අභිවෘද්ධිය පිණිසම ගත්තක් වන අතර එමඟින් ජනතාවට අතිමහත් වූ වාසි රැසක් ළඟා වන බව නොරහසකි.

ගොවියන් යැයි කියා ගන්නා දේශපාලන මතධාරීන් පිරිසක් මෙයට විරුද්ධව මඩ ව්‍යාපාරයක පෙරමුණ ගෙන සිටිති. එහෙත් මේ වන විට

ද බොහෝ පිරිසක් කාබනික පොහොරවල ඇති ගුණාත්මක බවත් රසායනික පොහොරෙහි ඇති විෂ සහිත තත්ත්වයත් වටහා ගෙන තිබීම සතුටට කරුණකි. අද වන විට කාබනික පොහොර පමණක් භාවිත කර කරනු ලබන වගාවන් ද රාශියක් රට තුළ මහා පරිමාණයෙන් මෙන්ම සුළු පරිමාණයෙන් ද ක්‍රියාත්මක වේ.

කාබනික පොහොර සහ කාබනික කෘමිනාශක වර්ග භාවිතයෙන් පරිසරයට සිදු වන වාසිදායක තත්ත්වය පිළිබඳ සලකා බැලීමේදී ස්වාභාවික පරිසරය තුළ පවතින විවිධ පරිසර පද්ධති පිළබඳව ද වටහා ගැනීමක් අවශ්‍ය වේ.

පාංශු පරිසර පද්ධති

පාංශු පරිසර පද්ධතිය යනු එවන් එක් පරිසර පද්ධතියක් ලෙස හඳුන්වා දිය හැකිය. මෙම පරිසර පද්ධතිය තුළ අතිමහත් ජෛව විවිධත්වයක් හමු වේ. පාංශු පරිසර පද්ධති ආශ්‍රිතව හමු වන පාංශු ජීවීන් ජෛව විවිධත්වයේ මූලික සංදිස්ථානයක් වන අතර පාංශු පරිසර පද්ධති තුළ අත්‍යවශ්‍ය ක්‍රියාවන් රැසකට දායක වේ. එය බහුලවම දායක වනුයේ පසේ ගුණාත්මක තත්ත්වය හඳුනාගැනීම සඳහාය. පාංශු ස්ථර තුළ බහුල වශයෙන් අපෘෂ්ඨවංශීන් ලෙස විවිධ කෘමීන් හා ඔවුන්ගේ ජීවන චක්‍ර අවදි පවතී. ඔවුනට අමතරව ගැඩවිලුන් හා ඔවුන්ගේ ජීවන චක්‍ර අවදි, නෙමටෝඩා පණු ආකාරයන්, විවිධ ඇල්ගී වර්ග, දිලීර වර්ග හා ශාකවල විවිධ ජීවන චක්‍ර අවදි, ප්‍රෝටෝසෝවා ආකාරයන් ඇතුළු සූන්‍යෂ්ටික ජීවීන් ද, ක්ෂුද්‍ර ජීවීන් ලෙස බැක්ටීරියා වැනි ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන් සිටී. මෙම ආකාරයෙන් ගණනය කළ නොහැකි ජීවී විවිධත්වයක් හඳුනාගත හැකිය.

පාංශු ජීවීන්ගේ විවිධත්වය වනාන්තර දර්ශයෙන් දර්ශයට මෙන්ම පසේ ph අගය අනුව වෙනස් වන සුලුය. මෙම පාංශු ජීවීන් මඟින් පසේ සාරවත් භාවය විවිධ අන්දමින් වැඩි කරවනු ලබයි. ඒවා පෝෂ්‍යය ගුණය මෙන්ම පාංශු තෙතමනය, පාංශු වාතය, උෂ්ණත්වය හා ph අගය යනාදිය පාලනය හා නඩත්තුව ලෙස දැක්විය හැකිය. මෙම පාංශු තත්ත්වයන්ගේ ප්‍රධාන කොටස් පාංශු ජීවීන්ගේ මෙන්ම භෞමික ශාකවල යහපැවැත්මට ඉතාමත්ම වැදගත් වේ. එමෙන්ම පාංශු ක්ෂුද්‍ර ජීවීන් මඟින් පසේ ඇති කාබනික ද්‍රව්‍යයන් වියෝජනයෙන් සාරවත් හියුමස් තට්ටුවක් පසට ලබා දේ. එය ශාක හා සත්ත්ව මල ද්‍රව්‍යවල ජෛවීය බිඳ හෙළීම මඟින් සිදු කරනු ලැබේ. මෙම ක්‍රියාවලි මඟින් කාබනික ද්‍රව්‍යයන් සතුව ඇති සංකීර්ණ ද්‍රව්‍යයන් සරල ද්‍රව්‍යයන් බවට වියෝජනය කර ශාකයට උරා ගත හැකි පොස්පේට්, නයිට්‍රේට්, පොටෑසියම් අයන හා අනෙකුත් වැදගත් ඛනිජ අයන බවට පත් කරවයි. එසේම පාංශු ක්ෂුද්‍ර ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය පාංශු වාතය සපයා දීමට ගැඩවිලුන් විශාල මෙහෙයක් ඉටු කරනු ලබයි. ඇතැම් ක්ෂුද්‍ර ජීවීන් මෙම ක්‍රියාවලිය සිදුකරවීම සඳහා ශාක මුල් සමඟ සහජීවී සංගම් තනා ඇත. එමඟින් වායුගෝලීය නයිට්‍රජන් තිරකර කෙළින්ම පසට සපයා දීමෙන් ශාකවල නයිට්‍රජන් අවශ්‍යතාවය සපුරාලයි.

මෙවැනි පාංශු පරිසර පද්ධතියකට රසායනික පොහොර යෙදීමෙන් පාංශු ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය ඇනහිටීම හෝ විනාශ වී යෑම සිදු වේ. එමඟින් එම පස ක්‍රමයෙන් නිසරු පසක් බවට පත් වේ.

පාංශු පරිසර පද්ධතියට වන වාසි

මෙමඟින් සැලසෙන ප්‍රධාන වාසි වනුයේ භෞමික ශාකවලට අවශ්‍ය ඛනිජ ලවණ ළඟා වීමත්, පාංශු පරිසර පද්ධති නඩත්තු වීමත්ය. මේ නිසා ශාක මුල් ඉතා ශක්තිමත්ව පොළොව තුළට ගමන් ගනී. එමඟින් සුළි සුළං වැනි තත්ත්වයන් යටතේ වුව ද එය ශක්තිමත්ව දරා ගැනීමේ හැකියාවක් පවතී.

කාබනික පොහොර යෙදීම මඟින් පසේ ජීවත් වන ක්ෂුද්‍ර ජීවී ප්‍රජාව ඉතා හොඳින් ක්‍රියාත්මක වීම සිදු වේ. එමඟින් නයිට්‍රජන්, චක්‍රය පොස්ෆරස් චක්‍රය වැනි ජෛව භූ රසායනික චක්‍ර සක්‍රිය කරවනු ලබයි. එසේ කිරීමෙන් පසට අවශ්‍ය ඛනිජ පෝෂක ලැබීම සිදු වේ. එමෙන්ම හියුමස් තට්ටුවක් ඇති කරවීමට දායක වීමෙන් පසේ තෙතමනය රඳවා තබා ගැනේ. එසේම ජෛවීය පොහොර ලෙස ඇතැම් පාංශු ජීවීන් වැදගත්ය. ජෛවීය බිඳ හෙළීම සිදු කිරීම මෙන්ම ජෛව ප්‍රතිකර්ම යාන්ත්‍රණ සඳහා ද විශාල මෙහෙයක් සලසනු ලබයි. එ‍නම් පාංශු පරිසර පද්ධති වෙත පැමිණෙන විෂ ද්‍රව්‍යයන්ගේ විෂ හරණය කරවයි. තවද, ජෛවීය සමතුලිතතාවය පවත්වා ගැනීමෙන් සියලු පාංශු ජීවීන් පෝෂණය කරවා ජෛව විවිධත්වය රැක ගනී. රසායනික ද්‍රව්‍ය යෙදීමෙන් පාංශු හිතකර ජීවීන් මෙන්ම පළිබෝධකයන්ගේ ස්වාභාවික සතුරන් විනාශ වුව ද කාබනික පොහොර මඟින් එවැන්නක් සිදු නොවන බැවින් පළිබෝධකයන් හා ශාකවලට වැලඳෙන විවිධ ලෙඩ රෝග පාලනය වේ. ශාක වර්ධනය හා ප්‍රජනනය හොඳින් සිදු වන අතරම පසේ ගුණාත්මකභාවය වැඩි දියුණු වෙමින් වියෝජන ක්‍රියාවලිය හොඳින් ඉටු වේ.

ජලජ පරිසර පද්ධතියට ඇති වන වාසි

රසායනික පොහොර යෙදීමේදී එහි ඇති වැඩිපුර නයිට්‍රජන්, පොස්ෆරස් හා පොටෑසියම් වර්ෂා ජලයත් සමඟ සෝදා ගෙන ගොස් ජලාශවලට එක්වීමෙන් ඇති වන සුපෝෂණ ක්‍රියාවලිය කාබනික පොහොර යෙදීමෙන් ඇන හිටී. එමඟින් ජලජ ශාකයන්ගේ ශීඝ්‍ර වර්ධනයක් සිදු නොවන අතර ඔවුන්ගේ ශාක ඝනත්වය නියතව පවත්වා ගනී. එබැවින් වායුගෝලයේ ඔක්සිජන් හා කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය නියතව පවතින අතර ගෝලීය උණුසුම ඇති වීමට ඇති අවස්ථාව අවම කරවයි. එමඟින් වසංගත රෝග වාහක ජීවීන්ගේ විශේෂයෙන්ම ඩෙංගු පරපෝෂිත වාහකයාගේ ජීවන චක්‍රය ශීඝ්‍ර වීම අඩාළ වී රෝගය පැතිරීම යම් පමණකට පාලනය වේ. එසේම ජලාශවල නයිට්‍රේට් වැනි ද්‍රව්‍යයන් නියමිත මට්ටමක පැවතීමෙන් ‘Blue Baby Syndrome’ වැනි රෝග ඇති වීම ද අවම වේ. ජලාශයේ ගොඩ ගැසෙන මල ද්‍රව්‍ය අවම වීම මඟින් එහි ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය අවම වී “ජෛවීය ඔක්සිජන් ඉල්ලුමට” (BOD) බලපෑමක් ඇති නොවන අතර එම ජලය පානීය ජලය ලෙස භාවිත කිරීමට හැකියාව ලැබේ. එසේම ජලයෙන් සිදු කර ගන්නා සියලු ඵල ප්‍රයෝජන මිනිසා ඇතුළු සියලුම ජීවීන්ට සපයා ගැනීමට හැකියාව ලැබේ. එසේම පාංශු ජලය ද දූෂණය නොවේ.

අනෙකුත් සතුන්ට සැලසෙන වාසි

රසායනික ‍පොහොර සමඟ දූෂිත බැර ලෝහ ද පසට එකතු වීමෙන් ඒවා ආහාර දාම දිගේ ගමන් ගනී. ඉන්පසු ඒවා ආහාර දාමවල අවසාන පුරුක්වල සාන්ද්‍රණය වී විවිධ කායික විද්‍යාත්මක වෙනස්කම් එම ජීවීන් තුළ ඇති කරවීමෙන් ඔවුන්ට වන හානි කාබනික පොහොර යෙදීමෙන් කිසිවිටෙක සිදු නොවේ. එම නිසා කිසිදු ජීවියකු මෙමඟින් තර්ජනයට ලක් නොවේ. එසේම ගැඩවිලුන් වැනි ජීවීන් පාංශු පද්ධතිවල බහුල වන විට ගොලුබෙල්ලන් ස්වාභාවිකව වර්ධනය වන විට, විවිධ කෘමීන් ශාක ආශ්‍රිතව ජීවත් වන විට, පක්ෂීන් විශේෂ විශාල ලෙස එම ප්‍රදේශවලට පර්යටනය වෙමින් ජෛව විවිධත්වය වැඩි කරවයි. එසේම එමඟින් භෝග ශාකවල පළිබෝධකයන් ද විශාල ලෙස පාලනය වේ. භෝගයන්ගේ අස්වැන්න වැඩි වේ. එසේම එම භෝගයන් ආශ්‍රිතව ජීවත් වන කටුස්සන්ගේ ද පැවැත්ම තහවුරු වන අතර පළිබෝධ මර්දනය ද පාලනය වේ. මෙවැනි සතුන්ගේ ආගමනයත් සමඟම එම පරිසරයේ ආහාර දාමයන් ද ඉතා හොඳින් ක්‍රියාත්මක වේ.

ඵලදායී ක්ෂුද්‍ර ජීවින්ගේ ආගමනය

(Effective Micro – organism)

කාබනික පොහොර යෙදීම තුළ පසේ ඵලදායී ක්ෂුද්‍ර ජීවීන්ගේ පාංශු ආගමනය නැවතත් සිදු වන අතර එමඟින් ඉතා හොඳ ඵලදාවක් සහිත භෝග වගාවක් ලැබේ. එසේම පසේ ජීවත් වන ඵලදායි ක්ෂුද්‍ර ජීවින් වෙනම රෝපණ මාධ්‍යය තුළ වගා කිරීමෙන් ඔවුන්ගේ සංඛ්‍යාව වැඩි දියුණු කර කාමර උෂ්ණත්වය යටතේ ජලීය මාධ්‍ය තුළ ගබඩා කර තබා වෙළෙඳපොළට නිකුත් කරන ක්‍රමවේදයන් ද වර්තමානය වන විට ක්‍රියාත්මක වේ. ඒවා වගා ක්ෂේත්‍රයන්ට දියර පොහොර ලෙස ඉසීමෙන් වගා බිමේ රසායනික පොහොර මඟින් බිඳ වැටී තිබූ පාංශු පරිසර පද්ධතිය නැවතත් ස්වාභාවික තත්ත්වයට පත් කර ජෛව රසායනික චක්‍රයන්ගේ ක්‍රියාව සක්‍රිය කර පාංශු ඛනිජ ලවණ ප්‍රමාණය වැඩි දියුණු කර ගත හැකිය. මෙම ඵලදායි ක්ෂුද්‍ර ජීවීන් මඟින් භෝග ශාකයන්ගේ මූල පද්ධතියේ වර්ධනය ද උත්තේජනය කරනු ලබයි. එමෙන්ම කාබනික පොහොර ද හොඳින් වියෝජනය කරවා ශාක වර්ධනය වැඩි කරවයි. මෙම ද්‍රව මාධ්‍ය නිපදවීම සඳහා ස්වාභාවික පසේ ජීවත් වන ස්වායු මෙන්ම නිර්වායු ජීවීන් භාවිත කරනු ලබයි. එම තාක්ෂණය මේ වන විට යුරෝපය, තායිලන්තය, ඉන්දියාව, චීනය, සුඩානය, කෙන්යාව හා දකුණු අප්‍රිකාව වැනි රටවල හොඳින් ප්‍රචලිත වී ඇත.

ජෛවීය පොහොර (Bio fertilizer)

මෙම පොහොර ජෛවීය නිෂ්පාදනයක් වන අතර එහි ජීවී ක්ෂුද්‍ර ජීවීන් ලෙස මයිකොරයිශා දිලීර (දිලීරක මූල), නීලහරිත ඇල්ගී හා සමහර බැක්ටීරියා වි‍ශේෂ හඳුනාගත හැකිය. මෙම මිශ්‍රණය බීජ මතට හෝ ශාක මතට හෝ පසට ‘ස්ප්‍රේ’ කිරීම සිදු කොට ශාක වර්ධනය ආකාර කිහිපයකින් වැඩි දියුණු කළ හැකිය. ප්‍රධාන වශයෙන්ම ශාකයට පෝෂ්‍ය ද්‍රව්‍ය සැකසීම වැඩි දියුණු කිරීම, මූල පද්ධතිය වැඩි දියුණු කිරීම, එහි විහිදීම වැඩි කිරීම හා පසෙන් ඛනිජ ලබන උරා ගැනීම වැඩි දියුණු කිරීම යන ක්‍රියාකාරිත්වයන් දැක්විය හැකිය.

කාබනික පොහොර මෙන්ම මෙම EM තාක්ෂණය හා ජෛවීය පොහොර භාවිතය යනාදිය ශ්‍රී ලංකාවේ ද ප්‍රචලිත කිරීමෙන් කිසිවිටෙකත් නැවත රසායනික පොහොර සඳහා ගමන් ගැනීමට අවශ්‍ය නොවනු ඇත. එසේම නව තාක්ෂණය මඟින් අවශ්‍ය ප්‍රමාණයට කාබනික පොහොර තැනීමට ශාක සත්ත්ව මල අපද්‍රව්‍යයන් හෙවත් කැළි කසළ නොමැති වුව ද කාබනික වගාවක් කරා යන ගමනට එය බාධාවක් නොවේ. මේ අනුව සලකා බැලීමේදී කාබනික වගාවට අවතීර්ණ වීම තුළ නීරෝගි සම්පන්න සුඛිත මුදිත ජීවිත ගත කරන ශ්‍රී ලාංකීය ජනතාවක් ඉතා නුදුරේදීම බිහි වනු නොදනුමානය. එය කිසිදු බලවේගයකට ආපස්සට හැරවිය නොහැකි වනු ඇත.

ආචාර්ය සූරතිස්ස දිසානායක පරිසර විද්‍යා හා සත්ත්ව විද්‍යා අධ්‍යයන අංශය  කොළඹ විශ්වවිද්‍යාලය

 

 

 

චතුමී පිටිපන

(Courtesy of dinamina.lk)

Leave a reply: