පවතින මත ගැටුම් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම ජන්දයට යන්න හදයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර සන්ධාන ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුවද පොහොට්ටුවේ නායකයන් සීමාව ඉක්මවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රහාර එල්ල කිරීම ගැන කලකිරී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයෝ කිහිප දෙනෙක් මහ මැතිවරණය වෙනම තරග කළ යුතු බවට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ට යෝජනා කර තිබේ .

කොළඹින් ලැබෙන වාර්තා අනුව දයාසිරි ජයසේකර ,පේශල ජයරත්න ,දුමින්ද දිසානායක ,ඇතුළු පිරිසක් මෙම අදහස ඉදිරිපත් කර ඇතැයි කියති .ජන පදනමක් ඇති පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සෑහෙන මැතිවරණ ආසන සංඛ්‍යාවක් ලබා ගත හැකි බැවින් මෙලෙස තනිව තරග කිරීම වඩාත් වාසිදායක බව ඔවුන්ගේ මතයයි .මේ බව පක්ෂ මධ්‍යම කාරක සභාවට යෝජනා කරන්නේයැයි එහි උප සභාපතිවරයෙකු වන පේශල ජයරත්න මහතා අද ප්‍රකාශ කළේය .

ප්‍රසන්න රණතුංග ,රොෂාන් රණසිංහ ඇතුළු පිරිස් සීමාව ඉක්මවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පහර දීමත් ,මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අපේක්ෂක කණ්ඩායම් නායකත්වය බාරදීමට එරෙහිව සටන් කිරීමත් නිසා පැවති ප්‍රශ්නය උග්‍ර වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ .

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගැන පූර්ණ විශ්වාසය තබා ඔවුන් සමග සාකච්ඡා කිරීමෙන් පසු මේ පිළිබඳව අවසන් තීරණය ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයෝ අපේක්ෂා කරති .

Leave a reply: