පළාත් සභා පනත කාලීනව වෙනස්විය යුත්තේ ඇයි?

පළාත් සභා මැතිවරණය යළිත් සක්‍රීය මාතෘකාවක් බවට පත් වෙමින් තිබේ. එය පවත්වන දිනය සම්බන්ධයෙන් මාධ්‍යවල විවිධ මත පළවිය. ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිසම අතර මැතිවරණය පැවැත්වීම පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වූ බවද වාර්තා වී තිබිණි. කෙසේ වුවද සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල ඇමැතිවරයා පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කළ විමසීමකදී ප්‍රකාශ කර තිබුණේ සංශෝධන පිළිබඳ සාකච්ඡා කළද පළාත් සභා මැතිවරණය පැවැත්වෙන දින වකවානු සම්බන්ධයෙන් සාකච්ඡා නොකළ බවකි.

මැතිවරණ දිනය පිළිබඳ නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කිරීම හෝ නොකිරීම දේශපාලන තීන්දුවකි. එහෙත් මැතිවරණයකින් පළාත් සභාවක බලය හිමිවන පක්ෂයට ස්ථාවර පාලනයක් ගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගණනාවක් පළාත් සභා මැතිවරණ ක්‍රමය සංශෝධන පනත් කෙටුම්පතට යෝජනා වශයෙන් ඉදිරිපත් වී ඇතැයි ප්‍රකාශ වී තිබීම සතුටකි. ඒ අනුව ජයග්‍රාහී පක්ෂයට හිමිවන ප්‍රසාද මන්ත්‍රී ධූර දෙකක සංඛ්‍යාව ඉහළ නැංවීමට යෝජිතය. එය සිදු කරන්නේ කිසියම් පළාතක් වෙනුවෙන් හිමිවන බෝනස් මන්ත්‍රී ධුර දෙක එක දිස්ත්‍රික්කයකට ආසන දෙකක් වශයෙන් සංශෝධනය කිරීමෙනි. දිස්ත්‍රික්ක 03 ක් ඇති බස්නාහිරට බෝනස් මන්ත්‍රී ධුර 06ක් දිස්ත්‍රික්ක 02ක් ඇති උතුරුමැදට බෝනස් මන්ත්‍රී ධුර 04ක් වන ආකාරයට බෝනස් මන්ත්‍රී ධුර සංඛ්‍යාව ඉහළ යනු ඇත. එහිදී එක් පළාතකට මෙතෙක් හිමිවූ බෝනස් මන්ත්‍රී ධුර 02ක් වෙනුවට 06, 04 වැනි සංඛ්‍යාවක් හිමිකර ගැනීමට ජයග්‍රාහී පක්ෂයට අවස්ථාව පෑදෙනු ඇත.

එම ක්‍රමය අනුව ස්ථාවර පළාත් සභාවක් ගොඩනැගෙයි. ඒ අතර ප්‍රදේශයට වගකියන මන්ත්‍රීවරයකු සිටීමේ වැදගත්කමද සලකා මන්ත්‍රීවරුන්ගෙන් සියයට 70ක් කොට්ඨාස ක්‍රමයටත් සියයට 30 සමානුපාත ක්‍රමයටත් තෝරා ගැනීම සඳහා වන සංශෝධනයක්ද යෝජනා වී තිබෙන බවද සඳහන්ය. එම යෝජනා අනුව පළාත් සභාවකින් ඉටුවිය යුතු සේවාව වඩාත් කාර්යක්ෂම කිරීමට අවශ්‍ය වන කාරණා දෙකම ඉටුවෙයි. එය ජනතාවගේ අවශ්‍යතා යම්තාක් දුරකට හෝ සම්පූර්ණ කර ගැනීමට ඉවහල් කරගත හැකි යහපත් යෝජනා වශයෙන් අපි දකිමු.

අදාළ යෝජනා ඇතුළත් පළාත් සභා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත පළාත් සභා ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. ඊළඟට අවශ්‍ය වන්නේ සියලු‍ අදහස් සහ යෝජනා සැලකිල්ලට ගනිමින් හැකි ඉක්මනින් එම සංශෝධන සහිත පනත් කෙටුම්පත සම්මත කර ගැනීමය. විවිධ මට්ටමේ තාක්ෂණික ගැටලු‍ ඉදිරිපත් කරමින් පළාත් සභා ඡන්දය කල් දැමීමට මේ පනත් කෙටුම්පත දඩමීමා කර ගැනීමෙන් වැළකීම යහපත් බව සියලු‍ දේශපාලන පක්ෂ නායකයන් විසින් දැඩිව අවධානයට ගත යුතුය. ඡන්ද කල් දැමීමට නොයෙකුත් උප්පරවැට්ටි යෙදූ හිටපු යහපාලන ආණ්ඩුව අවසානයේ නොතියා බැරි තැනට පැමිණ පැවැත්වූ පළාත්පාලන ඡන්දයෙන් ලැබූ ප්‍රතිඵලය මතක තිබෙන ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් නම් කිසිදාක ඡන්දයක් කල්දැමීමට හීනෙකින්වත් නොසිතනු ඇති බව අපගේ විශ්වාසයයි.

මේ අතර සියලු‍ මැතිවරණ ක්‍රම සංශෝධනයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට අදාළ යෝජනාවක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. සියලු‍ මැතිවරණ ක්‍රම සහ නීති සංශෝධනය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි. පළාත් සභා මැතිවරණය ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති තීන්දුවක් හේතුවෙන් සිරවී ඇති බවත් ඒ ගැටලු‍ව නිරාකරණය කර ගැනීමට කටයුතු කරගෙන යන බවත් ඇමැතිවරයාගේ ප්‍රකාශයේ සඳහන් විය.

මැතිවරණ ක්‍රම කාලීනව සංශෝධනයට ලක් කිරීමේ වරදක් නැත. එහෙත් එම සංශෝධන හරහා සිදුවිය යුත්තේ පවතින මැතිවරණ ක්‍රම වඩාත් සරල සහ පහසු කිරීමත් ජනතාවට උපරිම ඵලදායී සේවාවක් ලබාදීමට හැකිවන ශක්තිමත් පාලන ව්‍යුහයක් ගොඩනැංවීමට අවස්ථාව උදාකර ගැනීමත්ය. ඒ වෙනුවට පළාත් පාලන සංශෝධන හරහා සිදුකර ගන්නා ලද අවුලම ඇතිවෙයි නම් එවැනි සංශෝධනවලින් ජනතාවට සිදුවන සෙතක් නැති බව පෙන්වා දිය යුතුය.

එම ක්‍රමය යටතේ හිටපු මන්ත්‍රීන් සංඛ්‍යාව මෙන් දෙගුණයක් මන්ත්‍රීවරුන් සිටියද ඇතැම් පළාත්පාලන ආයතනවල සභාපතිවරුන් පත් කර ගැනීම පවා මහත් අර්බුදයකට ගියේය. ඇතැම් කොට්ඨාසවලට නිශ්චිත මන්ත්‍රීවරයකු නැති වුවද තවත් කොට්ඨාසවලට හිමිකම් කියන මන්ත්‍රීවරු  කිහිපදෙනා බැගින් සිටිති. තවත් අවස්ථාවල මන්ත්‍රීවරු ‘‘වෙන්දේසි’’ වූහ. මේ කිසිවක් ජනතාවගේ පැත්තෙන් සිතාගත් යහපත් තීරණවල ප්‍රතිඵල නොවන බව කිවයුතු නැත. හැම අතින්ම පළාත් පාලන ආයතනවල මුදල් නාස්තිවීම එම සංශෝධනයේ කැපී පෙනුණ ලක්ෂණය විය.

පළාත් සභා ඇතුළු සියලු‍ මැතිවරණ ක්‍රම සංශෝධනය කිරීම නොකළ යුත්තේ කෙසේද යන්නට පළාත්පාලන සංශෝධනය හොඳ උදාහරණයක් බව පමණක් කීම ප්‍රමාණවත් වනු ඇත.

(Courtesy of Lakadeepa.lk)

Leave a reply: