ප්‍රවීණ රංගවේදී ආචාර්ය ජයලත් මනෝරත්නයන් රඟ මඩලින් සමුගනී .

දිවයිනේ කෘතහස්ත රංග වේදියෙකු ලෙස කීර්තියට සහ සම්භාවනාවට පාත්‍ර වූ ප්‍රවීණ රංගවේදියකු වූ ආචාර්ය ජයලත් මනෝරත්නයන් ඊයේ අලුයම අභාවප්‍රාප්ත විය .මිය යන විට 71වන වියේ පසුවූ ආචාර්ය මනෝරත්නයන් නුවරඑළිය දෙහිපේ ගම්මානයේ උපත ලබා පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය සඳහා පේරාදෙණි සරසවියට පිවිස එහිදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් යටතේ නාට්‍ය හා රංග කලාව මෙන්ම පෙරදිග භාෂා ශාස්ත්‍ර සහ කලා විෂයයන් පිළිබඳව උසස් අධ්‍යාපනය ලැබී ය .

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණ වූ මනමේ, සිංහබාහු, බව කඩතුරාව, පේමතෝ ජායති ශෝකෝ ආදී නාට්‍ය රැසකට රංගනයෙන් මෙන්ම තවත් විවිධ අංශවලින් සහය දැක් වූ ආචාර්ය ජයලත් මනෝරත්නයන් පසු කාලයේදී ගුරු තරුව, තල මල පිපිලා, බූරුවා මහත්තයා ආදී ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණ ගණනාවක්ම ප්‍රේක්ෂකයාට දායාද කළේය .

වේදිකාව සිනමාව රූපවාහිනිය මාධ්‍ය යන ක්ෂේත්‍ර තුනෙහිම ප්‍රවීණයකු වූ ඔහු 1991 සහ 92 වසරවල මෙරට හොඳම රංගවේදියා වශයෙන් ජනාධිපති සම්මාන ලැබීය . ඉන්පසුව ඕසීඅයිසී, සුමති ටෙලි සිනමා සම්මාන උළෙල, සරසවි සම්මාන උළෙල ආදී සම්මාන උළෙල රැසකදී ප්‍රවීණ රංගවේදියකු වශයෙන් සම්මානයට පාත්‍ර විය .විශ්ව විද්‍යාල ගණනාවක ඔහු ආචාර්යවරයෙකු ලෙස රංගවේදය සහ කලා ශිල්ප විෂයන් ඉගැන්වීය. රංගවේදියකු ලෙස ඔහු දැක් වූ ප්‍රවීණත්වයට ගෞරව පිණිස පේරාදෙණිය සරසවියෙන් ඔහුට ගෞරව ආචාර්ය උපාධියක්ද පිරිනැමීය. නාට්‍ය හා රංග කලාව ගැන මෙන්ම තවත් විවිධ කලා විෂයන් ගැන ග්‍රන්ථ ගණනාවක් ආචාර්ය ජයලත් මනෝරත්නයන් විසින් සම්පාදනය කළේ ය .

සැත්තෑ එක් වසරක් තුළ සපුරා ඉටු කරන ලද කාර්යභාරය ඇති ආචාර්ය ජයලත් මනෝරත්නයන් වෙත අපේ ගෞරවය සහ ආචාරය පුද කරමු .

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page