පාතාල නායක මාකදුරේ මධූෂ් ඝාතනය කෙරේ.

මෙරට සිටි ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු සහ හෙරොයින් ජාවාරම්කරුවෙකු වන මාකදුරේ මධූෂ් අද අලුයම මාලිගාවත්තේදී සිදු වූ වෙඩි හුවමාරුවකින් ඝාතනය ට ලක්විය .ඔහුත් සමඟ කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ද බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණි .

මාකදුරේ මධූෂ් මිය යන විට පසුගිය කාලයේ මෙරට සිදු වූ කුඩු ජාවාරමේ අලගිය මුලගිය තැන් හා ඊට වගකිවයුත්තන් ගැන පොලීසියට ප්‍රබල හෙළිදරව්වක් කර තිබූ බව වාර්තා වෙයි .

වසර 2006 දී දකුණු පළාත් සභා අමාත්‍ය ඩැනී හිත්තැටියගේ ඝාතනය සැලසුම් කරමින් අපරාධ ලෝකය ට පිවිසි මාකදුරේ මධූෂ් ඉන්පසු ප්‍රබල පාතාල හා කුඩු ජාවාරම්කරුවෙකු බවට පත් විය.කලකට පෙර ඩුබායි රාජ්‍යයට පැනගත් මධූෂ් එහි සිට කුඩු ජාවාරම මෙහෙයවීය.

ශ්‍රී ලංකාව ,ඉන්දියාව ,පකිස්තානය,බංග්ලාදේශය සහ මාලදිවයින යන රටවල්වලට ඔහු විසින් කුඩු අලෙවි කරන ලදැයි වාර්තා වෙයි .

2019 වසරේ මැයි මාසයේ ඩුබායිහීදී අත් අඩංගුවට පත් වූ ඔහු මෙරටට පිටුවහල් කළේය .අනතුරුව සී.අයි.ඩී බාරයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ ඔහු රඳවා තැබීය .මධූෂ් එහි රැඳී සිටිමින් මෙරට කුඩු ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට ක්‍රියා කර ඇත .

පසුගිය සතියේ කුඩු කිලෝ 10 ක් මාලිගාවත්තේදී අල්ලා දුන් අතර ඊයේ අලුයම 3.30 ට පමණ තවත් කුඩු කිලෝ 22 ක් අල්ලා දීම පිණිස මාලිගාවත්ත මහල් නිවාසයට ගියේ පොලීසිය සමඟ ය.එහිදී පාතාල අපරාධකරුවන් මධූෂ් ට සහ පොලිස් නිලධාරීන් ට වෙඩි තැබීම නිසා ඝාතනය සිදු වී ඇතැයි පොලීසිය පවසයි .

ඝාතන සහ අපරාධ රැසකට සම්බන්ධ මාකදුරේ මධූෂ් ගේ ඝාතනය සම්බන්ධව අධිකරණ පරීක්ෂණය අද දින පැවැත්වීමට නියමිතය .ඉන් අනතුරුව ඔහුගේ දේහය බාර ගැනීම සඳහා සිය පවුලේ නෑදෑයින් මාතර මාකදුරේ සිට කොළඹ ට පැමිණ ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි .

Leave a reply: