පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව ආන්දෝලනාත්මක හෙලිදරව්වක යෙදී සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ සාක්ෂියටත් වඩා බරපතළ තොරතුරු හෙළිදරව් කිරීමට හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සූදානම් වන බව වාර්තා වෙයි.

ඒ සඳහා ඔහු පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය ගැන කරුණු විමසන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

තමන් ආරක්ෂක මණ්ඩල රැස්වීම් වලට නොකැඳවීමට බල පෑ හේතු මෙන්ම මෙතෙක් මාධ්‍යට හෙළි නොකළ හිටපු ජනපතිගේ උපදෙස් ගණනාවක් ගැන පොලිස්පතිවරයා සියලු තොරතුරු ඉදිරිපත් කිරීමට සූදානම් වන බවඔහුට සමීප ආරංචි මාර්ග කියයි.ඒ අතර හිටපු ආරක්ෂක ලේකම්වරයා සමඟ ජනාධිපතිවරයා උරණ වීමට බලපෑ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ගනුදෙනුවක් සම්බන්ධයෙන්ද තොරතුරු හෙළිදරව් කිරීමට හේමසිරි ප්‍රනාන්දු මහතා සූදානම් වන බව නිල නොවන ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මෙම කරුණු ගැන ඉව වැටීමත් සමඟ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම ආරක්ෂක ලේකම්වරයා අසත්‍ය කරුණු කොමිසම හමුවේ ප්‍රකාශ කරන බවට නිවේදනයක් නිකුත් කරනු ලැබීය.කෙසේ නමුත් තමන් ප්‍රකාශ කරන සියලු කරුණු තහවුරු කිරීමට සාක්ෂි තමා සතුව ඇති බව හේමසිරි ප්‍රනාන්දු පාර්ශවය පවසයි.හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ මෙම තොරතුරු හෙලිදරව්වෙන් පසු මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ගැන කරුණු විමසන කොමිසම හමුවට කැඳවා සාක්ෂි විමසීමට නියමිතය .එය කොමිසම කැඳවන අවසන් සාක්ෂිය බවද වාර්තා වෙයි .

Leave a reply: