මවන සිරි අසිරිනී වන නදිය රෝහිණී

දකුණු ලක වන අසිරිය කියූ පමණින් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වන්නේ යාල, බූන්දල, උඩවලව වැනි වනපෙත් වෙතටයි. එහෙත් මේ වනපෙත් හා සමැව නොවූවත් තමන්ටම අනන්‍ය වූ සොබා සෞන්දර්යයක් ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය සතුවත් පවතිනවා. සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් දිනා නොගත්තත් සංචාරක ආකර්ෂණය දිනා ගත හැකි වියළි කලාපීය ජෛව විවිධත්වයකින් පොහොසත් ලුණුගම්වෙහෙර වනපෙත තුළ ඉදි වුණු වෙහෙරගල ජලාශය හේතුවෙන් ඒ අගය තව තවත් වර්ධනය වුණු බවත් මෙහිලා සදහන් කළ යුතුමයි.

ලුණුගම්වෙහෙර කැලේ ඇතුළට වන්නට සොඳුරු වැව් පරිසර පද්ධති රාශියක් තිබෙනවා. නම් හැටියට කියනවා නම් තල්ගහදිගන වැව, කිවුල්පිටිය වැව, බොල්හිඳගල වැව, නුගේ වැව, රෝහිණී වැව, රත්මල් වැව ඒ අතරින් ප්‍රමුඛයි. සොඳුරු බවින් පිරිපුන් මේ වැව් වටා ප්‍රදේශයන් සොඳුරු හිතැත්තන්ට නිබඳව ගෙන එන්නේ සොදුරු ඇරියුම්.

වෙහෙරගල ජලාශ ව්‍යාපෘතිය. අදින් වසර 10කට විතර ඉස්සර දකුණු කලාපයෙන් නිතරම අහන්නට ලැබුණු වාරි ව්‍යාපෘතියක නමක්. ඒ ව්‍යාපෘතියට සමගාමීව ලුණුගම්වෙහෙර වන පෙත තුළ පිහිටා තිබුණු පරණ වැව් අලුත්වැඩියා වුණා වගේම තමයි අලුතින් එක් වූ වැව් පද්ධතීනුත් අද මේ වියළි කලාපීය වනපෙතට එකතු කරන්නේ නවමු සජීවී බවක්. වන වැසියන්ට මහත් වූ අස්වැසිල්ලක්. මෙදවස ලුණුගම්වෙහෙර රූ සිරි වර්ධනය කිරීමේලා නිහඬ මෙහෙවරක නිරත වන ‘රෝහිණී වැව‘ නැතිනම් ‘දන්ගහවැව’ නිමැවුම් කාර්යයන් ඉදි වන සමයේ හරිම අපූරු සිදු වීමක් සිදු වුණා. ඒ සිදු වීමම දන්ගහ වැව කියන නම රෝහිණි වැව ලෙස ව්‍යවහාරයට එකතු වෙන්නත් හේතුවක්. එවකට වෙහෙරගල වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිමට අයත් සීමාව ආශ්‍රිත රාජකාරීවල නිරත වුණු මා මේ වැව සමීපයේ තෙමසකට ආසන්න කාලයක් කූඩාරම් බැඳ ගෙන නියමිත රාජකාරිවල නිරත වූ බව සිහිපත් කරත්ම අද දවසේ ඒ පිළිබඳ සිතේ ඇති වන්නේ සොඳුරු වු හැඟුම් සමුදායක්. කොයි මොහොතේ අලින් කඩා පැන කූඩාරම් සුනුවිසුනු කරමින් අප පහසු පාපන්දු බවට පෙරළා ගනි දෝහෝයි දෙගිඩියාවෙන් එදවස රැය පහන් කළ ද, ඒ ප්‍රායෝගික වූ ඉගැනුමම අද වන දිවියට මහත් වූ ශක්තියක් බවට පත් ව ඇති බව ද සිහිපත් කළ යුතුමයි.

වෙහෙරගල ව්‍යාපෘතිය යටතේ ඉදි වුණු මේ වැව, ‘රෝහිණී වැව’ වුණේ මෙන්න මෙහෙමයි. වෙහෙරගල ව්‍යාපෘතියේ එක් අරමුණක් වුණේ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය අවට ගම්මානවල දිළිඳු ගැමියන්ට රැකියා දීමයි.

වෙහෙරගල ව්‍යාපෘතියේ වැඩ කිරීමට කිරිඉබ්බන්ආර කියන ප්‍රදේශයෙන් ‘රෝහිණී’ නම් වු කාන්තාවකුත් වැඩට ආවා. මේ වැවේ වැඩ ආරම්භ කළ දවසේ සිටම, මේ අලුත් වැඩ බිමේ තමයි රෝහිණී වැඩ කළේ. වැඩ බිම පරීක්ෂාවට හිටපු මහත්තයෙකුයි – රෝහිණියගෙයි ආදර කතාව ආරම්භ වුණේ මේ අලුත් වැවේ ආරම්භයට සමගාමීවයි. වැවේ වැඩ දිනෙන් දින අවසන් වෙන්න, වෙන්න මේ දෙන්නගෙත් ආදරය මෝරන්නට පටන ගත්තා.

වැවේ වැඩ අවසන් වෙන්න කිට්ටුව ඒ දෙන්නා විවාහ වුණා. මේ ආදර කතාව උපන් වැවේ වැඩ අවසන් වෙනවාත් එක්කම වාගේ වැහැපු වැස්සෙන් අලුත් වැව පිරුණා, හරිම ලස්සනට. මෙන්න මේ ලස්සන වැවේ ආරම්භය තමයි රෝහිණීගේ ජීවිතයත් ලස්සන කළේ. ඒක සිහිපත් කරන්නට තමයි වෙහෙරගල ව්‍යාපෘතියේ වැඩ කළ කා අතරත් මේ අලුත් වැව ‘රෝහිණී වැව‘ නමින් ව්‍යවහාරයට එකතු වුණේ.

එසේ උපන් රෝහිණී වැව අද ලුණුගම්වෙහෙර වනපෙතට ඉටු කරන්නේ අනගි මෙහෙයක්. එය පැසැසිය යුතුමයි. වෙහෙරගල ජලාශයේ සිට ලුණුගම්වෙහෙර ජලාශය දක්වා ජලය අරගෙන යන පෝෂිත ඇළ මාර්ගයේ පිහිටලා තියෙන මේ වැව අතිරික්ත ජලය ගබඩා කර තබා ගෙන වනජීවීන්ගේ ජල අවශ්‍යතාව සම්පූර්ණ කරන්න මහන්සි වෙන්නේ සජීවී ප්‍රාණියෙක් හා සමානවයි. ඒ කියන්නේ ලුණුගම්වෙහෙර වනවාසීන්ගේ ප්‍රාණය හා සමානයි රෝහිණිය. රෝහිණියගේ උත්පත්තිය පරණ වුණත් ඇය අලුත උපන් එකියක් වගෙයි. ඈ දියවරෙන් පිරිලා. රාස්සිගේ අව් රැලි වැටී දිදුලන ඇගේ වත කමල හරිම සුන්දරයි.

වැව් තෙර තනි වූ මත් ගෝණෙක් ටං ගාන්නේ ඔහුගේ ආරාධනයට පිළිවදන් මේ වනපෙතේ අහුමුලුවලින් නැඟෙතැයි බලාපොරොත්තුවෙන් වගෙයි. වැව් පිටියෙන් නැගී ආ උස් ටං හඬට පිළිතුරු හීන් ස්වරයේ ටං ගෑම නඟන්නේ ගෝණ දෙනක්. රෝහිණිය, වැව් කොමළිය අබිමුව පෙම්වත්ව රඟන ගෝණුන් දෙදෙනාගේ පෙම් හබයේ සාක්ෂිකරු වනුයේ නිහඬ වනපෙතයි.

සඳමල් රශ්මී ශ්‍රී බුද්ධික

ඡායාරූප – රංග විජේරත්න

(Courtesy of dinamina.lk)

Leave a reply: