මිලින්ද මොරගොඩ විරෝධය .

ඉන්දීය මහ කොමසාරිස් පදවියට නම් කර සිටින හිටපු ඇමති මිලින්ද මොරගොඩගේ පත් වීමට එරෙහිව ඇතැමුන් මත ප්‍රකාශ කරන්නට පටන්ගෙන තිබේ. හොඳටම බියට පත්වී ඇත්තේ ශ්‍රී ලංකාවේ විපක්ෂයයි .කලක් විපක්ෂය සමග සිටි මිලින්ද ගේ දක්ෂතාවයේ තරම මේ ආණ්ඩුවටත් වඩා හොඳින් විපක්ෂය දනී. ඔහු ඔහු ඉන්දීය මහකොමසාරිස් පදවියට පත් වුවහොත් 2015 දී විපක්ෂය ඉන්දියාව සමග එක්ව මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට කළ දේ ගෝඨාභය රජයට කරන්නට ඉඩ නොදෙන බව සහතිකය .

ඉන්දියාව පමණක් නොව වත්මන් රජය සමග හොඳ සබඳතා නැති ඇමෙරිකාවටත් ව්‍යාපාරික සබඳතා ඇති චීනය සහ ජපානයත් තුලනය කළ හැක්කේ මිලින්ද වැනි විශේෂ චරිතයකට පමණි .ඒ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම බැසිල් රාජපක්ෂ මහතාද දනී. මිලින්දගේ පත්වීම සිදුවූයේ ඒ අනුව බව වාර්තා වෙයි .

මාස දහයක් පමණ පුරප්පාඩුව පැවති ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට මෙයට පෙර ශ්‍රී ලංකාව විසින් සුප්‍රකට පුද්ගලයන් ගණනාවකගේ නම් යෝජනා කරනු ලැබීය.එහෙත් ඒ නම් කිසිවකටත් ඉන්දියාව එකඟ වූයේ නැත. අවසානයට මිලින්දගේ නාමයෝජනා කළ ද ඔහු ඊට දැඩිව අකමැත්ත ප්‍රකාශ කළේය.එබැවින් ප්‍රශ්නය ඇදී ගියේය.මාස හතරක් පමණ මේ ගැන සංවාදය පැවතුණි. අවසානයේ ඉන්දීය අගමැතිවරයාගේ විශේෂ නියෝජිතයෙකු වන පාලක ජනතා පක්ෂයේ ලේකම්වරයකු වන රාම් මාධව් මෙරටට පැමිණ රජය සමඟ මෙම ප්‍රශ්නය ගැන සාකච්ඡා කළේය .රජය අවසානයේ මිලින්දගේ නම යෝජනා කළ විට මිලින්ද මොරගොඩ මෙම තනතුරට පත් කරන්නේ නම් තමන් එයට විරුද්ධ නොවන බව ඉන්දීය නියෝජිතයා සඳහන් කර ඇත.ඔහු හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු නිසා ඉන්දීය තානාපති සම්ප්‍රදායන් අනුව ඔහුට කැබිනට් ඇමති වරප්‍රසාද ලබාදෙන බවත් කියා තිබිණි . ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිලින්ද පත් කිරීමට තීන්දු කළේ බොහෝ දුර දිග බලාය.

මිලින්ද මොරගොඩට විරෝධය දක්වන කිසිවකුට ඉන්දියාව චීනය ජපානය හා ඇමරිකාව එකට යාකොට ජාත්‍යන්තරයේදී ශ්‍රී ලංකාව රකින්නට පුළුවන්කමක් නැත. ඇතැම් දැඩි මතධාරීන් ප්‍රකාශ කරන ආකාරයට ඇමරිකාව ඉන්දියාව චීනය ජපානය වැනි බලවත් රටවල් අමතක කොට ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට හුද කලා පැවැත්මක් නොමැත. මිලින්ද තබා වෙන කිසිවෙකුටවත් ගෝඨාභය රාජපක්ෂ ලවා හෝ මහින්ද ලවා රටට අහිතකර හානිදායක දෙයක් සිදු කරන්නට පුළුවන්කමක් නොමැති බවද විශේෂයෙන් කිව යුතුය. මිලින්ද මෙන්ම අතීතයක් ඇති තවත් බොහෝ දෙනෙක් රජයේ සිටිති .එජාප රජයේ සාම සාකච්ඡා මෙහෙයවූ චන්ද්‍රිකා රජය වෙනුවෙන් පැකේජ ව්‍යවස්ථාව හැදූ මහාචාර්ය ජී එල් පීරිස් අද පොහොට්ටුවේ සභාපතිය.එහෙත් ජී එල් පීරිස් මහතා රට පාවා දෙන්නෙක්ද ? එම නිසා මිලින්දට චෝදනා එල්ල කිරීමට පෙර ඔහු රට වෙනුවෙන් කරන්නට යන්නේ කුමක්දැයි විමසා බැලිය යුතුය. වත්මන් රජයේ බොහෝ දෙනෙක් විරුද්ධතාව ප්‍රකාශ කරන ඉන්දියාව අපේ කර මත පැටවූ පළාත් සභා ක්‍රමයට එරෙහිව ඒ සියලු දෙනාට පෙර අදහස් දැක්වූයේ මිලින්ද මොරගොඩය. එවැන්නෙක් ඉන්දියාවේ මහ කොමසාරිස් පදවියට පත්කිරීමම ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් අභියෝගාත්මක තීන්දුවකි.ඒ කෙසේ වෙතත් මිලිින්ද මොරගොඩ රටට එරෙහිව වරදක් කරන්නට යන්නේනම් එදාට ඔහුට කිසිවෙකුගේ සහය හිමි නොවනු ඇත යන්න අමුතුවෙන් කිව යුතු නොවේ .

Leave a reply: