මේ රටේ සැබෑ ගොවියා කාබනික ගොවිතැනට සහාය දෙනවා

කාබනික වගා සංග්‍රාමයට දැන් රටම පෙළගැසෙමින් පවතී. මේ සාමුහික ව්‍යායාමයේ නියමුවන් වන්නේ කුඹුරට බසින ගොවියාය. රටේ බහුතරයක් ගොවියෝ රටට බත සපයන්නෝය. කාබනික වගා සංග්‍රාමයට ඔවුන් දක්වන ප්‍රතිචාරය කුමක්ද? ඔවුන්ගේ අදහස් යෝජනා මොනවාද? මේ සම්බන්ධයෙන් ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් සහ රාජාංගණය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති නිහාල් වන්නිආරච්චි මහතා සමග කළ සාකච්ඡාවකි මේ.

– දේශපාලන පක්ෂවල න්‍යායන්වලට කොටු වුණු අය ඉන්නවා
– ගොවියාට නිෂ්පාදන ටික ඝෘජුවම විකිණිය හැකි ක්‍රමයක් සැකසිය යුතුයි
– තමන්ගේ ගොවිතැනට අවශ්‍ය පොහොර ටික හදා ගන්න පුළුවන් ගොවින් ඉන්නවා

කාබනික කෘෂි කර්මාන්තය සාම්ප්‍රදායික ගොවිතැනත් සමඟ බැඳුණු වත්මන් පරපුරේ ගොවීන්ට ආගන්තුක අත්දැකීමක් බවට නිරන්තරයෙන් අදහස් මතු වෙනවා. මේ පිළිබඳව ඔබේ අත්දැකීම සහ මතය කුමක් ද?

කාබනික පොහොර, විශේෂයෙන් කොම්පෝස්ට් පොහොර යෙදීම සියයට සියයක් භාවිතයට ගැනුණේ දේශීය පාරම්පරික ගොවිතැනත් සමඟ බැඳුණු තාක්ෂණයත් සමඟයි. ඒ කාබනික වගාව පිළිබඳ ආරම්භය වුණත් මේ පිළිබඳව විටින් විට කතා බහට ලක් වුණා. කතා බහට ලක් වුණා පමණක් නෙමෙයි, කාබනික වගාවට ගොවීන් නැඹුරු කරවීමට සහ උනන්දුවක් දැක්වීමට රාජ්‍ය මට්ටමේ මැදිහත්විම් ද ලැබුණා. අපේ මතකයේ හැටියට ඒ ආසන්නතම කාල සීමාව 2000 වසර. කාබනික කෘෂි කර්මාන්තය පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා වගේම මෛත්‍රිපාල සිරිසේන මහතාත් සිය පාලන කාලය තුළ යම් යම් දිරිගැන්විම් සිදු කළා. විශේෂයෙන් පාරම්පරික දේශීය වී ජනතාව අතර ප්‍රචලිත කිරීම වගේම උතුරුමැද පළාත තුළ ශීඝ්‍රයෙන් වකුගඩු රෝගය පැතිර යෑමත් සමඟ ජනතාව කාබනික භාවිතය දිරිගැන්විමට ඔවුන් කටයුතු කළා. ඒ කාලයේ එය ජනතාව අතරට ගියේ කොම්පෝස්ට් පොහොර කියන නමින්. කෘෂිකර්ම නිලධාරීන් මඟින් ගොවීන් මේ වැඩසටහනට බද්ධ කරගෙන ගෙවතු වගාව දිරි ගන්වමින් හැම ගෙවත්තකම කොම්පෝස්ට් කුලුනක් හැදීමට පවා කටයුතු කරනු ලැබුවා. මේ වැඩසටහනට පාසල් දරුවන් ද සම්බන්ධ කර ගත්තා. ඒ නිසා කාබනික වගාව ඒ තරම් පැරණි යල් පැන ගිය එකක් නෙමෙයි. එහෙත් රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත්වුණු පළමු අවස්ථාව මෙයයි.

ඒත් වැඩි දෙනෙක් කියන්නේ අපිට ඕවා හුරු නෑ. දන්නේ නෑ වගේ මතවාද?

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඒ ඒ ආණ්ඩුවලින් දෙන උපදෙස් අනුව ගොවින්ට ඔය පණිවුඩය ගමට අරන් ගියා. එහෙත් එයට එතරම් සංවිධානාත්මක හෝ සැලසුම් සහගතව ඊට ජනතාව පෙළගැස්වූයේ නෑ. ඇතැම් අය විනෝදයටත් එක්ක කොම්පෝස්ට්වලට ගියා. තවත් අය වකුගඩු රෝගයට බයෙන් රසායනික තෙල් පොහොර වෙනුවට කැලේ කොළේ දිරාපත් කර කොම්පෝස්ට් වළක් හදා ගත්තා. මේ වැඩසහටන්වලට හැමෝම සම්බන්ධ වුණේ නෑ. විශේෂයෙන් ගෙවතු වගාව මිස වි ගොවිතැන, අතිරේක භෝග වගාව, බිජ නිෂ්පාදනය කරන ගොවීන් මේ කාර්යයට එකතු වුණේ නැති නිසා ඔය කියන අදහස සමාජයෙන් මතු වෙනවා.

2000 වසරෙන් පසුව සෑම රජයක්ම ගොවින්ට දෙන රසායනික පොහොර ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අඩු කළා නේ ද?

ඔව්. ඒ වන විට රසායනික පොහොර යෙදිමේ මට්ටම සීමාව ඉක්මවා යමින් පවතින බව අනාවරණය වෙමින් තිබුණා. විශේෂයෙන් පසේ පොස්ෆරස් ප්‍රමාණය පසට අවශ්‍ය ප්‍රමාණයට වඩා ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බවත් එසේ වුව හොත් පසේ සාන්ද්‍රණය වෙනස් වි පස රෝගි විය හැකි බවටත් මත ඉදිරිපත් වුණා. ඒ නිසා තමයි ගොවින්ට දෙන පොහාර ප්‍රමාණය අඩු කළේ. 2000 වසරට පෙර අක්කරයකට එම්.ඕ.පී. කිලෝ 55ක්, ටි.එස්. පී. කිලෝ 50ක්, යුරියා කිලෝ 125ත් හැම ගොවියකුටම දුන්නත් 2000 අවුරුද්දේ එම්.ඕ.පී. කිලෝ 20ක්, ටි.එස්.පී. කිලෝ 10ක් යුරියා කිලෝ 80ක් අඩු කරලා තමයි ගොවියකුට සහනාධාර ක්‍රමය යටතේ ලැබුණේ.

ඒ වෙලාවෙත් රජය පොහොර කප්පාදු කරන බවට ඇතැම් ගොවින් චෝදනා එල්ල කළා නේ ද?

ඇතැම් අය විවිධ දේශපාලන කෝණවලින් ඒ දෙස බලලා විවිධ විවේචන එල්ල කළා තමයි. එහෙත් බහුතරයක් දෙනා ඒ පොහොර ප්‍රමාණය පසට ප්‍රමාණවත් බව අවබෝධ කර ගත් නිසා උද්ඝෝෂණවලට ගියේ නෑ. ඒ මොහොතේ දැන උගත් නිලධාරීන් මේ පිළිබදව මාධ්‍යය මඟින් ද ගොවි ජනතාව දැනුම්වත් කළ නිසා රජයේ තීරණයට එරෙහිව වැඩිමනත් ගොවින් පෙළගැසුණේ නෑ.

රසායනික පොහොරවලට ගොවීන් හුරු කළේ පැවති රජයන් බවට චෝදනාවකුත් තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස කුමක් ද?

පොහොර සහනාධාරය ණය තුරුස්වලින් මිරිකී සිටි ගොවීන්ට බොහොම අස්වැසිල්ලක් වුණා. එහි කිසිම තර්කයක් නෑ. අනෙක වාර්තාගත අස්වැන්නකුත් රටට ආවා. සහනාධාර පොහොර ක්‍රමය මැතිවරණ පොරොන්දුවකින් පැමිණි දෙයක් වුණාට බලයට පත් වුණු සෑම ආණ්ඩුවක්ම තම ප්‍රතිපත්ති ප්‍රකාශනවලට පොහොර සහනාධාරය ඇතුළු කළා. රටේ බහුතරයක් වන ගොවි ජනතාවත් මේ සහනය සෑම රජයකින් ම බලාපොරොත්තු වුණා. ඒ නිසා රජයට චෝදනා කරන්න බෑ. ඒ වගේම ගොවියොත් රජය බිලියන ගණනින් වියදම් කර ලබා දුන් සහනාධාවලින් රටට ණය නැතිව රටේ ධාන්‍යාගරය පිරෙව්වා. අපේ මහන්සිය රටට දුන්නා. ඒ නිසා එකනෙකාට චෝදනා කර ගැනීම පදනම් විරහිතයි කියන එකයි මගේ මතය.

වත්මන් රජයේ කාබනික පොහොර සංග්‍රාමයටත් ඇතැමුන් චෝදනා එල්ල කරනවා. එහිදි මතු කරන්නේ රජය ක්ෂණිකව ගත් තිරණයක් නිසා ගොවීන් අපහසුතාවට පත්ව ඇති බවත් අස්වනු අඩු විමේ අවදානමක් තිබෙන බවයි. මෙය සත්‍යයක් ද?

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කාබනික වගාව ගැන තිබෙනවා. ගොවීන්ට මේ සඳහා සුදානම් විමට ප්‍රමාණවත් කාලයක් නොලැබුණු බවටයි චෝදනා එල්ල වන්නේ. මේ රටේ වැඩි පිරිසක් ගොවින්. ඔවුන්ගේ එකම ආදායම් මාර්ගයත් මෙයයි. වගාව අසාර්ථක වුණොත්, අස්වනු අඩු වුණොත් එය ගොවීන්ගේ ආර්ථිකයට තදබල ලෙස බලපානවා. එහෙත් මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමට සියලු දෙනා දායකත්වය දැක්වීම වැදගත්.

අස්වනු අඩු වුණොත් රජය වන්දියක් ලබා දෙන බවට ප්‍රකාශ කර තිබෙනවා නේ ද?

ඔව්. රජයේ තීරණය ගැන අපේ කිසිම අමනාපයක් නෑ. වන්දි මුදලක් ලැබුණොත් ගොවීන් ඒක භාර ගනීවි. එහෙත් අස්වනු අඩු වුවහොත් රටේ පරිභෝජනයට සහල් ආනයනය කිරීමෙන් රටේ මුදල් පිටරටට දෙන්න වෙනවා. එය සැලකිය යුතු තත්ත්වයක්. රජයට මේ සම්බන්ධයෙන් පැහැදිලි වැඩපිළිවෙළක් ඇතැයි කියන විශ්වාසය ගොවීන් තුළ තිබෙනවා. ඒ නිසා රජයට එරෙහිව පෙළගැසෙන්න ඉදිරිපත් වුණේ නෑ.

රජයේ කාබනික වැඩසටහන තුළින් ඉදිරියේදි ගොවින්ට පහසුවෙන් කාබනික පොහොර සම්පාදනය කර ගැනිමට හැකි නම් ගැටලුවක් ඇති නොවන බවයි වැඩි දෙනකුගේ අදහස. ඒ වැඩපිළිවෙළ කෙබඳු විය යුතු ද?

රසායනික පොහොර භාවිතය සහමුලින්ම නවතා දැමීමේ රජයේ තීරණයට අපි ගරු කරන්නේ මේ රටේ ගොඩනැඟෙමින් තිබුණ රසායනික පොහොර මාෆියාවට එය මරු පහරක් වන නිසයි. රසායනික පොහොර ආනයනයත් ඇතැම් අවස්ථාවල විනිවිදභාවයක් නොමැති තත්ත්වයක් අපි දැක්කා. එම නිසා කාබනික පොහොර සුලබ කිරීමට නම් මේවා රට තුළම නිෂ්පාදනය කර ගත යුතුයි. ඒ නිෂ්පාදන කාර්යයත් රසායනික පොහොර මාෆියාවට සම්බන්ධ අය අතට පත් වුණොත් නම් නැවතත් රට ආපස්සට යනවා. ඒ නිසා අපි ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයෙන් ඉල්ලන්නේ මේ වැඩසටහනට රට පිළිබඳ සද්භාවයෙන් කටයුතු කරන අය සම්බන්ධ කර ගන්න කියලයි.

තවත් යෝජනා මොනවා ද?

අපි තවත් යෝජනාවක් ඉදිරිපත් කරන්න කැමතියි. කවුරු කාබනික පොහොර නිෂ්පාදනය කළත් රජයෙන් සහන මිලට දුන්නත් වෙළෙඳපොළෙන් ගත්තත් ඒවායෙහි ප්‍රමිතිය අනිවාර්යෙන්ම බැලිය යුතුමයි. මේ වන විට දැනටමත් කාබනික පොහොර සහ කාබනික පළිබෝධනාශක නිපදවන කර්මාන්තකරුවන් අපේ රටේ ඉන්නවා. ඔවුන් රජයේ මේ වැඩසටහනට ශක්තියක්. ඒත් ඔවුන්ගේ නිෂ්පාදනවල තත්ත්වය සහ ප්‍රමිතිය පිළිබඳව මෙතෙක් සහතිකයක් ලබා දී නෑ.

කාබනික යෙදවුම් නිෂ්පාදනයට කැමැත්තක් දක්වන අයට මේ ගැන දැනුමක් සහ පුහුණුවක් අවශ්‍ය නැද්ද?

ඇයි නැත්තේ? අනිවාර්යයෙන් අවශ්‍යයි. රජයේ මේ වැඩසටහනත් එක්ක ඉදිරියේදී රටේ නව කර්මාන්තශාලා හැදෙනවා. මහා පරිමාණ වෙන්න පුළුවන්. සුළුවෙන් වෙන්නත් පුළුවන්. ඒත් කාටත් කාබනික පොහොර හදා ගන්නා නිවැරැදි ක්‍රමය පිළිබඳ දැනුම අවශ්‍යයි. ගොවින් අතර වුණත් තමන්ගේ ගොවිතැනට අවශ්‍ය පොහොර ටික හදා ගන්න පුළුවන් අය ඉන්නවා. ඒ අයටත් දැනුම මෙන්ම පුහුණුවත් අවශ්‍යයි. එහෙම නැතිව ගියොත් රජය අපේක්ෂා කරන සාර්ථකත්වය ලැබෙන්නේ නෑ. අනෙක අපේ රටේ ඉන්නේ කම්බා හොරු. කාබනික කියලා වෙනත් ස්වරූපයකින් රසායනික සාන්ද්‍රණ යොදලා අමුතු මාදිලියේ පොහොර හදන්න බැරි කමක් නෑ. ඒ නිසා මේ සියල්ල දැඩිව විමර්ශනය කළ යුතුයි.

ඇයි ගොවි සංවිධානවලට මේ වැඩේ කරන්න බැරි ද?

ඇයි බැරි? අපි වරක් යාපනයේ කළ සංචාරයකදි යාපනේ වැසියන් බොහොම ඉහළින් කාබනික වගාව කරගෙන යනවා දැක්කා. හැබැයි ඔවුන්ට ඒ සඳහා යන්ත්‍ර සූත්‍ර ට්‍රැක්ටර් දෙක තුන තියෙනවා. යාපනයේ සෑම ගොවි ජනසේවා මධ්‍යස්ථානයකටම ට්‍රැක්ටර් දෙක තුන තියෙනවා. ඔවුන් ඒවායින් ලස්සනට වැඩ ගන්නවා. වගා බිම් බොහොම අලංකාරයි. දැකුම්කලුයි. කාබනික වගාවට ඔවුන් හුරු වෙලා අවසන්. අපිටත් එහෙම කරන්න බැරිකමක් නෑ. ශ්‍රම සම්පත අතින් අපිට කිසිම ගැටලුවක් නෑ. රැකියා ලක්ෂයේ වැඩසටහනට බඳවා ගත් තරුණ පිරිස් මේ කාර්යයට යොදා ගන්න කියලත් අපි යෝජනා කරනවා.

මෙතෙක් රසායනික පොහොර අපි පිටරටින් ආනයනය කළා. රසායනික පොහොර වස විස වුණත් ඒවායේ අන්තර්ජාතික මට්ටමමේ පිළිගත් සහතිකයක් තිබුණා. කාබනික පොහොරවලටත් සියලු දෙනාට බලපවත්වන පොදු සහතිකයක් වුවමනා නැද්ද?

අපිත් ඒ අදහසට බොහොම එකඟයි. දැනටමත් කෘෂිකර්මාන්තයට සම්බන්ධ දෙපාර්තමේන්තු සහ ආයතයන තම තමන්ගේ නැණ පමණින් කාබනික පොහොර නිෂ්පාදනයට සුදානම් වන බවකුත් පේනවා. වඩාත් යෝග්‍ය වන්නේ එකම ප්‍රමිතියකට, සහතිකයකට යටත්ව නිෂ්පාදනය කරනවා නම්, තෝරා ගත් ආයතනවලට පමණක් මේ කාර්යය පැවරිය යුතුයි. එහෙම නැත්නම් වෙන්නේ ගැටලුවක්. ඒ වගේම අපේ රටේ දේශගුණය අනුව යල මහ දෙකන්නයට වගා කළත් මහාවාරිවල අවුරුද්ද මුළුල්ලේම ගොවිතැන් කරනවා. පොහොර හොය හොයා කඩවල් ගානේ යන්න බෑ. ගොඩ ගොවිතැන අතිරේක භෝග වගාව විශේෂයි. ඒවාට අවශ්‍ය පොහොර කලට වෙලාවට තිබිය යුතුයි. ඒ නිසා කාබනික පොහොර නිෂ්පාදනයත් මහා පරිමාණයෙන් සිදු විය යුතුයි.

කාබනික ගොවිතැනට බද්ධ විය යුතු අනෙක් අංශ මොනවා ද?

අනිවාර්යයෙන්ම බද්ධ විය යුත්තේ කිරි ගව පාලනයයි. කාබනික ගොවිතැන රඳා පවතින්නේ ගවයා මත. දියර පොහොර නිෂ්පාදනයට යනවා නම් ගව සම්පත ඉතා වැදගත්. හැමෝටම කිරි ගව පාලනයට යන්න බෑ. එහෙත් යා හැකි සහ ඊට කැමති අය විශාල පිරිසක් රට තුළ ඉන්නවා. ඒ අය මේ කාර්යයට දායක කර ගැනීමට රජය කඩිනම් වැඩසටහනක් යොදනවා නම් ඉතාමත් සතුටුයි. මොකද දැනටමත් අපේ පස ලෙඩ වෙලා. ක්ෂුද්‍ර ජීවීන් මැරිලා. පස නිසරු වෙලා. එහෙම වුණේ රසායනික යෙදවුම් නිසා බව අපි පිළිගන්නවා. මේ පස යථා තත්ත්වයට පත්විමට ක්ෂ්ද්‍ර ජීවින් වර්ධනයට ගවයාගෙන් ලැබෙන පොහොර ටික, ගව මුත්‍රා අවශ්‍යමයි. රජය ඊළඟට අවතීර්ණ විය යුත්තේ මේ සංග්‍රාමයටයි.

ගොවීන් රජයෙන් අපේකෂා කරන වෙනත් සහන මොනවා ද? 

සහනාධාර අපිට වුවමනා නෑ. අපි ඉල්ලන්ගේ ගොවි නිෂ්පාදනවලට සාධාරණ මිලක් ලබා දෙන ලෙසයි. රජය වී කිලෝවකට රුපියල් 50.00ක අවම මිලක් නියම කිරිම ගොවියාට අස්වැසිල්ලක් වුණා. එහෙත් වී වෙළෙඳපොළ සක්‍රිය කාලය තුළ මේ මිල තිබුණත් පසුව වී මිල නැවත ඉහළ යනවා. වී කිලෝවක් 75.00ට 80.00ට යනවා. හැබැයි ඒ වෙන කොට ගොවියෝ ළඟ වී නෑ. ඇතැම් වෙළෙන්දෝ ගොවින්ගෙන් තුට්ටු දෙකට ගත්ත වී ටික මේ මිලට තවත් මහා පරිමාණ වෙළෙන්දෙකුට දෙනවා. අනෙක සහල් මිල. සහල් කිලෝවක මිල රුපියල් 125.00ක් නම් ගොවියාගෙන් අඩුම රු. 70.00ටවත් වී කිලෝව මිල දී ගත යුතුයි. මේ තුළත් තිබෙන්නේ මාෆියාවක්. අපි දකිනවා රජය මේ බලාධිකාරය බිඳින්න උත්සාහ කරන බව. අපේ අදහස ගොවියාගේ අස්වැන්නට සාධාරණ මිලක් සහ මිල දි ගැනීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කරනවා නම් මහාපරිමාණ සහල් මෝල් හිමියන්ගේ බලය හකුළුවන්න පුළුවන් කියන එක.

ගොවි නිෂ්පාදන සියල්ල රජයෙන් මිල දී ගත යුතු බව ද ඔබ කියන්නේ?

නෑ. එහෙම නෙමෙයි. අපි කියන්නේ අතරමැදියන්ගේ සුරාකෑම නවත්වන ලෙසයි. එහෙම කරන්න නම් ගොවියාටම තමන්ගේ නිෂ්පාදන ටික ඝෘජුවම පාරිභෝගිකයාට විකිණිය හැකි ක්‍රමයක් සැකසිය යුතුයි. අපි යෝජනා කරනවා රජයට ප්‍රධාන නගරවල වෙළෙඳ කුටි ඉදිකර ගොවීන්ට වෙළෙඳපොළක් වෙන් කර දෙන ලෙස. ඇයි ආර්ථික මධ්‍යස්ථාවලින් ඒ ටික වෙන්නේ නැද්ද?

නෑ. එතැන ඉන්නෙත් අතරමැදියෝ.

ඇතැම් ගොවි නියෝජිතයන් දේශපාලන රාමුවලට කොටු වී සිටිනවා. ඔබ ගොවි නියෝජිතයෙක්. මේ මතයට ඔබ දෙන උත්තරය කුමක් ද?

ඔව් එහෙම අයත් ඉන්නවා. දේශපාලන පක්ෂවල න්‍යායන්වලට කොටු වුණු අය ඉන්නවා. අපි නියෝජනය කරන්නේ මේ රටේ සැබෑ ගොවියාගේ හඬයි.

සකුන්තලා ජයසිංහ

(Courtesy of dinamina.lk)

Leave a reply: