මෛත්‍රීට ඉහළ තනතුරු නැහැ

වත්මන් රජයේ පාර්ශ්වකරුවෙකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා ට රජයේ විශේෂ ඉහළ තනතුරක් හිමි වන බවට කෙරෙන ප්‍රචාරය ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි.කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ඔහුට කැබිනට් අමාත්‍ය පදවියක් ලැබෙනු ඇතැයි වාර්තා වෙයි .

ඒ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිවරයා ට දැනුම් දී තිබේ .

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමෙන් පසු රජයේ ඇමැති පදවි ගණන විශාල ලෙස වැඩි කිරීමට ජනාධිපතිවරයා කැමැත්ත ප්‍රකාශ කර නැත .එහෙත් මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ජ්‍යෙෂ්ඨයන් සිව් දෙනෙකු ට ඇමැති පදවි සහ රාජ්‍ය ඇමැති පදවි හිමිවන බව කියවේ.

මෙවර අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී ව්‍යවස්ථානුකූලව කැබිනට් අමාත්‍යවරුන් 30 දෙනෙක් පත් කිරීමට ජනාධිපතිවරයා ට බලය තිබුණත් පත් කළේ කැබිනට් අමාත්‍යවරුන් 26 දෙනෙක් පමණි .ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු නව අමාත්‍යවරුන් පත් කළද කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 30 ඉක්මවා නොයා යුතු බව ජනාධිපතිවරයා ගේ මතයයි .

විපක්ෂය නව කැබිනට්ටුව විවේචනය කළද ඔවුන් රට පාලනය කළ පසුගිය යහපාලන ආණ්ඩුවේ කැබිනට් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් ගේ සංඛ්‍යාව 134 ක් විය.

එලෙස ඇමැතිවරුන් සිය ගණනක් පත් කොට වත්මන් රජයේ අමාත්‍ය මණ්ඩලය විවේචනය කිරීම දේශපාලන විචාරකයන් ගේ හාස්‍යයට ලක් වී තිබේ .

Leave a reply: