මෛත්‍රීපාල සිරිසේන නව සන්ධානයේ සභාපති ධුරයට පත් කිරීම ගැන විරෝධයක් .

පසුගිය ජනාධිපති වරණයේදී තමන් නිර්පාක්ෂිකව සිටිනවා යැයි කියමින් ව්‍යංගයෙන් සජිත් ප්‍රේමදාස මහතාට උදව් කළ බවට චෝදනා ලැබූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොහොට්ටුව ශ්‍රීලනිප සන්ධානයේ සභාපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් පොහොට්ටුව මැති ඇමති පිරිසකගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ . රොෂාන් රණසිංහ රාජ්‍ය ඇමතිවරයා ද එස්.එම්. චන්ද්‍රසේන ප්‍රසන්න රණතුංග ඇතුළු කැබිනට් අමාත්‍යවරු ද මෙලෙස සන්ධාන සභාපති ධූරය මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවරීම සම්බන්ධයෙන් තමන්ගේ විරෝධය ප්‍රකාශ කර තිබිණි .

ජනාධිපති වරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රතිඵල විමර්ශනය කරන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද 35000 ක් පමණ ගෝඨාභය රාජපක්ෂ මහතාට අහිමි කිරීමට මූලික වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතා බව රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයා දැඩි ලෙස ප්‍රකාශ කළේය. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුතණුවන් වන දහම් සිරිසේන දියණිය වන චතුරිකා සිරිසේන බෑනා වන තිළිණ සුරංජිත් යන අය ප්‍රසිද්ධියේ ම සජිත් ප්‍රේමදාසට ජනාධිපතිවරණයේ දී උදව් කළ අතර තිළිණ සුරංජිත් සජිත්ට මූල්‍ය ආධාරයක් පිරිනැමු බවට ද චෝදනා එල්ල විය.චතුරිකා සිරිසේන සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණයෙන් පසු රටවටා ඇලවීමට කැලණියේ මුද්‍රණාලය කින් පෝස්ටර් ලක්ෂයක් මුද්‍රණය කිරීමට ඇනවුම් කර තිබූ බවද ඒ දිනවල වාර්තා විය .

සිරිසේන පවුලේ අය මෙලෙස දෙබිඩි දේශපාලන පිළිවෙතක් අනුගමනය කරමින් සිට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයෙන් පසුව ඔහුගේ ජයග්‍රහණය නියමුවන් ලෙස පෙනී සිටින්නට උත්සහ කිරීම හාස්‍යයට කරුණක් බව මේ සම්බන්ධයෙන් විරෝධය පලකරන ඇමති පිරිස පවසති.මෛත්‍රීපාල සිරිසේන මහතා නව සන්ධානයට සහභාගි කර නොගත්තද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී ධුර දරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට විවෘතවම උදව් කළ මැති ඇමති පිරිස පිරිස සන්ධානයට බඳවාගෙන තනතුරු ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු විරෝධයක් නැතැයි ද මෙම මැති ඇමැති ලෙස ප්‍රකාශ කර ඇත .

Leave a reply: