රනිල් ගේ නායකත්වයෙන් මහා මැතිවරණයට තරග කිරීම එජාප නායකයෝ ප්‍රතික්ෂේප කරති .

එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ඉදිරි මහ මැතිවරණය තරග කළහොත් පක්ෂය අන්ත පරාජයක් ලබන බැවින් ඔහුගේ නායකත්වයෙන් මැතිවරණය තරග කළ නොහැකි බව එජාප ජ්‍යෙෂ්ඨයෝ මාධ්‍ය හමුවක් තබා ප්‍රකාශ කළහ .පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරන ආකාරයට රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් මහ මැතිවරණය තරග කිරීමට පක්ෂය කිසිදු තීන්දුවක් ගෙන නැති බව ද මෙම නායකයෝ සඳහන්කළහ.

හිටපු ඇමතිවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර සහ තලතා අතුකෝරල ඇතුළු පිරිසක් පක්ෂ ජේෂ්ඨයන් වෙනුවෙන් විශේෂ මාධ්‍ය හමුවක් තබා මේ බව අවධාරණය කළේ පසුගිය බ්‍රහස්පතින්දාය .

එක්සත් ජාතික පක්ෂයට නායකත්ව මණ්ඩලයක් පත්කොට එම නායකත්ව මණ්ඩලය යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් විය යුතු යැයි කර ඇති යෝජනාව ද මේ අය ප්‍රතික්ෂේප කළහ.රනිල් වික්‍රමසිංහගේ උවමනාවට රවි කරුණානායක සහ කරු ජයසූරිය යන මහත්වරුන් විසින් මෙම නායකත්ව මණ්ඩල යෝජනාව පක්ෂයට ඉදිරිපත් කර තිබිණි.එහෙත් මාධ්‍ය හමුවට සහභාගීවූ හිටපු ඇමැතිවරුන් ප්‍රකාශ කළේ නායකත්ව මණ්ඩල යෝජනාව ගෙන ආවේ සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි මහ මැතිවරණයේදී පක්ෂ නායකත්වය ලබා ගැනීම වැළැක්වීමේ අරමුණින් බවයි .රනිල් වික්‍රමසිංහ මහතා කැමති වුවත් අකමැති වුවත් ඉදිරි සති දෙක තුළ සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ නායකත්වයට පත් කරන බව පැවසූ මෙම නායකයෝ ඉදිරි සතියේ සිට සජිත් ප්‍රේමදාස මහතා ගමින් ගමට යමින් පාක්ෂිකයන් හමුවීමට තීරණය කර ඇති බව ද ප්‍රකාශ කළහ .

මෙලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට එරෙහිව ප්‍රකාශ නිකුත් කළේ ඔහු විසින් පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා උපදෙස් දීමට පත්කළ කමිටුවේ ප්‍රධාන සාමාජිකයෙකු සහ සාමාජිකාවක් වීම විශේෂ කරුණකි .

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page