ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

රවි විමල් එකම බෝට්ටුවේ

පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ එහි මුදල් අමාත්‍ය ධූරය දැරූ රවී කරුණානායක මහතා ස්වකීය අමාත්‍යාංශයේ තමන්ට අසුන් ගැනීම සඳහා රුපියල් ලක්ෂ 10 කට අධික වටිනාකමකින් යුත් විශේෂ පුටුවක් රජයේ මුදලින් මිලදී ගනු ලැබීය .මෙම පුටුවේ විශේෂත්වය වන්නේ එය අති සුඛෝපභෝගී වීමත් එහි අභ්‍යන්තරයේ කුඩා ප්‍රමාණයේ විදුලි පංකා තිබීමත්ය. ඊට අමතරව එම පුටුව විශේෂ ප්ලග් එකක් මගින් විදුලිය පරිපථයට සම්බන්ධ කල විට ශරීරයට කම්පන ව්‍යායාමයක් ලබා දීම මගින් මස්පිඩු වේදනා සමනය කරගැනීමට අවස්ථාව සැලසූ බවත් වාර්තාවිය.දහදිය දමන අවස්ථාවල පුටුව අභ්‍යන්තරයේ ඇති විදුලි පංකා ක්‍රියාත්මක කළ විට එම විදුලි පංකා මගින් ශරීරයේ පිටුපස කොටසට සිසිල් වාතය සැපයීමෙන් දාහය නිවී යන බවද ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ විශේෂ ප්‍රකාශකයෙක් අප සමග සඳහන් කළේය.

ඊට නොදෙවෙනි පුටුවක් වත්මන් රජයේ අමාත්‍යවරයෙකු වන විමල් වීරවංශ විසින් ද මිලදී ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගියදා දෙනියාය ප්‍රදේශයේ පැවැති විවෘත කිරීමකදී මාධ්‍ය හමුවේ අනාවරණය කළේය.පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපතිවරයා ද වන සුනිල් හඳුන්නෙත්ති මහතා ගේ අනාවරණය අනුව විමල් වීරවංශ අමාත්‍යවරයා මිලදී ගෙන ඇතැයි පැවසෙන පුටුවේ වටිනාකම රුපියල් ලක්ෂ හයක් පමණ වෙයි .එහි රවි කරුණානායක අමාත්‍යවරයාගේ පුටුවේ මෙන් කම්පන පහසුකම් හා විදුලි පංකා පහසුකම තිබේ දැයි මෙතෙක් වාර්තා වී නැතත් තමන් අසුන් ගන්නා පුටුවට රුපියල් ලක්ෂ හයක් ජනතා මුදලින් වියදම් කිරීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටට හඳුන්වාදී තිබෙන සරල රාජ්‍ය පාලන ප්‍රතිපත්තියට කොතරම් දුරට ගැලපේ දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරති.වත්මන් රජය බලයට පත් කිරීම සඳහා මැතිවරණ වේදිකාවේදී විශාල මෙහෙවරක් කළ විමල් වීරවංශ අමාත්‍යවරයා වැනි අයගෙන් මෙබඳු දේ බලාපොරොත්තු නොවන බවද ඔහුගේ අමාත්‍යාංශයටම සම්බන්ධ පොදුජන පෙරමුණු පාක්ෂිකයෝ පවසති .

මේ ගැන මාධ්‍යයට වැඩි දුරටත් කරුණු දක්වා තිබූ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා තමන් දෙනියාය ප්‍රදේශයේ ගම්මාන දෙකක් යා කරමින් සිය විමධ්‍යගත සංවර්ධන අරමුදල් වලින් කුඩා පාලමක් ඉදිකළ බවත් එම පාලම සඳහා වැය වූයේ රුපියල් ලක්ෂ 5ක් පමණක් බවත් සඳහන් කර තිබිණි. ග්‍රාමීය පාලමක් සෑදීමට යන වියදමටත් වඩා තමන් අසුන්ගන්නා පුටුව වෙනුවෙන් වියදම් කරන අමාත්‍යවරුන් සමග ගෝඨාභය රාජපක්ෂ මහතා රජයේ සංවර්ධන ඉලක්ක සපුරා ගන්නේ කෙසේද යන්න ගැන ඔහු මේ අවස්ථාවේදී ජනතාවගෙන් ප්‍රශ්න කර තිබිණි .

Leave a reply: