රිෂාඞ් ගේ ජීවිතය බේරා දෙමු! (බොරැල්ලේ පොලිසියට සම්මාන දෙමු)

දහසය හැවිරිදි දෙමළ මෙහෙකාර දැරියක වූ ජේ. ඉශාලිනි ට සිදු වූ විපත මේ මිහිමත සිටින කිසිදු දැරියකට සිදු නොවේවා! අවුරුදු දහසයක නව යොවුන් දැරියක් මෙවැනි ඉරණමකට ලක්විය යුතුද? වසර 2004 නොවැම්බර් 12 දා හැටන් පළාතේ ඩයගම දී උපන් ජේ. ඉශාලිනි ජූලි මස 3 දා රිෂාඞ් බදියුදීන්ගේ ගෙදර මෙහෙකාරකම් කරන අතර බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහලට ඇතුළත් කරන ලද්දීය. ඇගේ සිරුර 60% ක් පිළිස්සී තිබූ අතර රෝහලට ගෙන යන අවස්ථාවේදී ඇයට කතා කර ගැනීමටවත් නොහැකි විය. ඒ නිසා අප දන්නා පරිදි ඇගෙන් කටඋත්තරයක් ගැනීමට රෝහල් පොලිසියට බැරි විය. රිෂාඞ් බදියුදීන් ගේ ගෙදර වළං සේදූ, රෙදි සේදූ, පිඟන් සේදූ, ගෙබිම අතු පතු ගෑ, ඒ අතර විටින් විට දූෂණය කෙරුණු ඉශාලිනි හැටන්වලින් කොළඹට ගෙනෙනු ලබන්නේ ගෙවල්වලට මෙහෙකාරියන් සපයන බ්‍රෝකර් හරහාය. පොන්නයියා නැමති එම බ්‍රෝකර් ඉශාලිනි විකුණා ඇත්තේ රුපියල් දෙලක්‍ෂයකට යැයි කියනු ලැබේ. ඉශාලිනිගේ මරණ පරීක්ෂණයේදී හෙළිදරව් වූ පරිදි ඇය දීර්ඝකාලීනව දූෂණය කරන ලද්දියකි. ඇය රිෂාඞ්ගේ ගෙදරට ගෙනෙනු ලබන්නේ මාස අටකට පෙර ය. ඇය රාත‍්‍රී කාලයේදී නිදාගත්තේ වෙනම කාමරයකය. මේ ගෙදර රිෂාඞ් ද ඔහුගේ කුඩා පුත‍්‍රයා ද ඔහුගේ බිරිඳ ද අවුරුදු තිහක් පමණ වයස් වූ මස්සිනා ද ඩ‍්‍රයිවර් ද ජීවත් වූ බව කියනු ලැබේ. දැරිය පිළිස්සුම් තුවාල ලැබීමෙන් පසු ඇගේ කාමරයේ තිබී භූමිතෙල් බෝතලයක් සහ ලයිටරයක් හමු විය. ඉහත සඳහන් ෙඡ්දය එකිනෙකට සම්බන්ධ සිද්ධි දාමයක් අපිළිවෙළට ගොනු කෙරුණු අවස්ථාවකි. මෙතැන් සිට අපි මේ කතාවට පිළිවෙළට බසිමු.

ජේ. ඉශාලිනි පිළිස්සුනේ කොහොමද? (1) ඇයගේ සිරුරට ගිනි ඇවිළිණ. (2) කිසිවකු විසින් ඇගේ සිරුරට ගිනි තබන ලදී. (3) ඇයම සිරුරට ගිනි තබා ගත්තාය. නව යොවුන් මෙහෙකාර දැරියගේ මරණය පිළිබඳ සාකච්ඡා කරන විට මෙකී කරුණු තුන මූලික කරගෙන කතා කළ යුතු වෙයි. ඉශාලිනි පිළිස්සීම පිළිබඳව ඇසින් දුටු සාක්ෂි තවමත් හමුවී නැත. ඇය මිය ගියේ කිසිවකු විසින් සිරුරට ගිනි තබනු ලැබීමෙන් පසුව නම්, එසේ ගිනි තැබූ බවට සැක කරන එකා අල්ලාගෙන පොලිසියේ බාල්කයේ එල්ලා පහරදෙන විට කුමක් හෝ සාක්ෂියක් සොයා ගැනීමට පුළුවන. එහෙත් මේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන බොරැල්ල පොලිසියේ කොන්ද පණ නැති නියාලූ ප‍්‍රතිපත්තිය නිසා කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට හැකිවී නැත. රිෂාඞ්ගේ ගෙදර තිබෙන්නේ කොළඹ හතේ බෞද්ධාලෝක මාවතේ ය. මීට දශක දෙකකට පමණ පෙර කොටින් විසින් මන්නාරමට පහරදෙන ලද අවස්ථාවේදී පොලිතීන් බෑගයක ඇඳුම් අසුරාගෙන රිෂාඞ් බදියුදීන් කොළඹට පැමිණි ආකාරය මෙහිදී අමතක කර දමමු. යුද අනාථයකු ලෙස කොළඹට එන්නකු කොළඹ හතේ බෞද්ධාලෝක මාවතෙන් ගෙයක් මිලට ගැනීම ගැන අපට කිසිදු ඉරිසියාවක් නැති අතර එය හොඳ වැඩක් ලෙස රෙකමදාරු කළ හැකිය. කොළඹ හතේ ගෙවල්වල, නාවලපිටියේ ඩයගම වතුකරයේ ගෙවල්වල මෙන් භූමිතෙල් ලාම්පු පත්තු කරනු නොලැබේ. එසේ නම් ඉශාලිනිගේ කාමරයට භූමිතෙල් බෝතලයක් ගියේ කෙසේද? කාමරයට නිතර දෙවේලේ ගැරඬින් එන බැවින් උන් එළවීමට භූමිතෙල් අවශ්‍යවීද? ඉශාලිනි කඬේට ගොස් භූමිතෙල් ගෙනාවා නම් රිෂාඞ් ගේ ගෙදර සී සී ටී වී කැමරාවල ඒ බවක් සටහන් වී තිබේදැයි බොරැුල්ල පොලිසිය සෙව්වේද? කාමරයේ තිබූ ලයිටරය ගෙනෙන ලද්දේ ඉශාලිනි ද නොඑසේ නම් මේ ගෙදර සිටින හෝ මේ ගෙදරට ආව ගිය දුම්බොන්නකු විසින් ද? වතුකරයේ දුර ගමකින් පැමිණි අසරණ මෙහෙකාර දැරියක් කඩයට ගිය විට තෝරා ගන්නේ ලයිටරයක් ද නැත්නම් ගිනි පෙට්ටියක්ද?.

ඉහත සඳහන් ප‍්‍රශ්න අතර අපි මේ මොහොතේ අතරමංව සිටිමු. ඇසින් දුටු සාක්ෂි නැති නිසා ඉශාලිනි ගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්නට සිදු වන්නේ භූමිතෙල් බෝතලය සහ ලයිටරය නමැති පරිවේශනීය සාක්ෂි මතය. දැරියගේ මරණය සම්බන්ධයෙන් බොරැුල්ලේ පොලිසිය ඉතාම මානුෂික ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙනේ. හැබැයි ඒ ප‍්‍රතිපත්තිය අනුගමනය වන්නේ මියගිය දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් නොව ජීවත්ව සිටින මිනීමරුවන් වෙනුවෙනි. බොරැුල්ල පොලිසිය ඉතිහාසයේ පටන් ම කොන්ද පණ නැති පොලිසියකි. මෙයට අවුරුදු 10කට පෙර කරටිය බිමට පාත්වෙන තරමට අරක්කු ගැසූ වතුකරයේ දෙමළ දේශපාලනඥයෙක් බොරැුල්ල පොලිසියට ගොස් ඕ අයි සී ගේ පුටුවේ වාඩි විය. රස්සාවට බිය නැති හරිහමන් ඕ අයි සී කෙනකු එදා ඒ පොලිසියේ සිටියේ නම් පෙරකී දේශපාලනඥයා ගේ දසවන මරණ සමරුව මේ අවුරුද්දට යෙදෙනවා ඇත. ලංකාවේ පොලිසි වැඩි හරියක් කැපවෙන්නේ හොරපොල් කඩන අය ඇල්ලීම සඳහා පමණි. හොරපොල් කඩන්නෙක් දරුණු මිනී මරන්නෙක් බවට පත්කිරීමට පොලිසියකට පුළුවන. එනම් හොර පොල් කඩන්නා අල්ලා ඔහුට පහර දී ඔහුගේ සාක්කුවට කුඩු පැකට් එකක් දමා ඔහු රිමාන්ඞ් කරනු ලැබේ. හිරෙන් එළියට යෑමට අවශ්‍ය ඇපය ගෙවා ගැනීමට නොහැකිව හොරපොල් කඩන්නා අවුරුදු ගාණක් රිමාන්ඞ් එකේ ලගී. එතැනදී ඔහුගේ කලණ මිතුරන් වන්නේ මිනීමරුවන් සහ කුඩු වෙළෙඳුන් වැනි සමාජ විරෝධී අපරාධකාරයන් ය. අන්තිමේදී ඇප ලබා එළියට එන හොර පොල් කඩන්නා යන්නේ ඇතුලේ සිටින තම මිතුරන් ගිය මාර්ගයේම ය.

ජේ. ඉශාලිනි මියගොස් පැය හතළිස් අටක් ඇතුළත රිෂාඞ් බදියුදීන්ට පපුවේ අමාරුවක් හැදිණ. ඔහු ඒ වනවිට සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කූඩුවේ ය. පාස්කු බෝම්බය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා මීට දෙමසකට පෙර ඔහු අත්අඩංගුවට ගන්නා ලදී. පාස්කු බෝම්බය යනු පොඩි බෝම්බයක් නොව ලොකුම ලොකු බෝම්බ මාලාවකි. මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේදීවත් පපුවේ අමාරුවක් නොහැදුණු රිෂාඞ් බදියුදීන්, ජේ. ඉශාලිනි ගේ මරණයෙන් පැය හතළිස් අටක් ඇතුළත පපුවේ අමාරුකාරයකු වීම ගැන අප තුළ සාධාරණ සැක සහිත ශෝකයක් තිබේ. අපේ වැඩිම ශෝකය අසරණ මෙහෙකාර දැරියට අත්වූ ඉරණම ගැනය. ලංකාව ඉතා වේගයෙන් කාම අපරාධකරුවන්ගේ සහ ළමයින් අපහරණය කරන්නන්ගේ රාජ්‍යයක් බවට පත්වෙමින් තිබේ. ඉදිරියේදී, මේ පිළිබඳව දැනට ඉන්දියාව සතුව තිබෙන රෙකෝඞ් එක කැඞීමට ලංකාවට පුළුවන. දැනට පවතින සැක කටයුතු තත්ත්වයන් මත ඉශාලිනිගේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණය බොරැුල්ල පොලිසියෙන් ඉවත්කොට වෙනත් පොලිසියකට පවරන ලෙස අපි යෝජනා කරමු. රිෂාඞ් බදියුදීන්ගේ පපුවේ අමාරුව සුවකර ඔහු ජීවග‍්‍රහයෙන් තබා ගැනීම ඉදිරි පරීක්ෂණවලදී ප‍්‍රයෝජනවත් වීමට පුළුවන.

(Courtesy of divaina.com)

Leave a reply: