වන මැද්දෙන් සුරිඳු පුදට – කරපාදෙන් කතරගමට

වැලිතලා මැදින්

යාපනයේ සෙල්ල සන්නිධි කෝවිල අවට කුරුලු ඇසින් උඩු ගුවනින් බලන්නකුට පෙනෙන්නේ තැඹිලි වර්ණ දාස් පෙතියා මල් පලසක් ලෙසටය. සිය ගණනක් බැතිමතුන්ගේ බජන් හඬින් මෙන්ම මුරුතැන් සුවඳින් සෙල්ල සන්නිධි කෝවිල පිරී යයි. එක වරම සුබ ගමන් නැකතින් පරිසරයම ගුගුරුවා වාතලයට මුසු වන “හරෝ හරා” යන බැතිබර හඬ සමඟ උතුරුකර කෙළවර සෙල්ල සන්නිධි කෝවිලේ සිට දකුණු ලක පුරවර රුහුණු කතරගම මහා දිව්‍ය මාළිගාව වෙත වැල නොකැඩී ඇදෙන බැතිබර, සුන්දර, දුෂ්කර ගමන ඇරඹෙයි.මේ දෙවියන් සොයා යන ගමන බැතිමතුන් හඳුන්වන්නේ “පාද යාත්‍රාව ලෙසටය.

අනාදිමත් කාලයක සිට හින්දු බැතිමතුන් කදිරේෂන්,මුරුගන් නැතහොත් කතරගම දෙවියන්ට පුද පූජා දැක්වීම උදෙසා වසරක් පාසා පාද යාත්‍රාවේ යෙදෙති.

යුධ ජයග්‍රහණයට විවිධ ආකාරයෙන් තමාට උපකාර කළ කතරගම දෙවියන් වෙනුවෙන් දුටුගැමුණු මහ රජතුමන් ඉදිකොට පුද කළායයි ජනප්‍රවාදයේ පැවතඑන කතරගම මහා දෙවොලට එකල සිටම පාද යාත්‍රාව පැමිණෙන්නට ඇති බව හින්දු බැතිමතුන්ගේ මතයයි.

යාපනයේ සෙල්ලසන්නිධි කෝවිලෙන් අරඹන පාද යාත්‍රාව ගම්මාන දහස් ගණනක් පසු කරමින් කෝවිල් සිය ගණනක් වැඳපුදා ගනිමින් තම ගමනේ සන්ධිස්ථානයට පැමිණෙයි.ඕකන්ද හෙවත් ඔකඳ පාද යාත්‍රාව අරඹන බැතිමතුන් මිශ්‍රවන සන්ධිස්ථානයයි.

උතුරේ සිට පැමිණෙන වන්දනා නඩත් අනෙකුත් ප්‍රදේශවල සිට පැමිණෙන බැතිමතුන් සියලුදෙනාත් ඔකඳ දේවාල බිමේදී එකම නඩයක් බවට පත්වේ. 

ඔකඳ මෙම පුරාවතෙහි ප්‍රබල සන්ධිස්ථානයකි. ඉන්දියාවේ සිට පැමිණි ස්කන්ද කුමරු ඔකඳ වෙරළ තීරයෙන් ශ්‍රී ලංකාවට ගොඩබට බවත් තමා පැමිණි රන් ඔරුව එම වෙරළ අසබඩ නොගැඹුරු මුහුදේ ගලක් බවට පත් කළ බවත් ජනප්‍රවාදයේ කියැවේ. අදට ද ඔකඳ වෙරළේ කෙළවර ඇති ගල “රන් ඔරු ගල ” ලෙස හැඳින්වේ.

මෙම ස්ථානයෙන් ගොඩබට ස්කන්ධ කුමරු කතරගම බලා ගිය පා සලකුණු ඔස්සේ අදටද පාද යාත්‍රා‍ෙව් මඟ වැටී ඇති බව බැතිමතුන්ගේ විශ්වාසයයි. ස්කන්ද කුමරුන් වල්ලි මාතාව සොයා කතරගමට ගිය බවත්, එම ගමන සිහිකිරීම පිණිස පාද යාත්‍රාවේ යෙදීම දෙවියන්ට කරනු ලබන පුද හරසරක් බව තවත් ඇතැමුන්ගේ ඇදහීමයි. මේ සියල්ලටම වෙනස් කතාන්දරද පාද යාත්‍රාව පිළිබඳ ජනප්‍රවාදයේ කියැවේ.

රන් ඔරුවෙන් පැමිණි ස්කන්ද කුමරුන් කතරගම බලා පාගමනින් යන ගමනේදී එවකට බාගුරාව (කුමණ වනෝද්‍යානයේ පිහිටි විල්ලුවකි) ප්‍රදේශයේ ජීවත් වූ දෙමළ ජනතාව ස්කන්ද කුමරුනට සැලකීමක් නොදැක්වූ බවත් වතුර පොදක් නොදුන් බවත් ඊට දඬුවමක් ලෙස කරපාදෙන් (පාවහන් රහිතව) තමා දැක බලා ගැනීමට පැමිණෙන ලෙස දඬුවමක් ලබා දුන් බවත් ඇතැම් තැනක කියැවෙයි.

මෙම ජනප්‍රවාද කෙසේ හෝ වේවා ශ්‍රී ලංකාවේ බොහෝ දේව බැතිමතුන්ගේ සංහිඳියාවේ බැතිබර ගමන බවට අද පාද යාත්‍රාව පත්ව තිබේ.

පාද යාත්‍රාව සෙල්ල සන්නිධි කෝවිලෙන් ගමන් අරඹනු ලබන්නේ කතරගම දේවාලයෙහි කප් සිටුවීම සමඟය. එතැන් සිට මඟ දන්නා එම නඩවල ප්‍රධාන ඉලක්කය කතරගම පෙරහර මංගල්ලයට දින දෙකකට පෙර පුද බිමට පැමිණ තමා වෙනුවෙන් තැනක් වෙන් කර ගැනීමය. කතරගම පෙරහර නිමා වී දිය කැපීමේ මංගල්ලය දා මේ පිරිස් නික්ම යන තෙක්ම ඔවුන්ගේ නවාතැන බවට පත්වන්නේ කතරගමට පුදබිමේ විශාල තුරු සෙවණය.

අනාදිමත් කාලයක සිට පැවත එන පාද යාත්‍රාව සම්ප්‍රද­ායන්වලට වඩා සාමූහිකත්වයට මුල් තැන දෙන බැතිබර ගමනකි. පාද යාත්‍රාව යාපනයේ තොන්ඩමනාරු සෙල්ලසන්නිධි කෝවිලෙන් ගමන් අරඹන්නේ සුබ නැකතකට අනුවය. එම ගමනේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ වේල් ස්වාමිය. දෙවියන්ගේ ආයුධය වන වේලායුධය අතදරමින් පා ගමනේ ඉදිරි නඩයේ ඉදිරියෙන්ම ගමන් කරනු ලබන්නේ වේල් ස්වාමිය.ඔහු ගමනේ නඩේගුරා ලෙස කවුරුත් පිළි ගනු ලබන අතර වේල් ස්වාමිගේ වේලායුදයේ මඟ දෙපස පාද යාත්‍රාවට එක් නොවන ජනතාව තම පඬුරු ගැට ගසන්නේ තම ප්‍රාර්ථනා දෙවියන්ට බාර කරමිනි.

මෙසේ දින ගණනාවක් මහ වන මං ඔස්සේ වෙරළ තීරයෙන් පැමිණෙන පාද යාත්‍රාව ඔකඳ දේවාල බිමට පැමිණේ.

ඉන් අනතුරුව පාද යාත්‍රාවේ මඟ වැටෙන්නේ කුමණ සහ යාල ජාතික වනෝද්‍යානය මැදිනි.කුමණ ජාතික වන උයනේ ප්‍රධාන පිවිසුම් දොරටුව පාද යාත්‍රාව වෙනුවෙන් විවෘත කරනු ලබන්නේ නැකතකට අනුවය.ඉන් පසුව පාද යාත්‍රාවේ බැතිමතුන්ට කුමණ සහ යාල වන මං පා ගමන සඳහා විවෘත වේ.

පාද යාත්‍රාවට එක් වන බැතිමතුන් දින දාහතරක් මස් මාංශවලින් තොරව පේ වීම සාමාන්‍ය සම්ප්‍රදායයි. දෙවියන් දකින්නට යන මේ සුබ ගමන ඔවුන් සැබෑවටම ආරම්භ කරනු ලබන්නේ ඔකඳ දේවාලයෙහි පුද පූජාවට පසුවය. පාද යාත්‍රාව ඔකඳින් ඇරඹීමට පෙර දින දෙවියන් වෙනුවෙන් තමාට හැකි අයුරින් මුරුතැන් පූජාවක් පැවැත්වීම සියලු බැතිමතුන්ගේ සම්ප්‍රදායයි.

ඔකඳ දෙවොල් බිමේදී උතුරෙන් මෙන්ම දිවයිනේ සියලු ප්‍රදේශවලින් පැමිණෙන බැතිමතුන් මෙම ගමන සාර්ථකව නිමා කරන්නට දෙවියන්ට බාර වෙති.

නැකතට අනුව කුමණ ජාතික වනෝද්‍යානයෙන් මහ වනයට ඇතුළු වන පාද යාත්‍රාව පළමු නවාතැන බවට පත් කර ගනු ලබන්නේ බාගුරාව (බාගුරේ) නම් වූ සුන්දර විල්ලුවයි. කිඹුලන්, වන අලින් මෙන්ම කුළු හරකුන් ගහන මෙම විල්ලුව පළමු දින නවාතැන බවට පත් කර ගැනීම සාමාන්‍ය සිරිත වුව ද ජවසම්පන්න පිරිස් කණ්ඩායමෙන් මිදී තම පළමු නවාතැන ලෙස කුඹුක්නක් ඔය අසබඩ කුඩා කැබලිත්ත දේවාල බිම තෝරා ගනිති.

යාපනයේ සිට පැමිණෙන පිරිසට මෙම ගමන සඳහා දින දහයක හෝ ඊට වඩා කාලයක් ගත කිරීමට හැකි වුව ද අනෙකුත් පිරිස මෙම ගමන දින හතරකින් නිමා කිරීමට සැලසුම් කරති.

මෙම බැතිබර ගමන සඳහා දෙමළ බැතිමතුන් මෙන්ම සිංහල බැතිමතුන් ද විශාල පිරිසක් එක් වෙති. ඇතැමුන් මෙම පාද යාත්‍රාව පරිසර වන්දනා ගමනක් බවට පත් කර ගනිති.

කිසිදු භාණ්ඩයක් මිලට ගත නොහැකි මෙම ගමන සඳහා අවශ්‍ය ජල ගැලුමේ සිට බර කරට ගත් බැතිමතුන් වන විල්ලු,ජල දුර්ග, බඩවැටි, කාන්තාර බිම් පසු කරමින් සාමූහිකව ඉදිරියට ඇදෙන්නේ බජන් ගී නදින් වන අරණ පුරවාලමිනි.

ඉඳහිට මුහුණට මුහුණ හමුවන සද්දන්තයන් මෙන්ම විශාල කුළු හරකුන් දුටු විගස බැතිමතුන් උද්වේග කර හඬින් “හරෝ හරා” යැයි නද දෙති. වන සතුන්ගෙන් කිසිඳු අතුරු ආන්තරාවක් නොවීමට මුරුගන් දෙවියන් තමා ආරක්ෂා කරනම බවට බැතිමතුන් තදින්ම විශ්වාස කරති.

“හරෝ හරා” උච්චාරණය පිළිබඳ විවිධ මත පාද යාත්‍රාව සමඟ බැඳී පවතී.එක් නඩයක ඉදිරියෙන්ම ගමන් කරන්නා පළමුව හරෝ හරා යයි කී විට දෙවැන්නා එය යළි එය උච්චාරණය කරයි. මෙලෙස දස දෙනකුගෙන් යුත් කණ්ඩායමක වරින් වර හරෝ හරා යන හඬ දහයක් ඇසීම තුළින් ගමනේ මූලිකයා තම කණ්ඩායම සුරක්ෂිතව තමා පසු පස පැමිණෙන බව තීරණය කිරීම එක් කරුණකි. පාද යාත්‍රාව ඉතා වෙහෙස කර ගමනකි. එම ගමනේදී අවශ්‍ය ඔක්සිජන් නිරතුරුවම ලබා ගැනීමට හරෝ හරා යන්න උච්චාරණය ඉවහල් වන බව පසු කාලීනව ගොඩනැඟුණු වෛද්‍ය මතයකි. කෙසේ වෙතත් හරෝ හරා යන්න උච්චාරණය තුළින් ගමනේ වෙහෙස නිවෙන බවත් වන සතුන් සියලු දෙනා වන මඟින් ඉවත් වන බවත් ලියුම්කරු අත්දැකීමෙන් දනී.

පාද යාත්‍රාවේ යෙදෙන සියලු දෙනා සවස් යාමයට පෙර තම නිශ්චිත වන නවාතැන් පොළට පැමිණීමට වග බලා ගනිති. 

මෙම ගමනේ ප්‍රධානතම නවාතැන් පොළ කිහිපයකි. බාගුරේ, කුඩා කැබලිත්ත, ළිංතුන, කටුපිලආර, පරණ තොටුපළ සහ වරහන මෙම ප්‍රධාන නවාතැන් වෙයි. එම නවාතැනට පැමිණෙන ප්‍රධාන නඩය නවාතැනට යාබදව අතුපතර විහිදුණු රූස්ස ගසක් පාමුල දෙවියන් වෙනුවෙන් සංහිඳක් ඉදි කරති. කොහොඹ අතු වට කොට ගත් මෙම සංහිඳ පාමුල එතැන් පටන් දෙවියන් වෙනුවෙන් විවිධ පුද පූජා පැවැත්වීමට සියලු දෙනා එකාවන්ව එක් වෙති. දෙවියන් වෙනුවෙන් මුරුතැන් පූජා තබන බැතිමතුන් ඉන් අනතුරුව තමාට ආහාර පිළියෙල කරති. රාත්‍රී ආහාරය ලබා ගැනීමෙන් අනතුරුව සිදුවන්නේ බජන් ගී ගැයීම වෙනුවෙන් සියලුදෙනා එක් වීමයි.

මධ්‍යම රාත්‍රිය ගෙවී යන තෙක් බුම්මැඩි වයමින් රබන් නද කරමින් බජන් ගී ගයන බැතිමතුන් තමාගේ ජීවිතය දෙවියන්ට භාර කරමින් පැය කිහිපයක සුවදායක නින්දකට පසුව උදෑසනම ඇහැරී තම ගමන අරඹන්නේ දෙවියන් දැකීම ප්‍රධාන බලාපොරොත්තුව බවට පත් කර ගනිමිනි.

මෙසේ දින ගණනාවක් එක දිගට යන ගමනේ දුෂ්කරම අඩවිය ලෙස සියලුදෙනා හඳුන්වන්නේ කුඹුක්නක් ඔය සහ ලිංතුන අතර ප්‍රදේශයයි. කුඩා කටු පඳුරු සහිත කිලෝමීටර හයකට නොඅඩු එම භූමිය වැලි කුණාටු සහිත එකකි. සිහින් වැලි තද සුළං සමඟ එක්ව ප්‍රචණ්ඩව ඇස් කෙවෙණි පසාරු කරන එම බිමේ ගමන දෙවියන් වෙනුවෙන් තම ජීවිතය කැප කරන බිම ලෙස බැතිමත්හු විශ්වාස කරති.

මෙම ගමන පිළිබඳ අත්දැකීම් බහුල පිරිස් දෙවියන් පිළිබඳ බොහෝ කතාන්දර කියන්නේ රාත්‍රියේ ගිණිමැල සුව විඳින විටදීය. මෙම ගමන් මඟෙහි කතරගම දෙවියන් නිරතුරුවම වෙනස් වේශයකින් සැරිසරන බවට ඔවුහු විශ්වාස කරති.සුදු වේට්ටියකින් සැරසී සුදු තලප්පාවක් ඉහ වටා බැඳ ගත් සැරයටියක් අතින් ගත් ශාන්ත සෘෂිවරයකු ලෙස කතරගම දෙවියන් ජීවමානව හමුවූ පිරිස් පාද යාත්‍රාවට එක්වන්නෙකුට හමු විය හැකිය. එසේ එකම වේශයෙන් එකම පුද්ගලයා තැන් කිහිපයක හමු වූ අවස්ථා පිළිබඳ කතාන්දර වේල් ස්වාමි ලියුම්කරු සමඟ පවසා තිබේ.

මෙම ගමනේදී භයානක කුළු මීමුන් කල්ලි සුලබව මඟ දිග හමු වන අතර වන අලින් ද ඉඳ හිට හමු වෙයි. රාත්‍රි නවාතැන්පොළ අවට වලසුන් සහ දිවියන් ඉඳහිට දැකිය හැකි අතර කරවටක් ගිලී ගමන් කරනා ගංගාවල කිඹුලන් සිය ගණන් දැකිය හැකිය. එහෙත් මෙම කිසිදු අයකු වන්දනාකරුවනට කිසිදු අනතුරක් සිදු නොකිරීම දෙවියන් දකින්නට යන බැතිමතුනට කරනු ලබන ගෞරවයක් බව සියලු දෙනාගේ විශ්වාසයයි.

ඒ අනුව ගත් කල පාද යාත්‍රාව කතරගම දෙවියන් පිළිබඳ බැතිබර විශ්වාසයෙන්ම යන දුෂ්කර සුන්දර බැතිබර ගමනකි. දේව බැල්මෙන් මෙම මඟට පිවිසෙන කිසිවකුටත් අනතුරක් සිදු නොවේ.

වයස මාසයේ බිලිඳාගේ සිට වයස අවුරුදු අනූව දක්වා බැතිමතුන් පාද යාත්‍රාවේ දී ලියුම්කරුට මුණගැසී ඇත. මෙම සියලුදෙනා තුළම ඇත්තේ කතරගම දෙවියන් පිළිබඳ දැඩි විශ්වාසයකි.භක්තියකි.තමා පාදයාත්‍රාවේදී දෙවියන්ගෙන් ඉල්ලා සිටින සියලු දේ නිසැකවම ලැබෙන බවත් එම බාරය නිදහස් කිරීමට පාද යාත්‍රාවෙන් දෙවියන් නැමදීමට යන බවත් ලියුම්කරු සමඟ පැවසූ පිරිස බොහෝය. ඔවුන්ගෙන් බොහෝ දෙනා පාද යාත්‍රාව සමඟ හතළිස් වරකට වඩා සහභාගි වූ බැතිමතුන්ය.

සැබෑවටම ගත් කල පාද යාත්‍රාව දෙවියන් වෙනුවෙන්ම මිනිසුන් යන ගමනකි. එම ගමනේදී සැබෑ අව්‍යාජ දෙවියන් වැනි මිනිසුන් සැමට මුණගැසේ. වසරක පාද යාත්‍රාව නිමා වී සියල්ලෝ සමු ගන්නේ ලබන වසරේ හමුවන පැතුමිනි. කොවිඩ් වසංගතය හමුවේ පවතින තත්ත්වය හේතුවෙන් මෙවර පාද යාත්‍රාව නොපැවැත්විණි.

“ලබන අවුරුද්දේ දෙවියන්ගේ පිහිටෙන් අපි හමු වෙමු” යාපනයේ නෙල්ලිඅඩියේ ශිවශංකර් නම් පාද යාත්‍රාවේ හමු වූ ගමන් සගයා මීට දින කිහිපයකට පෙර ලියුම්කරුට පැවසුවේ දැඩි කණස්සලෙනි.

පාද යාත්‍රාව සැබෑවටම දෙවියන් විසින් මිනිසුන් හමු වීමටත් සමඟියෙන් දෙවියන් දැකීමටත් සැකසූ මාවතකි. හාස්කම් පිරි ත්‍රාසජනක ගමනකි. පිළිවෙතින් ඒ ගමන යන්නන් දෙවියන් විසින් රකිනු ඇත.

(Courtesy of dinamina.lk)

Leave a reply: