වසංගත අභියෝගය දිනන මඟ

ලෝක ඉතිහාසයේ වරින් වර ආ වසංගතවලට මුහුණ දීමට මිනිසුන්ට සිදු විය. ඒවා නිසා අහිමි වූ ජීවිත හැරුණු විට එම විනාශකාරී බලපෑම්වලින් පසු ලෝකය යළිත් නැඟී සිටියේය. මේ වන විට වසර එකහමාරක් තිස්සේ යළිත් වරක් ලෝකය දරුණු වසංගතයක් සමඟ සටන් කරමින් සිටී. ලෝකයම අඩු වැඩි වශයෙන් ඉන් පීඩා විඳිමින් සිටියදී ලෝක සෞඛ්‍යය සංවිධානය එය ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. එය නිතර අවධාරණය කරන්නේ සියලු දෙනාම ආරක්ෂා වන තුරු කිසිවකුත් ආරක්ෂිත නොවන බවය.

දැනට කොවිඩ්-19 වසංගතයේ වැඩිම බලපෑම් ඇති වී තිබෙන්නේ අමෙරිකාවටය. වසංගතයේ වැඩිම බලපෑම් ඇති වූ රටවල් අතර ධනවත් හා බලවත් රටවල් ද ඉහළින් තිබේ. ඉන් පැහැදිලි වන එක් කාරණයක් නම්, එවැනි බලයක් තිබූ පමණින්ම ඉන් ගැලවී ගත නොහැකි බවය. මේ රටවලට ඉතා දියුණු සෞඛ්‍ය පහසුකම් පැවැතිය ද කොරෝනා වයිරසයට එරෙහිව කරන සටනේදී එය පමණක්ම සෑහෙන බවක් පෙනෙන්නට නොතිබිණි.

ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් භයානක වසංගතයක් බවට පත් වුව ද මූලික සෞඛ්‍යය පුරුදු කිහිපයක් අනුගමනය කිරීමෙන් හා සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමෙන් එය විශාල ලෙස පාලනය කර ගත හැකි බව පැහැදිලි වී තිබියදී ද සමාජීය හා පුද්ගල නිදහස ඕනෑවටත් වැඩියෙන් තිබිය යුතු යැයි කල්පනා කරන රටවල් ජනයා සංචරණ සීමා ආදියට නොකැමැති වූහ. මුව ආවරණ පැලඳීම අනිවාර්ය කරමින් සෞඛ්‍ය නීති පැනවීමට සිදු වූයේ මෙවැනි පසුබිමකය. සංචරණ සීමා කඩ කරන අයට දඩ පැනවීම ඇතුළු දඬුවම් ද ක්‍රියාත්මක කෙරිණි.

ලෝකයම අපේක්ෂාසහගතව

වයිරස ව්‍යාප්තියේ පළමු වටයම ධනවත් හා බලවත් රටවල ද ඉතා අසීරු විය. දෙවැනි වටයටත් වඩා තුන්වැනි වටය වඩාත් සංකීර්ණ වූයේ වයිරසයේ නව ප්‍රභේද සමඟ සටන් කිරීමට සිදුව ඇති බැවිනි. සැනසීමකට ඇත්තේ දෙවැනි වටයේ පටන්ම වයිරසයට එරෙහිව එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක වීමය. මේ වන විට ලෝකය අපේක්ෂාසහගතව දෑස් දල්වා සිටින්නේ එම වැඩසටහන්වල සාර්ථකත්වය දෙසය. එසේ වුව ද, එය ලොව සෑම රටකම ඒකාකාරව ක්‍රියාත්මක නොවේ. ධනවත් හා බලවත් රටවල් අමතර එන්නත් තොග සංචිත පවා පවත්වා ගනිද්දී ‍ලොව ඇතැම් රටවලට එන්නත්කරණය ද විශාල අභියෝගයක් වී ඇත.

පළමුව වසංගතයේ බලපෑමට ලක් වූ චීනය එය සාර්ථකව පාලනය කිරීමට සමත් විය. මෙතෙක් එතරම් සාර්ථකත්වයක් පෙන්වීමට හැකි වී ඇත්තේ චීනයට පමණි. එය හුදෙක් එන්නත්කරණය නිසාම සිදු වූවක් නොවේ. මුලදී චීනයේ එන්නත්කරණ වැඩසටහන් ද මන්දගාමී විය. චීනය ලැබූ සාර්ථකත්වයේ පාඩම් සෙසු ලෝකයට ද බෙහෙවින් වැදගත් වනු ඇත. එබැවින් ඒවා හැදෑරිය යුතු වේ. වසංගතය සමඟ කළ සටනේදී ද චීනයට එක හඬක්, එක් වුවමනාවක් තිබූ බව පැහැදිලිය.

චීන රජය මෙන්ම ජනතාව ද සිතුවේ යක්ෂයා පරාජය කළ යුතු බවය. විවේචන කරමින්, බැණ අඬ ගසමින් හා අඩුපාඩුව සොයමින් කල් ගත කළා නම් චීනය ද තවමත් සිටිනු ඇත්තේ සෙසු රටවල් අතරය.

වසංගතය රටට එන්නටත් පෙර ශ්‍රී ලංකාව ද ඊට අවශ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග ගත්තේය. ජනතාව දැනුම්වත් කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද, සෙසු රටවල ද පැසසුමට හේතු වන අන්දමින් පළමු වටය අතිශය සාර්ථක අන්දමින් පාලනය කිරීමට ශ්‍රී ලංකාවට හැකි විණි. දෙවැනි වටයට මුහුණ දෙමින් සිටියදී ද අතපසුවීම් හඳුනා ගනිමින් එය පාලනය කිරීමට ගන්නා වෑයම පැහැදිලි විය. වසංගතය පිළිබඳ අන්තර්ජාතිකව අවධානය යොමු කරමින් සමීක්ෂණ පවත්වන ආයතන සිදු කළ සමීක්ෂණවලට අනුව ද ශ්‍රී ලංකාව සිටියේ එය සාර්ථකව පාලනය කළ රටවල් 10 අතරය. පළමු වටයේදී ජනතාව ද සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අතින් ඉදිරියෙන් සිටි අතර සැලකිය යුතු කාලයක් රට වසා තැබීමට ද සිදු විය. එම අවදියේ ලොව බොහෝ රටවල් ලොක් ඩවුන් තත්ත්වයක් තිබූ අතර දිගින් දිගටම එවැනි පියවරකට යෑමට කිසිදු රටකට හැකි නොවිණි. එබැවින් යම් සීමාවන්ට යටත්ව දෛනික කටයුතු පවත්වා ගනිමින් නව තත්ත්වයට ගැළපෙන අන්දමින් සිය චර්යාවන් හැඩගස්වා ගැනීමට ජනතාවට උපදෙස් ලැබිණි.

අවුරුදු සැමරීම

අප්‍රේල් මාසයෙන් පසුව වසංගතයේ තෙවැනි වටයට මුහුණ දීමට ශ්‍රී ලංකාවට ද සිදු විය. එහි වරද පැටවිය යුතු වන්නේ අලුත් අවුරුද්දට නම් නොවේ. සෞඛ්‍ය අංශ උපදෙස් දුන්නේ වසංගත සමයක් බව සිහි තබා ගනිමින් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් පිළිපදිමින් අවුරුදු සමරන ලෙසටය. පොදු සමාජය එය එලෙසින් පිළිපදින ලද්දේ දැයි තම තමන්ගෙන් අසා ගැනීම වෙනුවට තෙවැනි වටයක් එළැඹීමත් සමඟ දක්නට ලැබුණේ රට වසා නොදැමීම ගැන ආණ්ඩුවට හා බලධාරින්ට බැණ අඬගැසීමය. සීමා පණවන විට එය විවේචනය කරන එසේ නොවන විට එය ද විවේචනය කරන අමුතු මානසිකත්වයක් ඇතැම් අයට තිබේ. අපේ ජීවිත කාලය තුළ අප අත්විඳින දරුණුම වසංගතය මෙයය. එය පරාජය කළ යුතුමය. එසේ කළ හැකි වන්නේ පළමුව අප එකිනෙකා අපෙන් ඉටු විය යුතු යුතුකම් කොටස සම්පූර්ණ කිරීමෙනි. සමාජ වගකීම බැහැර නොකිරීමෙනි. ජීවිත හානි අවම කර ගැනීම සඳහා මෙන්ම වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නිසි ක්‍රියාමාර්ග නොගන්නා ලද බවට බලවත් රටවලට පවා විවේචන එල්ල වෙමින් තිබියදී ශ්‍රී ලංකාව වසංගතයට එරෙහිව සාර්ථකව සටන් කරමින් සිටී.

නිදහස් සෞඛ්‍ය සේවයක්

නිදහස් සෞඛ්‍යය සේවයක් පැවතීම කොපමණ ආශිර්වාදයක් දැයි ජනතාවට වුව ද වඩාත් දැනෙන්නට ඇත්තේ මෙසමයෙහිය. රාජ්‍ය නායකයා ප්‍රමුඛ රජය වසංගතය පාලනය කරමින් ඉන් රටත් ජනතාවත් ගලවා ගැනීම සඳහා කළ හැකි සියල්ල කරමින් සිටී. ඇතැම් තැන්වල අඩුලුහුඬුකම් තිබිය හැකිය. එවැනි බොහෝ අවස්ථාවල ඒවා එසේ සිදු වී ඇත්තේ ද කළමනාකරණය හා සම්බන්ධීකරණ දුර්වලතා ආදිය හේතුවෙනි. ඒවා පහසුවෙන්ම නිවැරදි කර ගත හැකි ඒවාය. එවැනි අවස්ථාවල සමස්ත යන්ත්‍රණයටම දෝෂාරෝපණ එල්ල කිරීම සාධාරණ නොවේ. එසේම මෙවැනි සංකීර්ණ තත්ත්වයක් යටතේ සියල්ල ප්‍රශස්ත අන්දමින් සිදු විය යුතු යැයි ප්‍රායෝගිකව අපේක්ෂා කළ නොහැකිය. වෑයම් කළ යුතු වන්නේ සියල්ල හැකි උපරිමයෙන් වන බවට වග බලා ගැනීමටය. ජනාධිපතිවරයා ද රජය ද තම කාර්යභාරය ඉටු කරනු දක්නට තිබේ. ඊට විපක්ෂයේ සහාය ලැබී ඇත්තේ කොතැනදී ද? අපේ සහාය ඕනෑම අවස්ථාවක ලබා දෙන්න සූදානම් යන වචනවලට එය සීමා වී ඇති අතර සෑම දෙයකම අඩුපාඩු සොයන සෑම දෙයක්ම විවේචනය කරන සුපුරුදු විපක්ෂ භූමිකාව ඔවුන් රඟදක්වමින් සිටී. අසීමිත දේශපාලන වෛරයකින් පෙළෙන සුළු පිරිසක් ද අතිශයින් පහත් හා නින්දිත අන්දමින් සමාජ මාධ්‍ය ද භාවිත කරමින් එම වෛර පිරිමසා ගැනීමේ යෙදී සිටිනු දැකිය හැකිය. ඔවුන් කල්පනා කළ යුතු වන්නේ අවස්ථාවාදය, කුහකකම හා වෛරය විසින් දිනා දෙනු ලබන කිසිවක් නැති බවය. පක්ෂ විපක්ෂ ඕනෑම අයකුට මෙවැනි වසංගත සමයකින් පසු තම තමන් තනිව හා සමූහයක් ලෙස ඉටු කළ කාර්යභාරය ගැන තෘප්තිමත්ව ආපසු හැරී බැලීමට හැකි විය යුතුය. සර්ව අසුභවාදී ලෙස සියල්ල දකිමින් හා අසත්‍ය මෙන්ම දුර්මත සමාජගත කරමින් හැසිරෙමින් ඇති කණ්ඩායම් හෝ පුද්ගලයන්ට තමන් දෙස එලෙස හැරී බලන්න හැකි වනු ඇති ද?

තොරතුරු වසංගතය

වසංගතය සමඟ පමණක් නොව තොරතුරු වසංගතය සමඟ ද සටන් කිරීමට ලෝකයේ ආණ්ඩුවලට සිදුව ඇති බව අන්තර්ජාතික වේදිකාවලදී ද අවධානයට ලක් වූ කාරණයකි. මෙවැනි වසංගතයක් හමුවේ සෑම‍ තොරතුරක්ම ජනතාවට අවශ්‍ය ද යන්න සිතා බැලිය යුතුය. මාධ්‍ය ඔස්සේ ලබා දෙන සෞඛ්‍ය උපදෙස් ආදියට වඩා සමාජයේ අවධානය යොමු වන්නේ වෙනත් කාරණාවලට නම් එතැන ගැටලුවක් තිබේ. එසේම ජනමාධ්‍යය ද තම වගකීම එයාකාරයෙන්ම තේරුම් ගෙන තිබේ දැයි තමන්ගෙන්ම විමසා බැලිය යුතුය. කොවිඩ්-19 සංඛ්‍යා ලේඛන සංශෝධනය වන අවස්ථා තිබේ. වයිරසය ආසාදනයට ලක් වන සංඛ්‍යාව සහ මිය යන සංඛ්‍යාව 100%ක් නිවැරැදිව ගණනය කළ හැකි නම් එය ඉතා හොඳය. එහෙත් ප්‍රායෝගික යථාර්ථය වන්නේ ලොව සෑම රටකම පාහේ නිල වශයෙන් නිවේදනය වන සංඛ්‍යාවලට වඩා එම සැබෑ තත්ත්වය වෙනස් විය හැකි බවය. දෛනික මරණ සංඛ්‍යාව වාර්තා කළ විට එය වැඩි සංඛ්‍යාවක් නම් ඔන්න අද මෙච්චරයි කියමින් ඉන් කාලකන්නි සතුටක් ලබන මෙන්ම එය අඩු සංඛ්‍යාවක් නම් ඔය බොරු, ඇත්ත ගණන මීට වඩා වැඩියි කියමින් තව තවත් මරණ ඉල්ලා සිටින මානසිකත්වයක සිටින අයගෙන් රටකට අත් විය හැකි යහපත කුමක් දැයි තේරුම් ගැනීමට විශාල බුද්ධියක් අවශ්‍ය නොවේ. ඇත්තටම කළ යුතු වන්නේ මරණ සංඛ්‍යාව වැඩි නම් එය අඩු කර ගැනීම සඳහා තමන්ට කළ හැකි දේ කිරීමය. හැකියාවක් තිබේ නම් අදාළ අංශවලට තම සහාය ලබා දීමය.

කටකතා, අසත්‍ය තොරතුරු, වෛරීසහගත ප්‍රකාශ, සෘණාත්මක පුවත් වාර්තා ආදිය මඟින් සිදුවන්නේ ද දරුණු වසංගතයකට එරෙහිව සටන් කරමින් ඇති සමාජයක එම සමාජ මානසිකත්වය බිඳ දැමීමයි. එය අපරාධයක් නොවේ යැයි කිව හැකි ද? යුද්ධයක් ජයග්‍රහණය කිරීමට නම් ඊට අවශ්‍ය මානසිකත්වයක් තිබිය යුතු බවට වෙනත් රටවලින් උදාහරණ අවශ්‍ය නොවේ. ශ්‍රී ලංකාව එහිදී සෙසු ලෝකයට ආදර්ශ ලබා ඇත්තේ ලෝක බලවතුන් පවා පරාජය කළ නොහැකි යැයි බිහිසුණු මෙන්ම කුරිරු ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය කරමිනි. ජන මානසිකත්වය ද පෙළ ගස්වමින් ඊට මුල් වූ නායකයන් මෙම අදෘශ්‍යමාන සතුරා සමඟ කරන සටනේදී ද ඉදිරිපෙළ සිටී. එදා ඊට ලැබුණු දේශපාලන නායකත්වය අද මීට ද ලැබෙමින් ඇත. ලොව සෙසු ඕනෑම රටකට ආදර්ශයට ගත හැකි අයුරින් සෞඛ්‍ය අංශ සමඟ එක්ව ආරක්ෂා අංශ ද මනා සංවිධානාත්මකව මෙන්ම කැප කිරීම් සහගතව පෙරමුණ ගෙන සිටී. මේ සටනේදී ද එලෙස ආරක්ෂක අංශවල සහාය ලබා ගැනීම ද ඇතැම් අයගේ දෝෂදර්ශනයට ලක්වූ අයුරු දැකිය හැකි විය. ඔවුන් කරමින් සිටින්නේ තමන්ට කළ නොහැකි දේ බව හෝ තමන් නොකරන දේ බව මේ අයට වැටහුණේ නැත. නැතිනම් ඒ බව වැටහුණ ද පටු දේශපාලන වාසි තකා එය බැහැර කෙරිණි.

අගය කළ හැකි කාර්යභාරයක්

ආර්ථික වශයෙන් අභියෝගයන්ට මුහුණ දෙමින් වූව ද ශ්‍රී ලංකාව කොවිඩ්-19 පාලනය කිරීම සඳහා අගය කළ හැකි කාර්යභාරයක් ඉටු කරමින් ඇති බව මධ්‍යස්ථව කල්පනා කරන ඕනෑම අයකුට පෙනී යනු ඇත. එන්නත්කරණ වැඩසටහන් පෙරට යමින් පවතී. රෝගීන්ට කරන උවටැන් ද සිදු වේ. නිරෝධායන මධ්‍යස්ථාන විධිමත්ව පවත්වාගෙන යමින් පවතී. ඒවායේ කාර්යභාරය ගැන පිටත සිට විවේචනය කරන අය එම මධ්‍යස්ථානවල රජය සපයා දී ඇති පහසුකම් හා සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල මෙහෙවර ගැන අසා දැන ගත යුතු වන්නේ ඒවායේ ගත කළ අයගෙනි. වසංගතයේ බලපෑම ධනවත් හා දුප්පත් සැමට ඒකාකාර නොවුණ ද එය එවැනි භේදයකින් ක්‍රියාත්මක නොවන බව පැහැදිලි වී තිබේ. අනුගමනය කළ යුතු සීමා මැද දෛනිකව ජීවනෝපාය සරි කර ගත් ජනතාවට මෙන්ම කුඩා පරිමාණයේ ව්‍යාපාර ව්‍යවසාය පවත්වාගෙන ගිය අයට ද අවශ්‍ය සෑම කොටසකටම ද රජය සහන සලසමින් පවතී.

මේ සියල්ල සමඟ වසංගතය පාලනය කිරීමට නම් කායික හා මානසික නීරෝගිභාවය පවත්වා ගැනීම ද අවැසිමය. මානසිකව පසුබෑමට ලක් වීමෙන් ප්‍රතිශක්තිය ද පිරිහේ. ශ්‍රී ලංකාව බෞද්ධ දර්ශනයට අනුව ජීවන චර්යාව පවත්වා ගැනීමට නැඹුරු වූ රටකි. නීරෝගිකම ලොකුම ලාභය බව ද, සතුට යනු විශාලම ධනය බව ද බුදු රජාණන් වහන්සේගේ දේශනාවය. එකී ලාභය හා ධනය අත් කර ගැනීමට නම් අපේ ඇවතුම් පැවතුම් මහ පොළොවට දරා ගැනීමට හැකි අයුරින් විය යුතුය. වෛරයෙන් හා ද්වේෂයෙන් පිරි සිතිවිලිවලින් බැහැර විය යුතුය. අපේ ආහාර රටා සෞඛ්‍යසම්පන්න විය යුතුය. ශාරිරික මෙන්ම මානසික යහපැවැත්ම ගැන කල්පනා කළ යුතුය. අපට එය කරන්නට හැකිය. එලෙස පෙළ ගැසෙන ජාතියකට නිසැකවම මේ වසංගත අභියෝගය ද ජය ගැනීමට හැකිය.

(Courtesy of dinamina.lk)

Leave a reply: