ව්‍යසනය මැද යළි දැල්වෙන ආර්ථික අපේක්ෂාවන්

ශ්‍රී ලංකාව 2021 වසරේ දී සියයට 6.0ක ආර්ථික වර්ධන වේගයක් අත් කරගනු ඇතැයි මේ වසර මුල දී රජය ප්‍රකාශයට පත් කළේය. ලෝක බැංකුව සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල වැනි ආයතන එම පුරෝකථන පිළිගත් අතර එම ඉලක්ක සම්පූර්ණ කරගත හැකි බවට එම ආයතන එකඟතාව පළ කළේය. එහෙත් ශ්‍රී ලංකාව කෝවිඩ් – 19 වසංගතයේ තෙවන රැල්ලට ගොදුරු වීමත් සමඟ එම අපේක්ෂා පිළිබඳව නැවත සලකා බැලීමට සිදු වී තිබේ. ශ්‍රී ලංකාව මේ වසරේ ප්‍රථම කාර්තුවේ දී එනම් ජනවාරි මාර්තු කාලපරිච්ඡේදයේ දී ඉතා ඉහළ වර්ධනයක් වාර්තා කළේය. එහෙත් තුන්වන රැල්ල නිසා ඇති වූ ලොක් ඩවුන් නිසා ආර්ථික වර්ධනය පිළිබඳ ඉලක්ක වෙනස් කර ගැනීමට සිදු ව තිබෙන අතර එය සියයට 5ත් 4.5ත් අතර මට්ටමකටපවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අතර ම මහජනතාවට වසංගතය හමුවේ විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු ව තිබේ. එදිනෙදා ආදායම් මත ජීවත්වන බහුතරයක් ජනතාවට රට වසා ද දැමීම සහ සංචරණ සීමා කිරීම් නිසා තම ආදායම අහිමි ව ඇත. වෙළෙන්දෝ හැකි සෑම භාණ්ඩයක ම මිල ඉහළ දැමීමට උත්සාහ කරති. සංචාරක ව්‍යාපාරය කඩා වැටීම නිසා අති විශාල පිරිසක් රැකියා අහිමි ව කරකියාගත හැකි දෙයක් නොමැති තත්ත්වයට පත් ව තිබේ. එවැනි පසුබිමක් තුළ ජනාධිපති හිටපු ආරථික උපදේශක සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම සහ මුදල් ඇමතිවරයා ලෙස දිවුරුම් දීම දුෂ්කර සමයෙක ජනතාවගේ බලාපොරොත්තු දැල්වීම සඳහා හේතු විය.

ඔහු මුදල් අමාත්‍යධුරයේ දිවුරුම් දී අදට ගත වී ඇත්තේ හරියට ම සති දෙකක කාලයකි. එබැවින් එම කෙටි කාලය තුළ සමහරු ප්‍රකාශ කළ ආකාරයට බඩු මිල අඩු කිරීම වැනි ක්‍රියාමාර්ගවලට එළඹෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. එසේ වුව ද ශ්‍රී ලංකාව පමණක් නොව ලොව ප්‍රබල ම රටවල් පවා මුහුණ දී සිටින දරුණු ආර්ථික අර්බුදය හමුවේ බැසිල් රාජපක්ෂයන්ගේ ආගමනය කිසියම් වෙනසක් සඳහා මඟ පාදනු ඇතැයි ද යන්න පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත. කෝවිඩ් වසංගතය ඉතා දරුණු ලෙස පැතිර ගිය ඇමරිකාව දැන් තරමක් දුරට රෝගය මර්දනය කර තිබේ. ඒ අතර ම එරට රජය ආර්ථිකය නංවාලීම සඳහා අතිවිශාල මුදල් ප්‍රමාණයක් ආර්ථිකය වෙත මුදාහැරියේය.එනිසා මේ වන විට ඇමරිකන් ආර්ථිකය තුළ උද්ධමනය ඉහළ යමින් පවතී. ප්‍රබල රටවල් පවා එවැනි අර්බුදවලට නැවත නැවත ගොදුරු වෙමින් සිටිය දී ශ්‍රී ලංකාවට මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අනුගමනය කළ හැකි විසඳුම් කවරේද, බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා විසින් අනුගමනය කරනු ලබන විකල්ප ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳව බොහෝදෙනෙක් විමසිලිමත්ව සිටිති.

පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයේ සහ මුදල් අමාත්‍යධුරයේ දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ මහතාට එදින ම අමාත්‍යධුරයේ වැඩ භාර ගත්තේය. මුලින් ම අමාත්‍යාංශයට අයත් විවිධ දෙපාර්තමේන්තු සහ ආයතනවල නිලධාරීන් සමඟ සාකච්ඡා කළ ඇමතිවරයා ඉන්පසු විවිධ ක්ෂේත්‍රවලට අයත් වගකීම් පැවරී ඇති කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වූයේය. රජය රසායනික පොහොර තහනම් කරන ලද්දේ මේ වසරේ මහ කන්නයේ සිට බල බලපැවැත්වෙන පරිදිය. .යල කන්නයට අවශ්‍ය රසායනික පොහොර ආනයනය කිරීමෙන් පසු එම තහනම ප්‍රකාශයට පත් කළේය. එහෙත් යල කන්නයට අවශ්‍ය පොහොර ගොවියාට නොලැබුණි. රටපුරා පුරා ගොවි උද්ඝෝෂණ සංවිධානය කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂවලට අවස්ථාව සැලසුණි. බැසිල් රාජපක්ෂ මහතාගේ සාකච්ඡාවකට පසු පොහොර ගෙන්වන සමාගම්වල ගබඩා පරීක්ෂා කිරීමට පියවර ගැනුණි. එම ගබඩාවලින් යල කන්නය සඳහා පොහොර නිසි පරිදි බෙදා නොහරින්නේ නම් ගන්නා ක්‍රියාමාර්ග ඒවාට දන්වනු ලැබීය. දැන් යල කන්නයට අවශ්‍ය පොහොර වෙළඳපොළට පැමිණ ඇත. විපක්ෂයේ ගොවි උද්ඝෝෂණයන් දිය වී යමින් පවතී.

මුල් සාකච්ඡාවලින් පසු බැසිල් ඇමතිවරයා රටවල් රැසක තානාපතිවරුන් හමු වී සාකච්ඡාවක් පැවැත්විය. අමෙරිකාව, බ්‍රිතාන්‍යය, ජපානය, චීනය, රුසියාව, ඉන්දියාව, ජර්මනිය වැනි රටවල තානාපතිවරුන් සමග පැවැත් වූ එම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ අවධානය යොමු විය. ඉන් පසු පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වුණි. එහිදී ඇමැතිවරයා ජනතාව මුහුණ දී සිටින ආර්ථික ප්‍රශ්න හමුවේ සහන සැලසීමට ප්‍රාදේශීය මට්ටමේ නායකයන්ගේ සහයෝගය අවශ්‍ය බවත් එහි මුල් පියවරක් විය යුත්තේ රාජ්‍ය ආයතනවලින් සැලසිය යුතු සේවාවන් ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම බවත් පෙන්වා දුන්නේය. පළාත් ආණ්ඩුකාරවරු, අමාත්‍යාංශ සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී අවධාරණය වූයේ රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා මුලින් ම ආර්ථිකයේ විවිධ අංශවලට පනවා ඇති සීමා ඉවත් කිරීමේ අවශ්‍යතාවයි.

අර්බුදයට බඳුන්ව ඇති විවිධ ක්ෂේත්‍රවලට අයත් ව්‍යවසායකයන්, ඒවාට සම්බන්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් හමු වූ ඇමැතිවරයා ඒ ඒ ක්ෂේත්‍රවලට අදාළව වෙන වෙන ම සාකච්ඡා පැවැත්වීය.

රට මුහුණ දී සිටින දැඩි අර්බුදය හමුවේ ඒ සියල්ල යථා තත්ත්වයට පත්කර ගනිමින් ආර්ථික සංවර්ධනය ළඟා කර ගැනීමට නම් මුලින් ම ඇති කර ගත යුතු වන්නේ විශ්වාසයයි. බැසිල් රාජපක්ෂ ඇමතිවරයා වැඩ භාර ගැනීමෙන් පසුව පැවැත්වූ සාකච්ඡා මාලාව සහ එහිදී දුන් විසඳුම් සහ ඇතිකර ගත් එකඟතාවන් දෙස බැලීමේ දී පැහැදිලි වන්නේ මුලින් ම මහජන නියෝජිතයන්, රජ්‍ය තන්ත්‍රයේ නිලධාරීන් සහ පුද්ගලික අංශයේ ක්‍රියාකාරීන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට සහ ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව සවන්දීමට රජය සූදානම් බව අවධාරණය කර දෙමින් ඒ ඒ අංශවල විශ්වාසය ගොඩනැංවීමට කටයුතු කර ඇති බවය. එහි ප්‍රතිඵලයක් ලෙස ව්‍යසනය හමුවේ දැඩි පරිහානියකට මුහුණ දුන් සංචාරක කර්මාන්තය යළි ක්‍රියාත්මක කිරීම සඳහා විවිධ අංශ යළිත් සූදානම් වන ආකාරය දැක ගැනීමට හැකි විය. සංචාරක ව්‍යාපාරයේ ණය ගැටලුව ඇතුළු ප්‍රශ්නවලට විසඳුම් දෙන ආකාරයත් යළි සංචාරකයන් ගෙන්වා ගැනීමේ නව වැඩ පිළිවෙළත් ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. සාකච්ඡාවලින් පසුව ඒ ආකාරයට විවිධ ආර්ථික අංශවල ඇති ව තිබෙන පිබිදීම් මගින් පැහැදිලි වන්නේ ව්‍යසනය හමුවේ රජය විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ග කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය ක්‍රමයෙන් ගොඩනැගෙන ආකාරයයි. 

රටේ ආර්ථිකය නැවත ගොඩනැංවීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. එහෙත් ඒ සඳහා මුලින් ම ඇති කරගත යුතු ව ඇත්තේ එම කටයුතුවලට අදාළ සියලු පාර්ශවකරුවන් අතර විශ්වාසය ගොඩනැගීම සහ ආයෝජන කටයුතු සඳහා පෙලඹවීමක් ඇති කෙරෙන පසුබිමක් ගොඩනැංවීමය. එම විශ්වාසය ප්‍රකාශයට පත් කෙරෙන එක් ආකාරයක් වන්නේ රටක කොටස් වෙ‍ෙළඳපොළය. ආර්ථිකය පිළිබඳ ආයෝජකයන්ගේ ආකල්ප සහ විශ්වාසය ප්‍රදර්ශනය කෙරෙන කැඩපත වන්නේ කොටස් වෙළෙඳපොළයි.

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යධුරයේ වැඩ භාරගත් අවස්ථාවේ සිට අඛණ්ඩව ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළේ ක්‍රියාකාරීත්වය උපරිම මට්ටමකට පත් විය. ජූලි 19 දින එහි සියලු කොටස් මිල දර්ශකය 8000 සීමාව ඉක්මවා ගිය අතර එය මාස පහ හමාරකට පසු ළඟා වූ ඉහළ ම මට්ටම විය. එදින වෙ‍ෙළඳපළ මුළු පිරිවැටුම රුපියල් මිලියන 6220ක් වූ අතර එම මට්ටමට පත් වූයේ මාස පහකට පසුවය. ජූලි 20 දින සියලු කොටස් මිල දර්ශකය 8065ක් දක්වා ඒකක 46කින් ඉහළ ගියේය. පිරිවැටුම රුපියල් මිලියන 4885ක් විය.ඒ ආකාරයට කොටස් වෙළෙඳපොළ තුළින් ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු වී අලුත් බලාපොරොත්තු දැල් වී ඇති ආකාරය පැහැදිලි වේ. පුවත්පතක් එය වාර්තා කර තිබුණේ ආර්ථිකය පිළිබඳ නව බලාපොරොත්තු නිසා ශ්‍රී ලංකාවේ කොටස් වෙ‍ෙළඳපොළ එහි අතීත සෞභාග්‍යය වෙත නැවත පැමිණ සිටි යනුවෙනි.

සති දෙකක් යනු ඉතා කෙටි කාලයකි. එහෙත් එම කෙටි කාලය කොරෝනා වසංගතය හමුවේ මරණ බියට සහ ආර්ථික අපේක්ෂා භංගත්වයට පත් ව සිටින ජනතාව තුළ යළි අපේක්ෂාවන් දැල්වීමට බැසිල් රාජපක්ෂයන්ට හැකි වී තිබේ.

(Courtesy of dinamina.lk)

Leave a reply: