වැව් බැඳි රාජ්‍යයම කාබනික වගාවට සූදානම්

රසායනික පොහොර, කෘමි නාශක සහ වල් නාශක මහ පොළොවට එක් කිරීම නිසා රටේ ජනතාව රෝගී වීම වැඩි වී ඇති බැව් සෞඛ්‍ය අංශ නිතර පෙන්වා දෙන කරුණකි. වර්තමාන රජය ශ්‍රී ලංකාවට රසායනික පොහොර, කෘමි නාශක සහ වල් නාශක ගෙන්වීම සම්පූර්ණයෙන්ම නතර කර තිබේ. එවන් පසුබිමක අනුරාධපුර දිස්ත්‍රික්ය කාබනික වගාව සඳහා යොමු වීමට සූදානම්ද? යන කරුණ සහ එහි පල විපාක පිළිබඳ අනුරාධපුර මහ දිසාපති හා අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ සභාපති නීතිඥ ආර්.එම්. වන්නිනායක මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

ලබන මාස් කන්නයේ සිට රසායනික පොහොර භාවිතයෙන් තොරව කාබනික පොහොර භාවිත කර වගා කටයුතු කිරීමට රජය ප්‍රතිපත්තියක් ලෙස තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයා ලෙසත්, දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ සභාපතිවරයා ලෙසත් ඔබ සිතන අයුරු මෙම රාජ්‍ය ප්‍රතිපත්තියේ අනුරාධපුර දිස්ත්‍රික්කයට කෙසේ බලපායි ද?

අනුරාධපුර දිස්ත්‍රික්කය ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 11%ක් පමණ නියෝජනය කරයි. භූමි ප්‍රමාණය අනුව බෙදුවොත් විශාලතම දිස්ත්‍රික්කයයි. භූමි ප්‍රමාණය වර්ග කි.මී. 7179ක් වන අතර, එයින් ගොඩබිම ලෙස වර්ග කි.මී.6664ක් සහ අභ්‍යන්තර ජලාශ ලෙස ව. කි.මීටර් 515 පවතිනවා. ඉපැරණි වාරි තාක්ෂණය භාවිතා කරමින් ඉදිකළ කුඩා, මධ්‍ය හා මහා වාරි වැව් 2600ක් පමණ ද, එල්ලංගා පද්ධති හාරසියයකට පමණ ආසන්නව පවතින නිසා මෙය වැව් බැඳි රාජ්‍යය ලෙස හඳුන්වනවා.

සමස්තයක් ලෙස ගත් විට දිස්ත්‍රික්කය කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක්. 50%කට ආසන්න ජනතාවගේ ජීවනෝපාය සරි කරගන්නේ කෘෂි කර්මාන්තයෙන්. ප්‍රධාන වශයෙන්ම වී වගාව සිදු වන දිස්ත්‍රික්කයක්. මහා, මධ්‍ය, සුළු වාරිමාර්ග සහ මහවැලි කියන සෑම අංශයෙන්ම මාස්කන්නයට හෙක්ටයාර් එක්ලක්ෂ විසිපන්දහසක් පමණ වී වගා කරනවා. මෙට්‍රික් ටොන් ලක්ෂ 4-5 අතර ප්‍රමාණයක වී නිෂ්පාදනයක් සිදු වෙනවා. යල් කන්නයට හෙක්ටයාර් 70 000කට ආසන්න වී වගා කරනවා. බඩඉරිඟු, කුරක්කන්, ධාන්‍ය බෝග ද මුං, කව්පි, උඳු, සෝයා වැනි රනිල බෝග ද වට්ටක්කා, වම්බටු, මෑකරල්, කැකිරි ආදී පහතරට එලවළු වර්ග ද එක් යල කන්නයක් තුළ දී පමණක් හෙක්ටයාර් 70,000කට අධිකව වගා කෙරෙනවා. වට්ටක්කා පමණක් වාර්ෂිකව කිලෝ ලක්ෂ 11ක් පමණ නිෂ්පාදනය වෙනවා. කෙසෙල්, අඹ, කොමඩු, ගස්ලබු වැනි පලතුරු වර්ග ද ප්‍රධාන වශයෙන් වගා කෙරෙනවා. උදාහරණයක් ලෙස 2021 යල් කන්නයේ පමණක් මෙම පලතුරු වර්ග හෙක්ටයාර් 2,000කට ආසන්නව වගා කෙරෙනවා. එම නිසා කෘෂිකර්මාන්තයට අදාළව පොහොර වෙන්න පුළුවන්, වාරි වැඩසටහන් වෙන්න පුළුවන්, වී බඩඉරිඟු වැනි බෝග සඳහා සහතික මිල ප්‍රතිපත්ති වෙන්න පුළුවන්, බීජ සහනාධාර ප්‍රතිපත්ති වෙන්න පුළුවන්, කුමන හෝ ප්‍රතිපත්තියක් වූවත් ඉතා සංවේදීව කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයට බලපානවා.

ඒ කියන්නේ රසායනික ගොවිතැනට විකල්පයක් වූ කාබනික වගාවන් සඳහා වූ රාජ්‍ය ප්‍රතිපත්ති අනුරාධපුර දිස්ත්‍රික්කයට හානිකර ලෙස බලපානවා කියන එක ද ඔබ පවසන්නේ?

නැහැ, නැහැ, කිසිසේත්ම නැහැ. කාබනික වගාව මීට කලින් පටන් ගන්න තිබුණානම් හොඳයි. ඒ තරමටම රසායනික ගොවිතැනේ අහිතකර බලපෑම්වලට ලක් වුණ දිස්ත්‍රික්කයක් අනුරාධපුරය කියන්නේ.

මොනව ද ඒ අහිතකර බලපෑම්?

අද සෞඛ්‍ය අංශ පවසන විෂ සහිත ආහාර, රසායනික බැරලෝහ වර්ග නිසා හේතුව නොදන්නා වකුගඩු රෝගී තත්ත්වය ඇතිවන බවට ප්‍රබල මතයක් පවතිනවා. සමහර අය මේ පිළිබඳ එකඟ වෙන්නේ නැහැ. කෙසේ නමුත් රටේ වැඩිම වකුගඩු ආසාදන රෝගීන් වාර්තා වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්. එම ප්‍රමාණය 175222ක් වෙනවා. රුධිර කාන්දුකරණය කරන මට්ටමේ රෝගීන් 302ක් පමණ සිටිනවා. රජයෙන් මාසිකව වකුගඩු රෝග ආධාර ලබන රෝගීන් 9225ක් සිටිනවා. විද්‍යාත්මකව කුමන මත තිබුණත් එක්කෝ වකුගඩු රෝගය අනුරාධපුරයට, රජරටට ආවේණික ජානමය තත්ත්වයක් විය හැකියි. එය වර්ධනය කරමින් රෝගී තත්ත්වය මතුකරන ප්‍රබල සාධකයක් ලෙස රසායනික ගොවිතැන හේතුවන බවට ප්‍රබල පිළිගැනීමක් තිබෙනවා. ඊට අමතරව පස විනාශ වීම. ජෛව විද්‍යාත්මක කෘමි පාලනය, ගංගා වැව් රසායනික පොහොර නිසා ජලජ ශාකවලින් පිරියෑම සහ දූෂණය වීම වැනි පාරිසරික විනාශයන් සිදු වී තිබෙනවා. නිෂ්පාදන වියදම ඉහළ යාම නිසා ගොවිතැන තව දුරටත් රැකියාවක් ලෙස පවත්වාගෙන යෑමේ දුෂ්කරතාවක් මතු වී තිබෙනවා. සෞඛ්‍ය ප්‍රශ්න, පාරිසරික දූෂණය, ජල ප්‍රභව දූෂණය වීම, සමාජීය ප්‍රශ්න මේ සියල්ලම බලන විට අප රසායනික ගොවිතැනින් ඉවත් වී පාරිසරික හිතකාමී, ගොවිතැනකට මාරු විය යුතු කාලයකට වහ වහා අවතීර්ණ විය යුතුයි.

රසායනික ගොවිතැන යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක් ද?

මා රසායනික ගොවිතැන කියන්නේ විශාල වශයෙන් රසායනික පොහොර, වල් නාශක, කෘමි නාශක වැනි රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරමින් කරන බෝග වගාව මෙය අනවශ්‍ය ප්‍රමාණවලින් (අවශ්‍ය ප්‍රමාණයටත් වඩා) යොදා ගනිමින් සිදුකරන බව පසුගිය කාලයේ කෘෂිකර්මාන්තය තුළ නිරීක්ෂණය වුණා.

ඒ කියන්නේ ඔබ දිසාපතිවරයා වශයෙන් රජයේ කාබනික වගාව පිළිබඳ ප්‍රතිත්තිය සුබවාදීව දකින බව ද ?

රාජ්‍ය ප්‍රතිපත්තිය සුබ වාදී ද අසුබ වාදී ද යනුවෙන් දිස්ත්‍රික් මට්ටමේ නිලධාරියකු ලෙස මට වර්ග කිරීමක් කරන්න බැහැ. මෙහිදී මගේ වගකීම හා යුතුකම වන්නේ රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමයි. එහිදී මතුවන ගැටලු තිබේ නම් එයට විකල්ප සොයා ගැනීමත්, ඒවා රජයට දැනුම් දී සම්බන්ධීකරණය කිරීමත් මගේ වගකීමයි. නමුත් පෞද්ගලිකව මා මේ කාබනික ගොවිතැනට ඉතාමත් කැමති කෙනෙක්. ඔබ දන්නවා ඔබ ද සහභාගීවන දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවල දී මා දැනට කුඹුරු සියල්ල රසායනික පොහොර නිසා විනාශ වී අවසන් බව. තව දුරටත් එළවළු, පලතුරු සඳහා රසායනික පොහොර යොදා ගොඩබිම ද විනාශ නොකර වතුර ටිකක් බීමටවත් ඉතුරු කර ගැනීමට කටයුතු කරන්න කියා මා හැම අවස්ථාවේම ගොවි නායකයන්ට මතක්කර දෙනවා. ඒ අවස්ථාවල ඔවුන් විවිධ තර්ක ගෙනාවත්, එයින් මිදීමට විකල්ප වැඩපිළිවෙළක් නොමැති වීම කියන කාරණයට ඒකඟ වෙනවා. සමහර අවස්ථාවල ස්වභාවධර්මයේ නයිට්‍රජන් උකහා ගන්නා රනිල බෝගවලට පවා රසායනික පොහොර යොදන මට්ටමට අප පත්ව සිටිනවා.

එහෙත් මේ රසායනික පොහොර සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය යොදා සිදුකරන ගොවිතැනට දශක 5ක්, 6ක් පමණ ඉතිහාසයක් තිබෙනවා. එයින් එකවර මිදීම ගැටලු සහගත නොවේද ?

ඔව් මා පිළිගන්නවා, මෙයට දිගු ඉතිහාසක් පවතින බව. ලංකාවේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් නොවේ. ලෝකයේම මේ ක්‍රියාවලිය ආරම්භ වුණේ 1943 මෙක්සිකොවේ රජය සහ රොක්ෂෙලර් පදනම අතර ඇති වූ සහයෝගීතාව මත බිහි වුණු “හරිත විප්ලවය” නම් වූ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඇති වූ ක්‍රියාවලිය මතයි. මිටි ශක්තිමත් රසායනික පොහොරවලට අධි සංවේදී තිරිඟු වර්ග නිෂ්පාදනය මෙහිදී කැපී පෙනුණා. පසු කාලීනව එය අප්‍රිකානු රටවලත්, කිස්තානය, ඉන්දියාව, පිලිපීනය වැනි ආසියාතික රටවලත් ප්‍රචලිත වුණා. මුලින් තිරිඟුවලට ආරම්භ වූ මෙම පර්යේෂණ ක්‍රියාවලිය, වී සහ අනෙකුත් ධාන්‍යවලට විශේෂයෙන්ම බඩඉරිඟු වගාවටත් පැතිරුණා. හරිත විප්ලවයේ ප්‍රධානතම ලක්ෂණය වූයේ උස යන සම්ප්‍රදායක වී සහ තිරිගු ප්‍රභේද ඉවත්කර ඒ වෙනුවට මිටි ශක්තිමත් ප්‍රභේද නිර්මාණය කිරීමයි. ඉහළ අස්වනු සහිත (HyV) වී සහ තිරිඟු ප්‍රභේද නිපද වුණා. ඒවා රසායනික පොහොරවලට අධි සංවේදී බීජ ප්‍රභේද වුණා. ඒ නිසා වැඩි වැඩියෙන් රසායනික පොහොර යොදා ගන්නත් සිදු වුවා. මිටි ශක්තිමත් ප්‍රභේද නිසා ඊට උඩින් වල්පැළ එන බැවින් වල් මර්දනය සඳහා වල් නාශක ලෝකයට හඳුන්වා දුන්නා. රසායනික පොහොර සහ වල් නාශක නිසා පසේ ස්වභාවික පස සරු කරන ජීවීන් විනාශ වුණ නිසා දිගින් දිගටම රසායනික පොහොර මත යැපෙන්න වුණා. ගොවිතැනේ හිතකර සතුන්, කෘමීන් විනාශ වීම නිසා ජෛව විද්‍යාත්මක පළිබෝධ පාලනය අවුල් වී ලෝකයට දවසින් දවස වැඩි වැඩියෙන් විෂ සහිත පළිබෝධනාශක බිහි වුණා. ලංකාවේ මෙම හරිත විප්ලවයේ බලපෑම ඇති වුණේ 1970 දශකයේ පමණි . එයින්ද වැඩි වශයෙන්ම බලපෑමට ලක් වුණේ වී වගාවයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද රසායනික පොහොර ඇතුළු මේ හරිත විප්ලවයේ බලපෑම මුලින්ම 1970 පමණ වී වගාවට ඇති වුණා. දැන් දශක දෙකක පමණ කාලයක් තමයි බඩඉරිඟු සහ අනෙකුත් එළවලළු වගාවන්ට රසායනික පොහොර යොදමින් වගා කිරීමට පටන් ගත්තේ. නිෂ්පාදනය ඉහළ යෑම හරිත විප්ලවය තුළ රසායනික පොහොර නිසාම සිදු වුණු තත්ත්වයක් නොවේ. වගා කරන බීජ වර්ග, වගා කරන ප්‍රදේශ වැඩිවීම, වාරි පහසුකම් වැඩිවීම, නවීන තාක්ෂණික ක්‍රම භාවිතය වැනි තවත් කාරනා රැසක් මත සිදු වූ දෙයක්. ඒ නිසා රසායනික පොහොර නිසා පමණක් අස්වනු වැඩි වුණා කියන කාරණය පිළිගත නොහැකියි. කෙසේ වෙතත්, මේ හරිත විප්ලවයත් සමඟ සිදු වූ රසායනික ගොවිතැන අද අර්බුදයෙන් අර්බුදයට පත්ව තිබෙනවා. වැඩි වැඩියෙන් රසායනික පොහොර,වල් නාශක, කෘමි නාශක භාවිතය නිසා විශාල පාරිසරික ප්‍රශ්න ගණනාවක් ඇති කර තිබෙනවා. ජල මූලාශ්‍රය දූෂණයට ලක්ව තිබෙනවා. පස තුළ තිබුණු ස්වභාවික සමබරතාව බිඳ වැටී, අවුල් වී තිබෙනවා. හිතකර ජීවයන්, සතුන් විනාශ වෙමින් තිබෙනවා. මේ නිසා අප හරිත විප්ලවයේ රසායනික පැත්තෙන් ඉවත් වී අනෙකුත් හිතකර තත්ත්වයන් තව දුරටත් සංවර්ධනය කරමින් කාබනික ගොවිතැනට නැඹුරුවීම අත්‍යාවශ්‍ය කරුණක් බවට පත් වෙනවා. කාබනික ගොවිතැනට නැඹුරුවීම හදිසියේ ඇති වුණ තත්ත්වයක් නොවේ. රසායනික ගොවිතැන දැන් දශක 5-6 කට වඩා ඉතිහාසයකට ගියත්, එයින් බලපෑමට ලක් වුණේ වී වගාව පමණයි. නමුත් එළවළු, පලතුරු අතිරේක බෝගවලට එතරම් රසායනික ගොවිතැන පිළිබඳ දිගු ඉතිහාසයක් නැහැ. වී වගාවේ සහ අනෙකුත් බෝගවල දිගු කාලයක් කාබනික ගොවිතැන කරන ගොවීන් සහ ගොවි බිම් ද අදටත් අනුරාධපුරයේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒවා පිළිබඳ කවුරුත් අධ්‍යයනයක් හෝ ප්‍රචාරයක් මේ වනතුරු ලබා දී නැහැ. ඒ නිසා මෙය හදිසියේ ඇති වුණ තත්ත්වයක් නොවේ. මේ කාබනික ගොවිතැන දිගටම පවතින තත්ත්වයන් පසුගිය කාලය තුළ සිටම නිරීක්ෂණය වූවා.

මේ අභියෝග ජය ගැනීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැනට ඇති සූදනම කෙසේ ද?

රජය මෙම වැඩපිළිවෙළ හඳුන්වා දෙන්නේ එළඹෙන මහ කන්නයේ සිටයි. එහි දී ප්‍රධාන වශයෙන්ම රසායනික පොහොර භාවිතය නවත්වන අතර, කෘෂිකර්මාන්තයේ අනෙකුත් හිතකර තාක්ෂණික ක්‍රම තව දුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙනවා. උදාහරණ ලෙස විශේෂයෙන්ම වියළි කලාපයේ පස සෝදාපාළු වීම වැළැක්වීමට තිබෙන අවධානය ඉතා අඩුයි. එවන් තත්ත්ව පිළිබඳ වැඩි අවධානයක් දීම ඉතා අවශ්‍යයි. එම නිසා මේ වන විට කාබනික ගොවිතැන සම්බන්ධයෙන් පළාත් කාර්ය සාධන බළකායක් ආණ්ඩුකාර තුමාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වතුන්, රජයේ ප්‍රධාන නිලධාරීන් සහ කාබනික පොහොර නිෂ්පාදකයන් සමඟ පිහිටුවා තිබෙනවා. ඊට සමගාමීව දිස්ත්‍රික් මට්ටමින් ද කාර්යය සාධන බළකායක් පිහිටුවා තිබෙනවා. එහිදී අප මේ වන විටත් කාබනික පොහොර නිපදවන මහා පරිමාණ, සුළු පරිමාණ සහ ගෘහස්ථ නිෂ්පාදකයන් හඳුනාගෙන ලියාපදිංචි කිරීම සහ අලුතින් මේ ක්ෂේත්‍රයට පිවිසෙන නිෂ්පාදකයන් හඳුනා ගනිමින් ඔවුන් ලියාපදිංචි කරනවා. මෙය ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනවා. එසේ ලියාපදිංචි වන මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වන කාබනික පොහොර නිෂ්පාදකයන්ට අවශ්‍ය පුහුණුව හා තාක්ෂණික දැනුම ඒ පිළිබඳ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන්, විශේෂයෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේනතුව මගින් ලබා දෙනවා. එසේ නිෂ්පාදනය කරන කාබනික පොහොර වෙළෙඳපොළේ දී ගොවියන්ට අලෙවි කිරීමට පෙර එය ප්‍රමිතිකරණයට ලක් කරනවා. එහි වගකීම ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පවරා තිබෙනවා. ප්‍රමිතිකරණයෙන් යුතු කාබනික පොහොර නිපද වීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමට උදාහරණ ලෙස ජලජ ශාක, පළාත් පාලන ආයතනවල තෝරාගැනීමට ලක් කරන දිරාපත් වන කසළ, වැව්වල රොන්මඩ, වගේ දේවල් ලබා ගැනීමේ දී අවශ්‍ය පහසුකම් සහ සම්බන්ධීකරණය කර දෙනවා. කාබනික පොහොර නිෂ්පාදකයන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් දීමට දැනටමත් රජයේ බැංකු මඟින් රජය කටයුතු කරගෙන යනවා. තවද මෙහි වැදගත්කම පිළිබඳ ගොවීන් දැනුම්වත් කිරීම ගොවි සංවිධාන මට්ටමින් සහ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවෙන් සිදු කරනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයට මහකන්නය සඳහා කාබනික පොහොර ඝන පොහොර වශයෙන් මෙට්රික් ටොන් 600,000ක් පමණ අවශ්‍ය වන බව ගණන් බලා තිබෙනවා. කැට පොහොර වශයෙන් නම් මෙ.ටො. 60 000ක් විතර වුවමනා වෙනවා. දියර වශයෙන් යොදන්නේ නම් දියර ලීටර් 3,600,000 ක අවශ්‍යතාවක් තිබෙනවා. මේ වන විට දිස්ත්‍රික්කයේ මහා පරිමාණ කාබනික පොහොර නිෂ්පාදකයන් 700ක් පමණ ද, ගෘහස්ථ වශයෙන් නිෂ්පාදනය කරන 35,000ක් පමණ ද, සුළු පරිමාණ නිෂ්පාදකන් 2,000ක් පමණ ද ලියාපදිංචි වී සිටිනවා. එමෙන්ම මේ සඳහා තව තව පිරිස් එකතුවෙමින් පවතිනවා. 

මීට අමතරව ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍ර සේන ඇමතිතුමා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් ස්ථාන 27ක පමණ කාබනික පොහොර නිෂ්පාදන ඒකක පිහිටුවීමට කටයුතු කරගෙන යනවා. මේ අනුව එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර මෙම දිස්ත්‍රික්කය තුළම නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරනවා. මා කෘෂිකර්මය පිළිබඳ විශේෂඥයකු නොවේ. එම දැනුම සහ විශේෂඥතාව තිබෙන අයට අගතියක් නොවන අයුරින් තමා මා මගේ අදහස් ප්‍රකාශ කරන්නේ. මා විශ්වාස කරන්නේ, කාබනික ගොවිතැනේ දිගින් දිගටම කාබනික පොහොර පසට පිටින් ගෙන­ැවිත් යෙදීම ඉදිරියේ දුෂ්කර වන බවයි. ඒ සඳහා අමුද්‍රව්‍ය සොයා ගැනීමේ දුෂ්කරතා මතු වනවා. ජල මූලාශ්‍රයවල, වැව්වල අමුද්‍රව්‍ය ලෙස ගන්නා ජලජ ශාක ද රසායනික ගොවිතැනේ අතුරු ප්‍රතිඵලමයි. එයද හැමදාම පවතින්නේ නැහැ. නාගරික කසළවලද නොයෙකුත් රසායනික අපද්‍රව්‍ය හා නොදිරන කසළ ඇති බැවින් ඒවා ද යොදා ගත හැක්කේ සීමිත ප්‍රමණයකි. තවද ටොන් ගණනින් විශාල ප්‍රමාණයක් කාබනික පොහොර යෙදීමට ද ගොවීන්ට දුෂ්කර විය හැකියි. මේ නිසා ආරම්භයක් ලෙස පිටින් කාබනික පොහොර ගෙනත් දැමූවත්, කන්න කීපයක් යන විට පස තුළම පස සරුකර ගැනීමේ ක්‍රියාවලියකට අප යා යුතුයි. ඒ සඳහා අතර මැද කන්නවල රනිල වගාව, ශෂ්‍යමාරු ගොවිතැන, පාංශු ජීවීන්ගේ ගහණය වැඩිකර පසේ ස්වභාවික සාරවත්බව ඇති කිරීම, රසායනික ගොවිතැනින් විනාශ වූ පස සහ පරිසරය නැවත ස්වභාවිකව සකස් වීම වැනි ක්‍රමවලට අප යා යුතුව තිබෙනවා. පාංශු සංරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම මෙහිදී අත්‍යවශ්‍ය සාධකයක්. මෙතෙක් වැඩි වශයෙන් පර්යේෂණ සහ විද්වත් දැනුම යෙදවුණේ රසායනික ගොවිතැනට නිසා එම ශික්ෂණයන් කාබනික ක්ෂේත්‍රයේ පර්යේෂණවලට යොමු කරමින් වඩා දියුණු ප්‍රමාණයෙන් අඩු ගුණාත්මක බවින් වැඩි කාබනික කැට පොහොර, දියර වැනි තත්ත්වයට අප යා යුතුව තිබෙනවා. එහිදී තාවකාලිකව අස්වනු අඩුවීමක් සුළු වශයෙන් සිදු විය හැකියි. නමුත් මෙය යථාතත්වයට පත් කර ගත හැකියි.

අවසාන වශයෙන් ඔබෙන් අහන ප්‍රශ්නය: රජය මේ මඟින් කරන්නේ, ගොවිතැන දුර්වල කර එම ඉඩම් විදේශීය බහුජාතික සමාගම්වලට විකිණීමේ යම් වැඩපිළිවෙළක් බවට ඇතැම් පිරිසගේ මතයක් තිබෙනවා. මේ පිළිබඳ ඔබගේ අදහස කුමක් ද?

රජයේ නිලධාරියකු ලෙස එයට පිළිතුරු දීමේ අයිතියක් මට නැහැ. මන්ද එය දේශපාලන ක්ෂේත්‍රයේ ඉදිරිපත් කරන අදහසක් වීමයි. නමුත් මා මෙහි දී සඳහන් කරන්නේ කාබනික ගොවිතැන කාලීන වශයෙන් රටේ කෘෂිකාර්මික සංවර්ධන ක්‍රියාවලිය තුළ හැරවුම් ලක්ෂයක් වන අතර, සත්‍ය වශයෙන්ම වර්තමානයේ ගොවියාගේ ගොවිබිම්වල ඇත්තේ නාම මාත්‍ර අයිතියක් පමණි. රසායනික පොහොර වලින්, වල්නාශක වලින්, කෘමිනාශකවලින් මේ වන විටත් ගොවියා සහ ගොවිබිම් බහුජාතික සමාගම්වලට විකිණී අවසන්. කාබනික කෘෂිකර්මාන්තයෙන් සිදු වන්නේ එසේ බහුජාතික සමාගම්වල ග්‍රහණයෙන් ගොවි බිම් මෙන්ම ගොවියා ද මුදා ගැනීමයි. අපි ඉදිරිය දෙස කැප කිරීම්වලින් යුතුව සුභවාදීව බලා සිටිමු.

සාකච්ඡාව කළේ චිත්‍රාරත්න කළුආරච්චි
හිදෝගම සමූහ ඡායාරූප හිදෝගම සමූහ

(Courtesy of dinamina.lk)

Leave a reply: