වින්දිතයෝ බලා සිටිති…!

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වී වසර දෙකක් සම්පූර්ණ වීමට ආසන්නය. ඒ සඳහා ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. ප්‍රහාරය පිළිබඳ කතිකාව යළිත් උත්සන්නව පවතී. මේ කතිකාවේ වැඩි අවධානය යොමු වී ඇත්තේ ප්‍රහාරය සිදු කළ හා ඊට හවුල් වූ අපරාධකරුවන්ට දඬුවම් ලබා දීම කෙරෙහිය. සැලකිය යුතු පිරිසක් අත්අඩංගුවේ පසුවෙති. එහෙත් පූර්ණ හා විධිමත් නඩු විභාගයක් තවම නැත. අපරාධය සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පසුගිය දා නිකුත් විය. එම වාර්තාව නිරීක්ෂණය කිරීමට පත් කළ අනු කමිටුවේ වාර්තාව ඊයේ ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව තිබිණි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙන්ම ඊට අදාළ අපරාධකරුවන්ට දඬුවම් දීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ද කතෝලික ජනතාව තුළ විශාල අප්‍රසාදයක් පවතී. එය කෙතරම් ද යත්; ලබන 21 දාට ප්‍රථම ඒ පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙළක් දැක ගත නොහැකි වුව හොත් ප්‍රශ්නය ජාත්‍යන්තරය වෙත ගෙන යන බවට ප්‍රකාශයක් කාදිනල් හිමිපාණන් සිදු කර තිබිණි. කාදිනල් හිමිපාණන්ගේ ප්‍රකාශය මෙන්ම කතෝලික ජනතාවගේ විරෝධය ද සුළුකොට තැකිය නොහැකිය. එලෙසම එය යුක්තිසහගත බව ද කිව යුතුය. තුවාලයේ වේදනාව හොඳින්ම දැනෙන්නේ තුවාලකරුවාටය. මේ ප්‍රහාරය කතෝලික ජනතාව ඉලක්ක‍ කොට සිදු කරන ලද්දකි. ඉන් තුන්සියයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිදු අපරාධකරුවකුට නීතියෙන් ගැලවී යෑමට ඉඩක් ලබා දෙන්නේ නැතැ’යි ජනාධිපතිවරයා යළිත් අවධාරණය කර ඇත. ඒ අතර ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් කෙරෙහි කාදිනල් හිමිපාණන්ගේ විරෝධය යළිත් ප්‍රකාශයට පත් වී ඇත. ප්‍රහාරය සිදු වූයේ යහපාලන ආණ්ඩු කාලයේය. ප්‍රහාරයට ඉඩ ප්‍රස්ථා ලැබුණේ එම ආණ්ඩුවේ දුර්වල ආරක්ෂක ප්‍රතිපත්තිය නිසාය. ඒ හැරෙන්නට යහපාලන ආණ්ඩුවේ ඇතැම් නායකයන් ප්‍රහාරය ගැන දැන සිටි බවට චෝදනා එල්ල වී තිබේ. කොමිෂන් සභා වාර්තාවෙන් ඊට අදාළ කරුණු සනාථ වී ඇති බව ද කියති. කුමන තත්ත්වයක් යටතේ වුව යහපාලන ආණ්ඩුවට හා එහි නායකයන්ට අදාළ චෝදනාවලින් නිදහස් වීමට හැකියාවක් නැත.

එදා ආරක්ෂක අංශ භාරව සිටි දේශපාලන අධිකාරිය කෙරෙහි ද ආරක්ෂක අංශ ප්‍රධානීන් කෙරෙහි ද සාමාන්‍ය ජනතාවගේ විවේචනය එල්ල වී ඇත. අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් ගණනාවක් කෙරෙහි ආරක්ෂක අංශවල අවධානය යොමු වී නැත. දේශපාලන අධිකාරියෙන් ඒවා විමර්ශනය කිරීමට අදාළ උපදේශන ලැබී ඇත්තේ ද නැත. ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම, බුද්ධි අංශ සප්‍රාණික ලෙස පවත්වා‍ ගැනීම සිදු වී නැත. මේ තත්ත්වය පාස්කු ප්‍රහාරයට අදාළ වාසිදායක පසුබිමක් ඇති කර තිබේ. යහ පාලන ආණ්ඩුවේ නායකයන් නිදහසට කරුණු ඉදිරිපත් කළ ද ඒවා මහජනයාගේ පිළිගැනීමට ලක් වී නැත. තොරතුරු සන්නිවේදනය දියුණු යුගයක මහජනයා වෙතින් කරුණු සැඟවීම කළ නොහැකිය. මේ අනුව මහජන විරෝධය නොසලකා හැරීමට පුළුවන්කමක් නැත.

යම් ප්‍රමාදයක් ඇත්තේ අපරාධකරුවන්ට දඬුවම් දීම සම්බන්ධයෙන් පමණි. ප්‍රහාරය විමර්ශනය කිරීම මෙන්ම අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමත් සංකීර්ණ ක්‍රියාවලියකි. සාමාන්‍ය අපරාධයකදී මෙන් සරල න්‍යායක් මත පිහිටා නඩු කටයුතු ඉදිරියට ගෙන යෑමේ හැකියාවක් මෙබඳු සිද්ධියක් තුළ නැත. එය එක අතෙකින් ජාත්‍යන්තරයට සම්බන්ධ අපරාධයකි. තව අතෙකින් ආගම්වලට හා ජාතීන්ට සම්බන්ධ සිදු වීමකි. මේ සඳහා ගනු ලබන ඕනෑම පියවරකදී ආගම්වාදය, ජාතිවාදය මතුවීමට ඉඩ තිබේ. එබැවින් සෑම පියවරක්ම පරිස්සම් සහගතව ගනිමින් වින්දිතයන්ට යුක්තිය ලබා දීමට ක්‍රියා කළ යුතුව තිබේ. එහෙත් යුක්තිය ඉටු වීම ප්‍රමාද වෙයි නම්; එය ද බලවත් වැරැද්දකි. කතෝලික සභාව යුක්තිය ඉටු වීමේ ප්‍රමාදය ගැන වරින් වර සිහිපත් කර තිබේ.

ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒම සම්බන්ධයෙන් පිළිගත හැකි වැඩ කොටසක් ඉටු කිරීමට යහපාලන ආණ්ඩුව සමත් වූයේ නැත. අන්තවාදය දැන් අවසන්යැයි කියන ස්ථාවරයක යහ පාලන නායකයෝ රැඳී උන්හ. එදා පත් කළ ජනාධිපති කොමිෂන් සභාව පවා ක්‍රියා කර ඇත්තේ මන්දගාමි විලාසයකින්ය. එම කොමිසම පිළිබඳ මහජන විශ්වාසය හීන වූයේ ද ප්‍රමාදය නිසායැයි කිව හැකිය. වත්මන් ආණ්ඩුව කොමිෂන් වාර්තාව ලබා ගත්තේ ද, එහි කටයුතු කඩිනම් කළේ ද සිහි කැඳවීම් ඔස්සේය. එහෙත් පිළිගත යුතු කාරණයක් වන්නේ අපරාධයට සම්බන්ධ වැදගත් තොරතුරු, දත්ත හා සාක්ෂි ගණනාවක් එම වාර්තාව තුළ සංගෘහිත බවය. වාර්තාව අදාළ පාර්ශ්ව වෙත දී ඇති බැවින් එය පූර්ණ අධ්‍යයනයකට ලක් කළ හැකිය.

මේ තත්ත්වය මත වින්දිතයන් දෙස ආපසු හැරී බලන්නට අපට සිදුවේ. නැවත ප්‍රහාරයක් සිදු නොවෙතැ’යි විශ්වාසයක් තැබිය හැකි වුව අපරාධකරුවන්ට තවම නිසි දඬුවම් නොලැබීම ගැන අප කා තුළත් කනගාටුවක් තිබේ. එබැවින් සිදු විය යුත්තේ සියලු වාර්තා පදනම් කරගෙන නෛතික ක්‍රියාවලිය ආරම්භ කිරීමය.

(Courtesy of Dinamina.lk)

Leave a reply: