විශ්වාසභංගයේ වාසිය කාට ද?

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගෙන තිබේ. විශ්වාසභංගය පාර්ලිමේන්තුව තුළ පමණක් නොව; ඉන් පිටතදීත් සාකච්ඡාවට ලක් වන ප්‍රධාන මාතෘකාවකි. තෙල් මිල, බඩු මිල, කොතලාවල පනත, උද්ඝෝෂණ, රසායනික පොහොර මෙන්ම උදය ගම්මන්පිල අමාත්‍යවරයාත් සංවාදයට ලක්වන බවක් පෙනෙන්නට තිබේ. ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂයේ සියලු හවුල්කරුවන් කැඳවා විශ්වාසභංගය පරාජය කළ යුතු බව කියා ඇත. ඊට සියලු දෙනාගේම එකඟතාව පළවූ බව ද වාර්තා වී ඇත. දේශපාලනයේදී පෙරමුණු හා සන්ධාන කටයුතු කරන්නේ තනි පක්ෂයක් කටයුතු කරන ආකාරයට නොවේ. පෙරමුණු හා සන්ධාන තුළ හවුල්කාර පක්ෂවලට මත පළ කිරීමේ නිදහසක් තිබෙන්නේ වුව; පොදු කටයුතුවලදී නායකත්වය සමඟ අත්වැල් බැඳ ගැනීම සාමාන්‍ය ක්‍රමය වෙයි.

සමඟි ජන බලවේගය විශ්වාසභංගයක් වෙත යන්නේ කරුණු දෙකක් මූලික කරගෙන බව පෙනෙයි. ඉන් පළමු කාරණය වන්නේ ආණ්ඩුව අපහසුවට පත් කිරීම සඳහා හොඳ අවස්ථාවක් ලැබී තිබීමය. රටේ පවතින විරෝධතා සමඟ විශ්වාසභංගයක් ගෙන ඒමෙන් විපක්ෂයට මහජනයා අතර ජනප්‍රිය විය හැකි යැයි සමඟි ජන බලවේගය උපකල්පනය කර තිබේ. දෙවන කාරණය වන්නේ හවුල්කාර පක්ෂ හා ආණ්ඩුව අතර යම් විභේදනයක් ඇති කිරීමට අවස්ථාවක් පැමිණ තිබීමය. ඉන් හොඳ දේශපාලන ප්‍රතිඵලයක් ලබා ගැනීමට සමඟි ජන බලවේගය වෑයම් කරන බව පෙනෙයි. දේශපාලන යථාර්ථය අනුව ගත හොත් සමඟි ජන බලවේගයට විශ්වාසභංගය ජය ගැනීමේ හැකියාවක් නැත. එය සමඟි ජන බලවේගයේ නායකයා පවා දන්නා කාරණ‍යකි. එහෙත් ආණ්ඩු පක්ෂයේ බලය දියාරු කිරීම සඳහා මෙය භාවිත කළ හැකිය.

ජනාධිපතිවරයාගේ රැස්වීමෙන් පසු පොදු ජන පෙරමුණ වඩාත් ශක්තිමත්ව විශ්වාසභංගය පරාජය කිරීම සඳහා ක්‍රියා කරන බව පෙනෙයි. විවාදයට ආණ්ඩු පක්ෂයේ සියලු පාර්ශ්ව සහභාගි විය යුතු බවට ද , විවාද කාල සීමාව තුළ මන්ත්‍රීවරුන් සභාවේ රැඳී සිටිය යුතු බවට ද එකඟතාවක් ඇති කරගෙන තිබේ. විශ්වාසභංගය නිසා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වැඩි උද්යෝගයෙන් යුතුව විශ්වාසභංගය පරාජය කිරීමට උත්සුක වන බවක් ද පෙනෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය පාවිච්චි කොට එය පරාජය කරන බව ද සඳහන් කර ඇත. උදය ගම්මන්පිල යනු ඇමැතිවරයකු පමණක් නොව; ආණ්ඩුවේ පූර්ණ සහයෝගය ලබන ශක්තිමත් දේශපාලකයකු බව පෙනෙන්නට තිබේ. ආණ්ඩු බලය දියාරු කිරීම සඳහා විශ්වාසභංගය ගෙන ආව ද ඉන් සිදු වී ඇත්තේ ආණ්ඩුවේ බලය ස්ථාවර වීම බව පැහැදිලිය.

පොහොර, තෙල් මිල, බඩු මිල ආදී සාධක නිසා ආණ්ඩුව පිළිබඳ විවේචනයක් මහජනයා තුළ පැවැතිය ද එය ශක්තිමත් ආණ්ඩුවකි. ජනාධිපතිවරයා බලයට පත්වී ඇත්තේ වාර්තාගත ඡන්ද ප්‍රමාණයක් ගනිමින්ය. ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් වෙනම තිබේ. පාර්ලිමේන්තුව තුළ ඕනෑම පනතක් සම්මත කර ගැනීමේ හැකියාව ද ආණ්ඩුවට ඇත. මෙබඳු වපසරියක් තුළ විපක්ෂයට විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමේ හැකියාවක් නැති බව පැහැදිලිය. සමඟි ජන බලවේගයේ උත්සාහය ආණ්ඩුවට එරෙහි දේශපාලන පෙරමුණක් නිර්මාණය කිරීම යැයි සිතන්නට පුළුවන. ඒ සඳහා ඔවුන් පළමුව යා යුත්තේ එක්සත් ජාතික පක්ෂය වෙතය. එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසභංග ‍ යෝජනාවට සංශෝධනයක් ඉදිරිපත් කර ඇත. එයින් පැහැදිලි වන්නේ එජාපය හා සමඟි ජන බලවේගය පොදු අරමුණක් වෙත ස්ථානගත වන්නේ නැති බවය.

ආණ්ඩුවට සිය ශක්තිමත්භාවය හා ස්ථාවරත්වය ප්‍රදර්ශනය කිරීම සඳහා මහඟු අවස්ථාවක් ලැබී ඇත. එය සමඟි ජන බලවේගය විසින් ලබා දෙන ලද අවස්ථාවක් ලෙස ද සැලැකිය හැකිය. විදේශ ආධාර ලබා ගැනීමේදී මෙන්ම ආයෝජන ලබා ගැනීමේ දී ද මේ තත්ත්වය වාසිදායක වනු ඇත. දුර්වල ආණ්ඩුවලට ආධාර ලැබෙන්නේ නැත. ස්ථාවර නොවන ආණ්ඩු සහිත රාජ්‍යවලට ආයෝජකයන් කැමැති නැත. පවතින වසංගත තත්ත්වය තුළ රට ආර්ථික වශයෙන් ඉදිරි පිම්මක් වෙත තල්ලු කිරීම අභියෝගාත්මක කාරණයකි. විදේශ ආධාර හා ආයෝජන කෙරෙහි වැඩි විශ්වාසයක් තබන්නට අපට සිදුවී ඇත. ඒ පමණක් නොව කොරෝනා මර්දනය සඳහා යොදා ගනු ලබන ප්‍රතිශක්තිකරණ එන්නත් මිලට ගැනීමේදී පවා ආණ්ඩුවේ බලය හා ස්ථාවරත්වය කෙරෙහි බලපායි.

නව මුදල් අමාත්‍යවරයා පොහොසත් රටවල් ගණනාවක තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් ගෙන්වා දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ඇත. මේ සාකච්ඡාවේ අරමුණ ආර්ථික සංවර්ධනය සඳහා දියුණු රටවල සහයෝගය ලබා ගැනීමය. අපට මේ මොහොතේ සහයෝගය දක්වන්නයැයි බැසිල් රාජපක්ෂ මහතා කෙළින්ම කියා තිබේ. ජපානය, රුසියාව, චීනය, අමෙරිකාව, එංගලන්තය, ජර්මනිය යන රටවල තානාපතිවරු ද මේ අතර සිටියහ. කො‍රෝනා මර්දනයේදී මෙන්ම ආර්ථික සංවර්ධනයේදී ද දියුණු රටවල සහයෝගය අපට අවශ්‍ය වෙයි. එය අමතක කොට කටයුතු කිරීමේ හැකියාවක් නැත. ශ්‍රී ලංකාව කිසිදු බල කඳවුරකට අයත් නැති ස්වාධීන රාජ්‍යයක් වන බැවින් ඕනෑම රටකින් ආධාර, ආයෝජන හා වෙනත් සහයෝගයන් ලබා ගැනීමේ හැකියාව හොඳින්ම පවතී. බාධාවක් ඇතොත් ඒ විපක්ෂයේ විවේචන පමණි.

මේ වසරේ පළමු කාර්තුවේ ජාතික ආර්ථිකයේ වර්ධනය 4.3%ක් බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවක් සඳහන් කර ඇත. එය සතුටුදායක තත්ත්වයකි. 2020 දී අපේ ආර්ථිකය පැවැතියේ ඍන අගයකය. කොරෝනා ලෝක වසංගතය තුළ දියුණුම රාජ්‍යයන්වල ආර්ථිකයන් පවා පිරිහීමට ලක්වී ඇත. දකුණු ආසියාවේ හොඳ ආර්ථික වර්ධනයක් පවත්වාගෙන යන්නේ බංගලිදේශය පමණි. ශ්‍රී ලංකාව කොරෝනා සමය තුළ සෙමෙන් වර්ධනය වන ආර්ථිකයකට හිමිකම් කියයි. එය යහපත් තත්ත්වයකි. වසංගතය මර්දනය කරන අතර ආර්ථිකය පවත්වා ගැනීම සඳහා රජය විවිධ උපාය මාර්ග භාවිත කරයි. එය දියුණුවේ ලක්ෂණයක් ලෙස සැලැකිය හැකිය. ජගත් සංවිධාන මෙන්ම දියුණු රටවල් ද අපේ ආර්ථික පසුබිම නිරීක්ෂණයට ලක් කරන බව අමතක නොකළ යුතු කාරණයකි.

උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව දේශපාලන වශයෙන් ගත් කල ආණ්ඩුවට වාසිදායක තත්ත්වයක් මතුකර තිබේ. එක අතෙකින් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය හා හවුල්කාර පක්ෂ අතර ඇති සුළු අමනාපකම් මෙයින් තුරන් වී යනු ඇත. තව අතෙකින් ජාත්‍යන්තරය හමුවේ ආණ්ඩුවේ ස්ථාවරත්වය ප්‍රදර්ශනය කිරීමට කදිම අවස්ථාවක් ලැබී තිබේ. තවත් අතෙකින් ආණ්ඩුවට එරෙහි විරෝධතාවලට ද ඉන් පිළිතුරක් ලැබෙනු ඇතැ’යි විශ්වාස කළ හැකිය. විශාල ජන බලයකින් ගොඩනැඟුණු ආණ්ඩුවක් පහසුවෙන් පරාජය කළ නොහැකි බව විපක්ෂය මෙහිදී වටහා ගනු ඇත.

(Courtesy of dinamina.lk)

Leave a reply: