විසි වෙනි සංශෝධනයට එරෙහිව හෙට තවත් පෙත්සම් ගණනාවක් .

රජය විසින් මැති සබයට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වැනි සංශෝධනයට එරෙහිව සිකුරාදා වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දහ අටක් ඉදිරිපත් වී තිබිණි.පෙත්සම් ඉදිරිපත් කිරීමට දී තිබෙන අවසන් දිනය වන හෙට දිනයේ තවත් පෙත්සම් 5ක් පමණ ඉදිරිපත් වනු ඇතැයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි .

මෙම පෙත්සම් බහුතරයකින් ඉල්ලා ඇත්තේ විසිවෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයට අමතරව ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට නියෝග කරන හැටියටයි.

මෙකී පෙත්සම් විභාගයේදී නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා සමග රජය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන ඇතුළු මෙරට ප්‍රවීණ සහ ජේෂ්ඨතම නීතිඥ පිරිසක් පෙනී සිටිති.සමගි ජන බලවේගය වෙනුවෙන් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා පෙනී සිටින අතර විපක්ෂයේ සෙසු පෙත්සම් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන කේ කනගීස්වරන්
එම් .ඒ.සුමන්තිරන් ඇතුළු පිරිසක් පෙනී සිටින බව වාර්තාවේ.

මෙකී සියලු පෙත්සම් එක නඩුවක් සේ ගෙන විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් නම් කොට තිබේ.දින 21 ක කාලයක් තුළ පෙත්සම් විභාගයෙන් නිමකොට එහි තීන්දුව කතානායකවරයා වෙත යැවිය යුතුය. ඉන් අනතුරුව උසාවි තීන්දුව අනුව ලබන නොවැම්බර් මස 4 වෙනිදාට පෙර නව ව්‍යවස්ථා සංශෝධනය මැතිසබයේදී සම්මත කර ගැනීම රජයේ අපේක්ෂාවයි.

Leave a reply: